Main Logo

Sunday 6 March 2022

බංකොළොත් පඬි නැට්ටන්ට අද හිරුණිකාට ආවඩන්න වෙලා

 බංකොළොත් පඬි නැට්ටන්ට අද හිරුණිකාට ආවඩන්න වෙලා

 

ඉතා කෙටියෙන් නමුත් ඊයේ ලිපියේ සඳහන් කෙරුණු කරුණක් පළමුව නිරවුල් කරන්න ඕන. එහි පහත සඳහන් ඡෙදය තිබුණා. "අප ආනයන අඩු කර අපනයන වැඩි කළ යුතු ව තිබිය දී ආනයන ඩොලර් මිලියන පන්සීයකින් පමණ වැඩි වෙලා. ප්‍රශ්නය අප ආනයනය කර ඇත්තේ මොනවා ද යන්නයි. අප තෙල් ආනයනයට වියදම් කළ මුදල අඩු වෙන්න ඕන. එසේ තිබිය දී අප ආනයනය කර ඇත්තේ මොනවා ද? ඒ සඳහා මුදල් වෙන් කර ඇත්තේ කවුද? මහා බෑංකුව මුදල් වෙන් කිරීමේ දී අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක් ද?"

 

ආනයනයට ඩොලර් මිලියන පන්සීයක මුදලක් 2022 ජනවාරි මාසයේ දී වැඩි වී ඇත්තේ පෙර මාසයට   සාපේක්‍ෂව ද පෙර වසරේ ජනවාරි මාසයට සාපේක්‍ෂව  ද යන්න පැහැදිලි නැහැ. මට ලැබුණු වාර්තාවෙහි එය නිශ්චිත ව සඳහන් වන්නේ නැහැ. එබැවින් අප තෙල් ආනයනයට වියදම් කළ මුදල අඩු වෙන්න ඕන කියන එක ඊට පෙර මාසය සම්බන්ධයෙන් පමණක් නම් වලංගුයි කියා හිතනවා. එහෙත් 2021 ජනවාරි මාසයට සාපේක්‍ෂ ව නම් වැරදියි. 2021 ජනවාරි මසට සාපේක්‍ෂ ව නම් 2022 ජනවාරි මස තෙල් සඳහා වැඩි මුදලක් වියදම් කර තියෙනවා.

 

ඩොලර් අර්බුදය අප තව ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්න ඕන. එය මා පෙන්වා දී ඇති පරිදි 1969-70 කාලයේත් 1975 කාලයේත් ඉන් පසුවත් විටින් විට තිබුණා. 2009 කාලයේ දීත් ඩොලර් සංචිතයේ අඩුවක් තිබුණා. ඒ මානුෂික මෙහෙයුම කාලයේ බටහිරයන් අපට සම්පූර්ණයෙන් විරුද්ධ ව සිටිය දී. එහෙත් එකල ඩොලර් සංචිත කතා තිබුණේ නැහැ. අද ප්‍රාථමික පාසල් සිසුනුත් ඩොලර් සංචිතය ගැන දන්නවා.

 

අප ණයට කෑම සහ නිෂ්පාදන ආර්ථිකයකින් බැහැර වීම ඩොලර් අර්බුදයට ප්‍රධාන කරුණියි. අපේ බාහිර ණය එන්න එන්න වැඩි වුණා. අවුරුදු දෙකකට පෙර අලි හෙම්බිරිස්සාව සමග තත්වය දරුණු වුණා. සංචාරක ව්‍යාපාරය අඩපණ වීම, අපනයන අඩු වීම ඒ හා සම්බන්ධයි. අපට එන්නත් ගෙන්වා ගැනීමටත් ඩොලර් අවශ්‍ය වුණා. අපට ෆයිසර් නැතුව බැරි වුණා.

