Main Logo

Saturday 12 March 2022

කාදිනල්තුමා බැෂලේ හා ලංකා වසන්තය හෙවත් ඊනියා ජාතික ආණ්ඩුව

 

කාදිනල්තුමා බැෂලේ හා ලංකා වසන්තය හෙවත් ඊනියා ජාතික ආණ්ඩුව

 

ගෑස් නැහැ. තෙල් නැහැ. විදුලිය නැහැ. ඩොලර් නැහැ. පඬියන් වැහි වැහැලා. ඔවුන් ආණ්ඩුවට බණිනවා. ජනතාවත් ආණ්ඩුවට බණිනවා. දැන් සැප ද කියා අහනවා. සංසාරේ දුක මිසක් සැපක් නැහැ. මේ කියන ප්‍රශ්නය විසඳන්න බැරි එකක් නො වෙයි. එයට විසඳුමක් තියෙනවා. ඒත් මේ ආණ්ඩුවට විසඳුමක් දෙන්න බැහැ. එහෙම කිවුව ම පඬි නැට්ටන්ට සනීප ද? මෙයට බැසිල්ට බැණල එතරම් වැඩක් නැහැ. සමහරු බැසිල්ට බණින්නෙ මේ සියල්ලට ම වග කියන්න ඕන ඔහු කියල. ඔහු ඇමරිකාවට රට විකුණන්න යනවා කියනවා. ඔහුට සැලැස්මක් තියෙනව කියනවා. එහෙම නම් ඔහු මොළ හතක් ඇත්තකු ම වෙන්න ඕන. එවැනි සැලැස්මක් ඇති කරන්න එක මොළයකින් බැහැ. මේ ටික කියවල එක් එක් අය තම නැණ පමණින් එක් එක් දේ හිතා ගනීවි. මට මහාචාර්ය පදවියක් හම්බ වුණෙ විශ්වවිිද්‍යාලයට බෝට්ටුවේ නොව කොල්ලෑවෙ එල්ලිලා ඇවිල්ල ද කියල අහාවි. දැන් ඒ පදවිය නැහැ.

 

ඒක පස්සෙ කතා කරමු. මා පහේ ශිෂ්‍යත්වය නම් සමත් වුණෙ නැහැ. මා ඒ විභාගයට පෙනී සිටියේ නැහැ. මගේ දෙමවුපියන් මා ඒ විභාගෙට යැවුවෙ නැහැ. එකලත් මා ඉගෙන ගත්තෙ තර්ස්ටන් විද්‍යාලයෙ. ශිෂ්‍යත්වෙ සමත් අය රාජකීය විදුහලට ගන්න සිරිතක් එකල තිබුණෙ නැහැ. රාජකීය විදුහලට ඇතුළත් කර ගැනීමට වෙන ම පරීක්‍ෂණයක් තිබුණා. මා ශිෂ්‍යත්වෙ සමතුත් නැහැ අසමතුත් නැහැ. ඇරිස්ට ඒක ඒ විධියට කියන්න බැහැ. ඔහුට අනුව එක්කො සමත් නැත්නම් අසමත්. ඇරිස්ගෙ න්‍යාය එතරම් හොඳ නැහැ. ඇරිස් ශිෂ්‍යත්වෙ සමත් ද දන්නෙ නැහැ. ඒ කාලෙ කොළඹ ඇකඩමිය නම් තිබුණෙ නැහැ. ඒත් ප්ලේටොගෙ ඇකඩමිය තිබුණ. ප්ලේටෝ ඇරිස් තම ඇකඩමියට ඇතුල් කරගන්න පරීක්‍ෂණයක් පවත්වපු බවට ආරංචියක් නැහැ. සියලු ඇකඩමිවල පියා ප්ලේටොගෙ ඇකඩමිය.

 

මේ ඩොලර් ප්‍රශ්නයට අප සියලු දෙනා ම වග කියන්න ඕන. ණයට කාපු අය තකතීරු මධ්‍යම පංතිය යුතුකම් ගැන නොව අයිතිවාසිකම් ගැන කතා කළ වෘත්තීය සමිති ප්‍රධාන වමේ ව්‍යාපාරය හොරකම් ගසාකෑම් කොමිස්  අපේ දැඟිලි නුවණ අපේ ආත්මාර්ථකාමීත්වය  ආදී කරුණු එහි දී බලපෑවා. අලි හෙම්බිරිස්සා වසංගතය නිසා අර්බුදයෙන් අර්බුදයට ගොස් තිබුණු ආර්ථිකය පතුළට ම ගිලා බැස්සා. ඒත් ප්‍රශ්නය විසඳන්න මේ ආණ්ඩුවට බැහැ. ආණ්ඩුවට ඉඩ දෙන්නෙ නැහැ.

