Main Logo

Tuesday 8 March 2022

මෝඩ අපි නැදුන්ගමුවේ ඇත් රාජයාට සුබ ගමන් පතන්නේ නැහැ

 

මෝඩ අපි නැදුන්ගමුවේ ඇත් රාජයාට සුබ ගමන් පතන්නේ නැහැ

 

 

නැදුන්ගමුවේ ඇත් රාජයා මිය ගිහින්. රජය ඇතාගේ සිරුර සුරක්‍ෂිත කිරීමට පියවර ගෙන. එය ඉතාමත් වැදගත්. ඒ ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට හා අදාළ අනෙක් අයට පින්. පඬි නැට්ටන් කිසි දා බලයට පත් නොවන බැවින් ඇත් රාජයාගේ සිරුර වසර සිය ගණනක් සුරක්‍ෂිත ව තියේවි. පඬි නැට්ටන්ගේ වීරයකු වූ ලෙනින්ගේ දේහය අද ඇත්තේ කොහ් දැයි පඬි නැට්ටකුවත් හොයා බලනවා ද? නැදුන්ගමුවේ ඇත් රාජයා ලෙනින් මෙන් බලය ගැනීමට මිනිසුන් මැරුවේ නැහැ. ඇත් රාජයා බුදුහාමුදුරුවන්ට සේවය කළා පමණයි. මගේ විශ්වාසය ඇත් රාජයා බෝසතාණන් කෙනකු බවයි. ලෝකය අල්ලා ගැනීමට මිනිසුන් මරන්නේ බෞද්ධ සංස්කෘතීන්වල නො වෙයි.

 

පඬි නැට්ටන් හිතනවා ඇති මා මහා මෝඩයකු කියා. නාථ දෙවියන් විශ්වාස කරන මනුෂ්‍ය නොවන ප්‍රාණීන් සමග සංනිවේදනය කළ හැකි බව කියන බටහිර විිද්‍යාව පට්ටපල් බොරු යැයි කියන අයකු මෝඩයකු මිස වෙනත් අයකු වන්නේ කෙසේ දැයි ඔවුන්ගේ නැටි මනස්වලට හිතෙනවා ඇති. ඒකට කමක් නැහැ. මා මෝඩයකු වීමට කැමතියි. මට පඬියකු පඬි පෝතකයකු පඬි නැට්ටකු වීමට අවශ්‍ය නැහැ.

 

මා සිංහල බෞද්ධයෙක්. සම්මත ථෙරවාදය සහ මහාවංස ඉතිහාසය සමග මා සියයට සියයක් එකඟ වන්නේ නැහැ. එසේ වුණත් මා සිංහල බෞද්ධ සංස්කෘතියේ. මා කිසිසේත් ම බුද්ධිවාදියකු තර්කවාදියකු යථාර්ථවාදියකු නො වෙයි. මා ඇරිස්(ටෝටල්)ගේ න්‍යය (logic) ප්‍රතික්‍ෂෙප කරනවා. මා එහි රේඛීය චින්තනය, ආරම්භය ගැන අදහස්, අනිර්වාචිත භූතාර්ථ (undefined entities) තරයේ ප්‍රතික්‍ෂෙප කරනවා. ඊනියා විරුද්ධාභාස (paradoxes) ඇති වන්නේ ඇරිස්ගේ න්‍යායෙහි. මේ සම්බන්ධයෙන් පඬි නැට්ටකුට අවශ්‍ය නම් විවෘත විශ්වවිිද්‍යාලයේ නන්දසේන ගමගේ හරි කැලණිය විශ්වවිිද්‍යාලයේ රූපසිංහ මහත්මිය හරි මුණගැහෙන්න පුළුවන්. නැහැ නදීරා නො වෙයි. ඉහත කී දෙදෙනා ම සේවය කරන්නේ දර්ශනය සම්බන්ධ අධ්‍යනංශවල. අවශ්‍ය ම නම් මා හමුවන්නත් පුළුවන්. එහෙත් කණ ගැන මා කල් ඇතුව සහතිකයක් දෙන්නේ නැහැ. බොහෝ විට වම් කණ ගැන වන්න පුළුවන්. වමාලා නොවැ. සිංහල බෞද්ධ සංස්කෘතියේ කේවට්ටයන්ට සලකන හැටි කියා දී තියෙනවා.

