Main Logo

Friday 25 March 2022

කෝ මේ ශක්ති කෝ මේ රන්දික විහාරවත් ෂේනිවත් නොවෙයි හොයන්නෙ

 

කෝ මේ ශක්ති කෝ මේ රන්දික විහාරවත් ෂේනිවත් නොවෙයි හොයන්නෙ

 

මා කියා ඇති මා දෙරණේ නාට්‍ය තුනක් නරඹනවා කියා. ඒ ශක්ති, ප්‍රවෘත්ති හා ඉස්කෝලෙ. ඒ නාට්‍ය තුනේ චරිිත අතර සමානකම් තියෙනවා. ශක්ති නාට්‍යයේ ඉන්නවා නිළමෙ කොරෙයා හා ශක්ති. නිළමෙ බොරු වෙදෙක්. ඔහු කිරෙන් නාව ගන්නවා. කොරෙයා සූදු අන්තුවෙක්, ශක්ති පාරම්පරික වෙද මහතෙක්. නිළමෙ හදන්නෙ පාරම්පරික වෙදකම නැතිකරල කොරෙය හා පවුල අමාරුවෙ දාන්න. ඉස්කෝලෙ නාට්‍යයෙ ඉන්නවා මන්ත්‍රීතුමා, කපිල  හා රන්දික. මන්ත්‍රීතුමාට අවශ්‍ය බලය හා මුදල්. අර නිළමෙට වගේ.  කපිල  බේබද්දෙක් මාළු වෙළෙන්දෙක්. රන්දික දේශීය ව්‍යාපාරික තරුණයෙක්. මන්ත්‍රී කපිල  හා පවුල පාරට ඇද දමමින් ඔවුන්ගේ නිවස සින්න කර ගන්න උත්සාහ කළා. රන්දික මැදිහත් වෙලා ඒ නිවස හා පවුල බේර ගත්තා.

 

ප්‍රවෘත්ති නාට්‍යයෙ ඉන්නවා බටහිර රටවල් හා ඉන්දියාව. ලංකාව හා ජනතාව. බටහිර රටවල් හා ඉන්දියාව බලවත්.  ලංකාවෙ ජනයා ණයට කනවා බොනවා සිංහලෙන් කියනව නම් ජොලි කරනවා ආතල් ගන්නවා. දැන් ලංකාව සින්න වෙන්න යනව ඉන්දියාවට හා බටහිර රටවලට. අවාසනාවකට අපට ඒකෙන් ගැලවෙන්න පාරම්පරික දැනුමක් ඇති පිරිසක් නැහැ. අපට පාරම්පරික වෙද මහතකුවත් දේශීය ව්‍යාපාරිකයකුවත් නැහැ. අපට ෂේනිලත් නැහැ විහාරලත් නැහැ. අපට ඉන්නෙ වර්ණලා කළුවලා රොෂාන්ල ඉෂාරලා ප්‍රබුද්ධල. ඔවුන් වැහි වැහැල. ඉෂාරලා ඊනියා උගත්කම විකුණනවා. වර්ණලා මොකක් හරි කඩා ගන්න හදනවා. රොෂාන්ල බටහිර වෙද මහතුන් ඇතුලු ඊනියා උගතුන් මිල දී ගන්නවා. කළුවලා මුදලට ඔවුන්ගේ වචනවලින් නම් ගේම් දෙනවා. ප්‍රබුද්ධල පාරක් පාරක් ගානෙ හන්දියක් හන්දියක් ගානෙ උද්ඝෝෂණය කරනව ක්‍රමය වෙනස් කරන්න, ඔවුන් කියන හැටියට සිස්ටම් චේන්ජ් කරන්න.

 

මා කියන්න යන්නෙ නැහැ ඕක තමයි අපි කිවුවෙ කියල. අපට අවුරුදු තිස්පහක් තිස්සෙ කියලත් පාරම්පරික වෙද මහතකු දේශීය ව්‍යාපාරිකයකු ඇති කර ගන්න බැරි වුණා. දැනටත් අප කියන කිසි දෙයක් කිසිවකු ගණන් ගන්නෙ නැහැ. අපේ අධ්‍යාපනයෙන් අප නැති වෙලා. කිසි ම වැඩකට නැති පිරිසක් බිහිවෙලා. දෙන දෙයක් කාල වෙන දෙයක් බලා ගෙන ඉන්නවා. රනිල් කිවුවට අපට ඉතිහාසයට නොගිහින් බැහැ. ජී සී මැන්දිස් ගෝල පරම්පරාවෙ ඉතිහාසයට නො වෙයි. අපි හයිඩැගර්ලා ගැන කියවන නයි ඩැගර්ලා. ඒ කියන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියට කිනිස්සෙන් ඇනල නයි අරින්නන්. හයිඩැගර් කියවන්නෙ නැහැ. කී දෙනෙක් Being and Time කියවල තියෙනවා ද?