 

මේ ප්‍රශ්නය විසඳන්න කාදිනල්තුමා ජෙනීවා ගිහින්. එතුමාට බැෂලේ මහා සභාව ඇමතීමට අවසර දීල. බැෂලේලාගෙ ක්‍රමයක් තියෙනවා. ඒ රටක ප්‍රශ්නය ගැන අදාළ රටේ නිල ප්‍රකාශය කරාට පස්සෙ කල් තියා කාලය වෙන් කර ගත්ත විවිධ ආයතනවලට සුළු කාලයක් දෙනවා සභාව ඇමතීමට.  කාදිනල්තුමා එහෙම කාලය වෙන් කරන් තිබුණෙ නැහැ. එතුමාට ඉඩ දීල තියෙනවා වෙනත් රාජ්‍ය නොවන සංවිධානයක් වෙනුවෙන් කතා කරන්න. මේ සමග ඇති ඡායාරූපයෙන්  කියැවෙන ඒ වද හිංසා වලට භාජනය වූ වින්දිතයන් පුනරුත්ථාපනය  සඳහා වූ කේන්ද්‍රයක් වෙනුවෙන්. ඒ කේන්ද්‍රය වෙනුවෙන් කතා කිරීමට පටබැඳිගේ දොන් ඇල්බට් මැල්කම් රංජිත් මහතා නම් කර තිබුණා. ඒ කාදිනල්තුමා. දැන් ප්‍රශ්නය ඒ කේන්ද්‍රය සමග කාදිනල්තුමාගේ සම්බන්ධය කුමක් ද යන්න. ඒ පාස්කු ප්‍රහාරයට ලක් වූවන් සඳහා වූ කේන්ද්‍රයක් නම් නො වෙයි. එය මා දන්නා විධියට දෙමළ ජාතිවාදී සංවිධානයක්.

 

එහෙත් අවාසනාවකට කාදිනල්තුමාට වඩා බලවත් පුද්ගලයකුට ඒ අවස්ථාව ලබා දීමට කේන්ද්‍රයට සිදු වෙලා. ඒ හරීන් කියා පුද්ගලයකුට බවයි ආරංචිය. දැන් කාදිනල්තුමාගේ සහායට පැමිණ ඇත්තේ ඒ ඡායාරූපයේ තියෙන ලැයිස්තුවේ ඊට පහතින් සඳහන් වන ෆ්‍රැන්සිස්කානු ජාත්‍යන්තරයේ අම්බිකා සත්කුනනාදන් මෙනෙවිය. ඇය තම තැන කාදිනල්තුමාට දීල.  කාදිනල්තුමාට එතුමා කියන පරිදි ම ජාත්‍යන්තර  සම්බන්ධකම් තියෙනවා. මේ අම්බිකා ලංකාවේ ඇති ඊනියා මානව අයිතිවාසිකම් කොමිසමේ සභාපතිනිය ව ඉඳලා තියෙනවා. ඇය නීලන් තිරුචෙල්වම් පදනමේ සභාපතිනියක් වෙනවා.

 

කාදිනල්තුමා සම්බන්ධකම් පවත්වන අය ගැන අපේ හාමුදුරුවරුන් දැන ගන්නවා නම් හොඳයි. කතෝලික සභාව දෙමළ ජාතිවාදයට හා ත්‍රස්තවාදයට දැක් වූ අනුග්‍රහය අපට අමතක නැහැ.  මැල්කම් රංජිත් එකල පූජකතුමා දෙමළ ත්‍ර්‍රස්තවාදීන් මුණ ගැහුණා. අද ඇති ඩොලර් අර්බුදය හා මේ සියල්ල පිටුපස ඇත්තේ ප්‍රධාන වශයෙන් ම එක් දේශපාලනයක්. ඒ තමයි ලංකා වසන්තය උදා කර ගැනීම. සදාම් හුසේන්ට කළ දේ ගෝඨාභයට කරන්න බැහැ. පුටින්ට කරන්නත් බැහැ. මේ සියල්ල ක්‍රියාත්මක වන්නේ පහළොස්වැනි සියවසෙන් පසු මුළු ලෝකයට ම බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය පැතිරවීමට.