 

අප බටහිර වෙදකමට වියදම් කරන මුදලෙන් 5%ක් දේශිය වෙදකම වෙනුවෙන් විශේෂයෙන් පාරම්පරික වෙදකම වෙනුවෙන් වියදම් කරනවා නම් ඩොලර් සංචිතයත් ටිකකින් හරි වැඩි වේවි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ අද දේශීය නිෂ්පාදන වෙළෙඳපොළක් ඇරඹුණා. එය සෑම ඉරිදා දිනයක ම පැවැත්වෙනු ඇති. එහි පාරම්පරික බෙහෙත් වර්ග ද තියෙනවා. ආණ්ඩුව මේ වෙදමහතුනට තම නිෂ්පාදන සඳහා ආධාරයක් රුපියල්වලින් කරනවා නම් ඒ රුපියල් බටහිර වෙදකම සඳහා ඩොලර් කරන්න වෙන්නෙ නැහැ. එහෙත් අපේ නිලධාරීන් ඒ ගැන මන්දෝත්සාහියි. අවාසනාවකට අද සෞඛ්‍ය අමාත්‍යාංශය බටහිර සෞඛ්‍ය අමාත්‍යාංශයක් වෙලා. එහෙත් පාරම්පරික වෙදකමට අලි හෙම්බිරිස්සාව අලි එනමුත් තවත් හෙම්බිරිස්සාවක් පමණයි.

 

අපේ විදේශ ප්‍රතිපත්තියත් ඉන්දියාව හා බටහිර රටවල් හොඳින් පවත්වාගෙන යෑම දිශාවකට යොමු වෙලා. අප බටහිර රටවල් හා ඉන්දියාව තරහ කර ගත යුතු නැහැ. එහෙත් අප චීනය රුසියාව වැනි රටවල් ද තරහ කර ගන්න ඕන නැහැ. අවාසනාවකට මෙරට රාජ්‍ය සේවයේ හා ඊනියා පර්යේෂණ ආයතනවල  වැඩි පිරිසක් ජාතිකවාදීන් නො වෙයි. වමාලා ද ජ වි පෙරමුණ ද ඊනියා ජාත්‍යන්තරවාදීන්. හිරුණිකා ගැන මොනව කියන්න ද?

 

ජාත්‍යන්තරවාදීන් කියා පිරිසක් නැහැ. එසේ කියන්නන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ යටත්වැසියන්. ඔවුන් මත බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය අධ්‍යාපනය හා ජනමාධ්‍ය විසින් පටවලා. ඔවුන් බටහිර ඇංග්ලො සැක්සන් ජාතිකවාදයට කඩේ යන්නන් පමණයි. ඔවුන්ට චින්තනය යන සංකල්පය තේරුම් ගැනීමට බැහැ. ඔවුන් ජනතාවට කියන්න යන්නේ අප බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යන්නන් බවයි. එහෙත් බටහිර චින්තනය අනුව දිගින් දිගට ම වැඩ කළහොත් බරකරත්තයෙන් කොහොම වෙතත් අශ්ව කරත්තයෙන් වොෂිංටන් යන්න වේවි.  අඩු තරමින් ඔවුන් ඉතා මෑතක සිට  බටහිර පළවන චින්තන රටා (Patterns of Thinking) ගැනවත් දන්නේ නැහැ. චින්තනය යන්න බටහිර රේඛීය චින්තනයේ මෙන් ඊනියා ආරම්භක සංකල්පයක් නො වෙයි. එය තේරුම් ගත හැක්කේ චක්‍රීය චින්තනයක පමණයි. චින්තනය යන්න ද වෙනස් නොවන ඊනියා නිර්මල මූලධර්මික සංකල්පයක් නො වෙයි.

 

පඬි නැට්ටන් ද ඇතුළු වමාලාත් ලිබරල් චින්තනයක වැඩ කරන්නෙ. ජ වි පෙරමුණ ද ඇතුළුව සියලු ආකාරයේ ලිබරල් චින්තනවලට ගොදුරු වී ඇති අය එකතු වී චින අශූචි ගැන කතා කළා. සිංගප්පූරුවේ දී අශූචිවල ගඳ නැති වුණා. ඒ සියල්ලෙහි  ප්‍රතිඵලයක් වූයේ චීනය අප සමග තරහ වීමයි. බටහිරයන් අපට සතපහක උදවුවක් කරන්නේ නැහැ. විශේෂයෙන් ම යම් ආකාරයක ජාතිකවාදී ආණ්ඩුවක් තියෙන විට ඔවුන් කරන්නේ අපට ආධාර නොකිරීමට හේතු සෙවීම පමණයි. අප නන්දිකඩාල් ජයග්‍රහණය කිරීම ගැන ඔවුන් අපෙන් තව අවුරුදු පනහක් ගියත් පළිගන්න උත්සාහ කරාවි.