 

අප තවමත් ජීවත්වන්නේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියෙන් දූෂිත වූ නමුත් සිංහල බෞද්ධ සංස්කෘතියක. දූෂිත වීම නිසා පඬියන් පඬි නැට්ටන් හිතනවා බෝතලයක් එක්ක සෙට් වී ආතල් ගැනීමට වඩා දෙයක් නැහැ කියා. අප පන්සිල් රැකගෙන හිටියා නම් අද සිදුවන අපරාධ නැති කරන්න තිබුණා. අප සංසාරයක් ගැන විශ්වාස කරනවා. අපේ පවු ක්‍රිස්තියානි සංස්කෘතියේ පවු නො වෙයි. සතුන් මරා ගෙන කෑම අපේ සංස්කෘතියේ නැහැ. මත්පැන් බීම අපේ සංස්කෘතියේ නැහැ. සුරනිමල රා කළ බීම සාමාන්‍ය සිද්ධියක් නො වෙයි. අද සාමාන්‍ය සිද්ධිය කසිප්පු පොළට හරි බාර් එක නමින් හැඳින්වෙන සුරා ගුබ්බෑයමට හරි යෑමයි.

 

මගේ ජීවිතයට මා ඔය ඊනියා මී විත තොල ගා නැහැ. අවුරුදු විස්සකින් පමණ මස්මාංශ අනුභව කර නැහැ.  අපේ දෙමව්පියන් මස් ආහාරයට පුරුදු වුණේ මා නිසා. කුඩා කල මට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වී බටහිර වෙද මහත්තුරු කියා තියෙනවා මස් කන්න කියා.  මා ඒ ගැන කණගාටු වෙනවා. එය මා හිතා මතා කළ දෙයක් නො වෙයි. එහෙත් බටහිර වෙදකම හා පොදුවේ බටහිර දැනුම අප කෙතරම් අධර්මෂ්ඨයන් කර තියෙනවා ද? බටහිර දැනුම් ආධිපත්‍යය අප වල්මත් කර තියෙනවා. පඬි නැට්ටන් ද මා ජීවත්වීම ගැන කණගාටු වෙනවා ඇති.

 

මට ඉහත භව ගැන මතකයක් නැහැ. එහෙත් මා ඒ විශ්වාස කරනවා. අප විශ්වාස කරන්නේ අපට මතක ඇති දේ පමණක්වත් ඉන්ද්‍රිය ගෝචර දේ පමණක්වත් නො වෙයි. මා හිතන්නේ නැහැ කිසිම පඬි නැට්ටකුට තමන් මව් කූස සිටි කාලය මතක ය කියා. ඔවුන් කියන්නේ තමන් ඕපපාතික ව අවුරුදු තුනේ දී පමණ පහළ වූ බව ද? ඔවුන්ට අවුරුදු තුනට පමණ පෙර ජීවිතය ගැන ඇත්තේ අනෙක් අයගෙන් ලබා ගත් විශ්වාස පමණයි.

 

අපට සසර ගැන කියන ඒ දැක ඇති අය ඉන්නවා. සසර වියුක්ත සංකල්පයක් නො වෙයි. ඒ සසරේ සියලු සත්වයන් එකයි. ඇත් රාජයා මට නම් බෝසතාණන් කෙනෙක්. අප සසර විශ්වාස කරනවා. සමහර පඬි නැට්ටන් නාඩි වාක්‍ය අහන්න යනවා. අවශ්‍ය නම් සමහර විට පෙර භව ගැනත් දැන ගන්න පුළුවන්. මා නම් නාඩි වාක්‍ය අහන්න ගිහින් නැහැ. අප සසරේ වැඩි කලක් ඉන්නේ අපායේ බව මා දන්නවා. අපාය අපට හුරු පුරුදු තැනක්. අපායෙ ඉන්ටර්වල් කතාව ගොතන්න පුළුවන් සිංහල බෞද්ධයකුට පමණයි. පඬි නැට්ටන්ට බැහැ. ඔවුන්ට කොහොමටත් අලුත් දෙයක් සකසන්න බැහැ.

 

පඬි නැට්ටන් බොහෝ දෙනකු බටහිර විිද්‍යාව සාමාන්‍ය පෙළෙන් එහාට ඉගෙන නැති නමුත් වැඩිම වුවහොත් බටහිර විිද්‍යාව ගැන ලියැවී ඇති ජනප්‍රිය පොතක් හරි සතපහක් නොවටිනා  ඊනියා දාර්ශනික පොතක් පමණක් හරි කියවා ඇති නමුත් බටහිර විද්‍යාව තාක්‍ෂණය විශ්වාස කරනවා. ඒ සංස්කෘතික ආධිපත්‍යයට යට වීම නිසා. සසර කිහිප දෙනකු හරි දැක තියෙනවා. අදත් ඒ දැක ගන්න පුළුවන් අභිඥා උපදවා ගැනීමෙන්. එහෙත් අර කැලණිය විශ්වවිද්‍යාලයේ මුල්ලවතුර හැරෙන්න ගුරුත්වාකර්ෂණය දැක ඇති අයකු ඉන්නවා ද? නිවුටන්වත් එය දැක නැහැ. මැක්ස්වෙල්ගේ විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍ර (electromagnetic fields)  දැක ඇති අයකු ඉන්නවා ද? මැක්ස්වෙල් අනුව ගොස් අයින්ස්ටයින් සංස්කරණය කළ අවකාශ කාලය (එයත් ක්‍ෂෙත්‍රයක්)දැක ඇති අයකු ඉන්නවා ද? අද අර්බුදයට ගොස් ඇති ක්වොන්ටම් ක්‍ෂෙත්‍ර (quantum fields) දැක ඇති අයකු ඉන්නවා ද? මේ කිසිවක් දැක නැතත් ඒ ගැන අවබෝධයක් නැතත් පඬි නැට්ටන් ඒ සියල්ල විශ්වාස කරනවා. ඒ තමන් ඊනියා නූතනත්ව පොරවල් බව පෙන්නීමට ඇති හීනමානය නිසා මිස අන් කිසිවක් නිසා නො වෙයි. 