 

අද පඬි  නැට්ටන් කුඩා ළමුන් මහණ කිරීමෙන් ඔවුන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් කඩ වීමක් ගැන නාහෙන් අඬනවා. ඒත් ඒ් එක පඬි නැට්ටකුවත් අපට කුඩා කළ සිට බලහත්කාරයෙන් දෙන ක්‍රිස්තියානි නූතනත්ව අධ්‍යාපනය ගැන කියන්නේ නැහැ. අපට අවශ්‍ය නම් මහණ නොකර ඉන්න පුළුවන්. ඒත් ඔය අධ්‍යාපනය නොදී ඉන්න පුළුවන් ද? එය අනිවාර්යයි. ඉස්සර අපේ අම්මල කුඩා කළ නඩු දාන මහත්තුරු ඇවිල්ල දරුවන් පාසල් නොයවන්නන්ට නඩු දැම්මා. මහණ නොකළා කියා නඩු දාන කෙනකු නැහැ. මේ කසිකබල් අධ්‍යාපනයෙන් රටට වී ඇති සෙත කුමක් ද? ජාතිකත්වයක් නැති පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ජඩමාධ්‍යවේදීන් ආත්මාර්ථකාමීන් බිහි කිරීම ද?

 

බටහිරයන් ඒ ඒ රටවල යම් ජාතිකත්වයක් හරි තියෙන ආණ්ඩුවලට විරුද්ධයි. මතක ද දින පනස් දෙකේ ආණ්ඩුව යටත් විජිතල රනිල්ල එකතු වෙලා වැට්ටුවට පස්සෙ බටහිර තානාපති කාර්යාලවල අය අත්පොළොසන් දුන්න හැටි. බටහිරයන්ට මේ ආණ්ඩුව හමුදා බලයෙන් පෙරළන්න බැහැ. ඔවුන් මෙරට ඊනියා විද්‍යාඥයන් සමගත් එකතු වෙලා අශූචි කතාවක් ගොතල චීනය තරහ කෙරෙවුවා. අද චීනයෙන් අපට ආධාර ගන්න බැහැ. වසංගතය නිසා ඩොලර් අර්බුදය උග්‍ර වුණා ම බටහිරයන් හරි ඉන්දියාව හරි අපට කොන්දේසි විරහිත ව පැන්සයක් පයිසයක් දෙන්නෙ නැහැ. ඒ තමයි මෙරට ලංකා වසන්තය ක්‍රියාත්මක කරන විධිය.

 

මේ ආණ්ඩුව නැති කරන්න පුළුවන් එක ම විධිය ඊනියා ජාතික ආණ්ඩුවක් ඇති කරල හරි නැතුව හරි තියෙන ජාතිකත්වයත් නැති කිරීම. එහි දී බැසිල් රනිල් බටහිරයන්ට උදවු වෙනවා. ඒ දෙදෙනාගෙන් එක් අයකුටවත් කිසිම ජාතිකත්වයක් නැහැ. ඒත් ඊනියා ජාතික ආණ්ඩුවක නම් බලවතුන් වන්නේ ඔවුන්. ජාතික ආණ්ඩුවක නොවේ නම් බැසිල්. විමල් උදය අනවශ්‍ය විධියට බැසිල්ට පහර දීමෙන් වුණෙ ඔවුන් ආණ්ඩුවෙන් පිට කිරීමෙන් ආණ්ඩුවේ ජාතිකත්වය තවත් දුර්වල කිරීම පමණයි. ඊනියා ජාතික ආණ්ඩුවකට හරි ජාතිකත්වයක් නැති ආණ්ඩුවකට හරි බටහිරයන් හා ඉන්දියාව ආධාර කරාවි. එහෙත් කොන්දේසි සහිතව. රට දැය සමයට අහිතකර කොන්දේසි ක්‍රියාත්මක නොකෙරෙන බවට වග බලා ගමු.