 

බටහිරයන් අද ඉතා දුර්වලයි. ඔවුන් යුක්‍රේනයේ සෙලෙන්ස්කිට සලකන හැටි බලන්න. අද සෙලෙන්සිකි අනාථ වෙලා. රුසියාව සිවිල් වැසියන් ගැන විමසිලි නොවී, බටහිරයන් හිරෝෂිමාවේ සිට ඇෆ්ගනිස්ථානය දක්වා ක්‍රියා කර ඇති ආකාරයෙන් ක්‍රියා කෙළේ නම් මෙළහට සෙලෙන්ස්කි යටත් වෙලා. බටහිරයන් සතුටු කිරීමට යෑමෙන් එතරම් සෙතක් මේ ආණ්ඩුවට සිදු වන්නේ නැහැ.ඉන්දියාවටත් බටහිරයන් සමග තව දුරටත් එකඟත්වයකින් කටයුතු කරන්න බැරි බව තේරිලා.

 

එහෙත් ඉන්දියාව මේ සියල්ල මැද බොර දියේ මාළු බාන්න හදනවා. ඔවුන් බටහිරයන් ඇති කළ උතුරේ දෙමළ ජාතිවාදී වෙල්ලාලයන් හා ඔවුන්ගේ නෑයන් සිටින තමිල්නාඩුව වෙනුවෙන් අද මෙරට ආණ්ඩුවට බලපෑම් කරනවා 13+ දෙන්න. අප 13වත් ක්‍රියාත්මක කළ යුතු නැහැ. මට ප්‍රශ්නයක් තියෙනවා. නැගෙනහිර හා කඳුකරයේ දෙමළ කතාකරන ජනයාට නැති ප්‍රශ්නයක් උතුරේ තියෙන්නෙ කොහොම ද? පසුගිය දා සොයා ගනු ලැබු උතුරේ සිංහල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති  ස්ථාන 50%ක් පමණ විනාශ කෙරුණා ද? අවකාශයක් ලැබුණොත් උතුරේ පමණක් ඇති ඊනියා දෙමළ ප්‍රශ්නය හෙට වැඩිදුරටත් සාකච්ඡා කරමු.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අවුරුදු දෙකකට පමණ පෙර අලි හෙම්බිරිස්සාව මුල් අවධියේ ම වාහන ආනයනයට තහංචි නොදැම්මා නම් අද වන  විට රටේ තත්වය හිතා ගන්නවත් බැරි තැනකට ඇද වැටෙන්න තිබුණා. අපේ ආනයන වියදම ඉතා වේගයෙන් ඉහළ ගොස් අපට අද වන විට තෙල් ආනයනය කිරීමට නොහැකි වීමට ඉඩ තිබුණා. එවිට අර ආනයනය කළ වාහන හෝද හෝද ඉන්න තිබුණා. වාහන ආනයනයට තහංචි පැනවීම ඉතා දුරදර්ශී ක්‍රියාවක්. මා හිතන්නෙ නැහැ හිරුණිකා ප්‍රේමචන්ද්‍රටවත් සජිත්ලටවත් පඬි නැටි වමාලාටවත් ඒ කතා තේරෙනවා කියා. බංකොළොත් පඬි නැට්ටන්ට අද හිරුණිකාට ආවඩන්න වෙලා. ඔවුන් කියාවි මා ආණ්ඩුවට කඩේ යනවා කියා. මා අද උදේ බෞද්ධ සම්මේලන පරිශ්‍රයේ දේශීය වෙළෙඳපොළට නම් ගියා. සිංහල වෙළෙඳ භාරය සංවිධානය කරන මෙම වෙළෙඳපොළේ ආරම්භක උත්සවයට ජඩමාධ්‍යයෙන් කිසිවකු පැමිණ සිටියේ නැහැ.