 

ඇත් රාජයාගේ රුව ගැන කරදර වන පඬිනැට්ටන් අලි ඇතුන් පෙරහරේ ගෙන යෑම ගැන සත්ව කරුණාව පහළ වන පඬිචිචියන් හා පඬි නැට්ටියන් සතුන් ඊනියා සත්වොද්‍යානවල හිර කර ගෙන සිටීම ගැන නිහඬයි. ඔවුන් කියන්න පුළුවන් තමන් විරුද්ධ වන්නේ බුදුදහම අනුව සතුන්ට කරුණාව දැක්විය යුතු බැවින් දහම පැත්තේ සිට කියා. මේ පඬියන් පඬිච්චියන් තේරුම් නොගන්නා දෙය තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය හා ථෙරවාදී බුදුදහම කියන්නේ එකක් නොව දෙකක් බව. මා හිතන්නේ පඬියන් හා පඬිච්චියන් නොදැන හිටියාට නැදුන්ගමුවේ ඇත් රාජයා ඒ බව දැන හිටි බවයි. ඇත් රාජයා පහුගිය පෙරහරේ අර පාවඩය සකස් කළ අන්දම දුටු අයකුට ඒ ගැන සැකයක් හිතෙන එකක් නැහැ. ඇත් රාජයා බුදුහාමුදුරුවන් වෙනුවෙන් කරඬුව වැඩැම්මවීම තමන්ට ඇති කරදරයක් ලෙස කිසි දා හිතන්න නැති ව ඇති.

 

මළ පහ කළ බල්ලන්ගේ හා බැල්ලියන්ගේ පස්ස පැත්ත පිහදාන්නෙවත් නැතිව වඩා ගෙන සුරතල් කරන පඬිච්චියන් එසේ කරන්නේත් තමන් සුද්දියන් මෙන් නූතන අය බව පෙන්වීමට මිස වෙනත් දෙයකට නො වෙයි. මේ පඬියන් හා පඬිච්චියන් දන්නා එක ම දෙය බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය අනුකරණය කරමින් සිංහල බෞද්ධ සංස්කෘතියට ගැරහීම පමණයි. ඔවුන් යමකු මිය ගිය පසු මිතුර සුබ ගමන් කියන්නේ ඇයි? නිවන් සුව ලැබේවා යැයි පැතීම ගොඩේ කමක් ද?

 

බුදුදහමට අනුව අපට පෙර භව මෙන් ම පසු භව ද තියෙනවා. එහෙත් ක්‍රිස්තියානි ආගම්වල පෙර භව නැහැ. ඇත්තේ එක පසු භවයක් පමණයි. මිය යෑමෙන් පසු ඊනියා ආත්මය පීටර් ශාන්තුවරයාගේ ගේට්ටුව ළඟට යනවා. එතුමා පරීක්‍ෂා කර එක්කෝ සදාකාලික ස්වර්ගයට හරි සදාකාලික අපායට හරි අර ආත්මය යවනවා. ආත්මයට සුබ ගමන් පතන පඬියන් හා පඬි නැට්ටන්  කරන්නේ අර ආත්මයට ස්වර්ගයට යෑමට සුබ පැතීමයි. බුදුදහමේ එවැනි සදාකාලික අපායක් හරි ස්වර්ගයක් හරි නැහැ. දේවදත්තත් පසේ බුදුවරයකු වී නිවන් සම්මාබෝධය ලබනවා. පඬියන් තමන් නිරාගාමිකයන් කියමින් කරන්නේ ක්‍රිස්තියානි ආගම අනුව කටයුතු කිරීමයි.

 

අප නැදුන්ගම ඇත් රාජයාට සුබ ගමන් පතන්නේ නැහැ. අපි ඒ බෝසතුනට නිවන් සම්මාබෝධය පතනවා.