 

ඉංගිරිසින් මෙරටින් නිල වශයෙන් යන විට මා හිතන විධියට අපට වෙළෙඳ අතිරික්තයක් තිබුණා. මෙය නිවැරදි ද කියා බලාගන්න විධියක් දැනට නැහැ. ඒ කාලෙ අප අපනයනය කෙළෙ තේ පොල් රබර්. අපේ පංතියෙ ශිෂ්‍යයෙක් හිටියා ටී පී ආර් කියල. ඔහු තේ පොල් රබර් වුණා. අප ඒ කාලෙ වාහන ආනයනය කළා. ඇපල් මිදි බේකන් සොසේජස් ආදියත් ආනයනය කරන්න ඇති. අප ඒ දිනවල තේ සඳහා පිටරටින් පොහොර ගෙනාවා කියා මා හිතන්නෙ නැහැ. වාහනත් ටිකයි තිබුණෙ. තෙල් සඳහා විශාල වියදමක් දැරුවෙත් නැහැ. එකල මිනිසුන් ලෙඩ හැදුනම වෙද මහත්තයා ළඟට ගියා. ටික දෙනකු ඉංගිරිසි බෙහෙත් ගත්තා. බෙහෙත් හා බටහිර වෙදකම සඳහා විශාල මුදලක් (විනිමය) වැය කරන්න වුණෙ නැහැ. කිසිම ගොවියකු පිට රටින් පොහොර බලාපොරොත්තු වුණෙ නැහැ.

 

ඒත් නිදහසින් පස්සෙ මොකද වුණෙ. ගිය සුද්දා ආපහු ආව. අපි දන්නෙ ම නැතුව ආව. පාසල් පාර්ලිමේන්තුව ජනමාධ්‍ය විශ්වවිද්‍යාල මහා බැංකුව මේ හැම තැන ම සුද්ද ඉන්නවා. අද ඇතැමුන් කියනවා රට සුද්දට තිබුණ නම් හොඳයි කියල. ඒත් ඔවුන් දන්නෙ නැහැ දැන් රට තියෙන්නෙ සුද්දට කියල.  තාම සින්න වෙලා නැති එක විතරයි.. අපි සුද්දගෙ දැනුම යොදා ගන්න හදනවා. ඒත් අපට ඒක තේරෙන්නෙ නැහැ. මා කියන්නෙ සුද්දගෙ දැනුම තේරෙන්නෙ නැහැ කියන එකයි. අපි සුද්දගෙ වචන දන්නවා. ඒවට සිංහලෙනුත් වචන හදාගෙන. ඒත් අපි ඒ වචනවල තේරුම් දන්නෙ නැහැ. මානව ධර්මතා අප නිර්වචනය කරනවා. ඒ කිවුව දේ තේරෙන කෙනෙක් ඉන්නවා ද? ගුණදාස අමරසේකර රතු ලෝගුව දාගෙන ඩී ලිට් උපාධිය ගන්න එකෙන් මේ සියල්ල සංකේතවත් වෙනවා. මගේ ඔහුට යම් ගෞරවයක් තියෙනවා. ඒත් ඔහු ඩොක්ටර් ගුණදාස. මා නම් රතු ලෝගුවක් තියා කළු ලෝගුවක්වත් ඇඳල නැහැ. අර කවුද ප්‍රබුද්ධයෙක් කිවුව නලින් මුසලයා කියලා. නලින් මුසලයා පල්ලියෙ රතු (පී එච් ඩි) ලෝගුවවත් කළු (බී එස් සී) ලෝගුවත් අඳින්නෙ නැහැ. මට රස්සාවට උපාධිය අවශ්‍ය වුණා. ඒත් පිඨාධිපති හැටියටවත් ලෝගු ඇන්දෙ නැහැ.

 

සුද්ද නිල වශයෙන් ගියාට පස්සෙ අපේ ආනයන අපනයනවලට වඩා වැඩි වෙන්න පටන් ගත්තා. කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා අපේ තේමාව වුණා. හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා. බුදු හාමුදුරුවන් නිකම් ම නිකම් සිද්ධාර්ථ වුණා. අර ඒ කාලෙ හිටපු බමුණෙක් කිවුවලු ගෞතමගෙ නිවණ ශූන්‍යය නම් තමාට එය එපා කියල. සිද්ධාර්ථ කියන දුක මොකක් ද? සුද්ද පුරුදු කරල ගිය ක්‍රමය අපි බැරි මරගාතෙ අනුකරණය කළා. ටිකෙන් ටික අපි ඉංගිරිසි බෙහෙතට පුරුදු වුණා. වෙදකම ඉංගිරිසි වෙදකම වුණා. අපි සිංහල වෙදකම කියන්න පුරුදු වුණා. ඉස්සර බෙහෙත් හා ඉංගිරිසි බෙහෙත්. දැන් බෙහෙත් හා සිංහල බෙහෙත්. ඉස්සර අපි පොහොර පිටින් ගෙනාවෙ නැහැ. දැන් රට පොහොර ගැන කතා නොකර පොර වෙන්න බැහැ. අපි මං පොර ජාතියක්. පොර වෙන්න පුළුවන් නම් ඕන දෙයක් කරනවා.

 

දැන් තේවලින් මෙච්චර විනිමයක් (ඩොලර්) ලැබෙනවා කියනවා. ඒත් මා දන්නෙ නැහැ තේ සඳහා පිටින් කරන ආනයනවලට කොපමණ ගෙවනවා ද කියා. තේවලින් අප උපයන ශුද්ධ විනිමය කොපමණ ද ? එය ඒකකයකට 1948 ට වඩා වැඩි ද අඩු ද? එදා ඇඟලුම් තිබුණෙ නැහැ. අද ඇඟලුම් තියෙනවා. ඒත් ඇඟලුම් සඳහාත් කොපමණ ආනයනය කරන්න ඕන ද? ශුද්ධ විනිමය ඉපයීම කීය ද? සංචාරක ව්‍යාපාරය (සමහරුන්ට කර්මාන්තය) සඳහා කොපමණ ආනයනය කරන්න ඕන ද? මෙවැනි කරුණු ගැන දත්ත තියෙනවා ද? මහා බැංකුවට විස්තරාත්මක ව දත්ත සපයන්න පුළුවන් ද? සංචාරක ව්‍යාපාරයෙන් මෙතරම් ලැබුණ කියන එක ප්‍රමාණවත් නැහැ. අපට අවශ්‍ය ශුද්ධ විනිමය ඉපයීම කොපමණ ද යන්න.

 

අපට ආයෝජකයන් පිටරටින්වත් මෙරටින්වත් හොයාගන්න බැහැ. මෙරට නිෂ්පාදන වියදම චීනයට වඩා වැඩි ද අඩු ද? එසේ වෙලා තියෙන්නෙ කොහොමද? අපේ රාජ්‍ය ආයතනවලින් පාඩු වෙන්නෙ මොකද? ලංගම නැති කළා. දැන් ගැමුණුුල බස් දුවනවා. ඉස්සර සිරිල් සොයිසල බස් දිවුව. අනිල් මුණසිංහත් ලංගම පාඩුවක් නැතුව කෙරුව. ඒත් සාමාන්‍යයෙන් රජයට බස් දුවන්න බැරි වුණා. දුම්රිය හැමදාම පාඩුයි. ඒකට කමක් නැහැ. පාඩු ආයතනවලත් පාරිතෝෂික මුදල් ගෙවනවා. බලධාරීන් නිලධාරින් මෙන් ම සේවකයන් ද මේ පාඩුවලට වග කියන්න ඕන. නැව ගිලුනත් බෑං චූන්. මෙරට වෘත්තිය සමිති යුතුකම් දන්නෙ නැහැ. අයිතිවාසිකම් පමණයි ඉල්ලන්නෙ. දියවු දියවු. දන් ඔන්න දීල තියෙන්නෙ. කෝ අර සිගාලොවාද සූත්‍රය. ඒක සිදධාර්ථගෙ වැඩක්. ඒක ගෝත්‍රිකයි. හයිඩැගර් නෙ මිනිහ. හයිඩැගර් කියවන එක අමාරුයි.  මේව නෙ  මල්ලි සීලින්. බුදුහාමුදුරුවන්ගෙ දර්ශනයක් නොවන දහමට අනුව සියලු දර්ශන බොරු. සියලු දෘෂ්ඨිවාද බොරු. බටහිර විද්‍යාවත් දෘෂ්ඨිවාදයක් පමණයි. ඒත් අපට ජීවත් වෙන්න බැහැ දෘෂ්ඨිවාදයක් නැතුව.  

 

අපි කිවුවට අපේ දෘෂ්ඨිවාදයකට මේ රටේ ඉඩක් දෙන්නෙ නැහැ. බටහිර දෘෂ්ඨිවාද අප වෙළාගෙන. අපි දැන් බටහිරටත් ඉන්දියාවටත් සින්න වෙන්න ඔන්න මෙන්න.   කෝ මේ ශක්ති කෝ මේ රන්දික.  ෂේනිවත් විහාරවත් නොවෙයි ඔවුන් හොයන්නෙ. අපි කොරෙයලා කපිල ල.