Main Logo

Sunday 13 March 2022

වාසු ක්වොන්ටම් අංශුවක් ද?

 වාසු ක්වොන්ටම් අංශුවක් ද?  


මා වාසුදේව නානායක්කාර සහෝදරයා අවුරුදු පනහකට කිට්ටු කාලයක් හඳුනනවා. ඊට වැඩි කාලයක් ඔහු ගැන දන්නවා. ඔහු හොඳ මිනිහෙක්. පරණ සමසමාජකාරයන්ගෙ තිබුණ හොඳ ගුණ ඔහු ළඟ ද තියෙනවා. ඔහු අසරණයන් පීඩිතයන් කෙරෙහි ඉමහත් කරුණාවක් දක්වන අයෙක්. ඒ ගැන තවත් විස්තර අවශ්‍ය නම් රිච්මන්ඩ් විද්‍යාලයෙන් බිහි වූ තවත් ජනාධිපති අපේක්‍ෂකයකු වූ සිරිතුංග ජයසූරියගෙන්  දැන ගන්න පුළුවන්. වාසු සමසමාජකාරයකු වන්නටත් ඇත්තේ ඒ දයානුකම්පාව නිසා වෙන්න පුළුවන්. රිච්මන්ඩ් විද්‍යාලය වෙන්න පුළුවන් මහින්ද රාජපක්‍ෂ ද ඇතුළු ව ජනාධිපති අපේක්‍ෂකයන් වැඩිම සංඛ්‍යාවක් බිහි කළ විද්‍යාලය.  


වාසු තියරිකාරයකු නොවෙයි. ඔහු සකර්බර්ග් අනාථ කඳවුරේ නැහැ. ඔහු තමන් නොදන්නා දේ කියවන අඳෝනා නගන්නකු ද නො වෙයි. ඔහු ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන්නකුත් නො වෙයි. ඔහු මාක්ස්වාදී පොතපත එතරම් කියවා නැති වෙන්න පුළුවන්.  එහෙත් ඔහු මෙරට ව්‍යවහාරය අනුව උගතෙක්. නීතිඥයෙක්. ඒත් ඔහු දේශපාලනය උගතුන්ට කරන්න දිය යුතු ය කියන්න තරම් උගතකු නම් නො වෙයි. ඔහු උගතුන් ආශ්‍රය කර ඇති නිසා එසේ නොකියනවා වෙන්න පුළුවන්. සමසමාජ පක්‍ෂයේ ද නව සමසමාජ පක්‍ෂයේ ද උගතුන් සිටියා. දැනුත් ඒ සමහරු විවිධ සමසමාජ පක්‍ෂවල ඉන්නවා. ඒත් දැන් පක්‍ෂ ක්‍රියාත්මක නැහැ. සාමාජිකයන් ඉන්නවා පක්‍ෂ නැහැ. මේ රට පුදුම රටක්. ජනමාධ්‍ය නිසා අපට ඉඳහිට සාමාජිකයන් ගැන අහන්න ලැබෙනවා.  ජනමාධ්‍යවලත් ඉන්නෙ උගත්තු. 


මා අවුරුදු හැටකට ආසන්න කාලයක් ලංකාවේ ඊනියා ඉහළ ම පෙළේ උගතුන් දැක තියෙනවා. මා විශ්වවිිද්‍යාලයට ගියේ 1962 ජූනියේ. මා හුඟක් බලාපොරොත්තු තියා ගෙන විශ්වවිිද්‍යාලයට ගියේ. ඒත් ඒ බලාපොරොත්තු කඩ වුණා. අවුරුදු හතරක් තිස්සෙ පෙම්වතියක් නොලැබීම ගැන නො වෙයි. බුද්ධිමතුන් නොදැකීම ගැන. උගතුන් නම් හිටියා. අවුරුදු හතරකට පස්සෙ විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්යවරයකු වුණා ම උගතුන් තවත් ළඟින් ඇසුරු කරන්න ලැබුණා. 


ඒ උගතුන්ට විශ්වවිද්‍යාලවත් හරියට ගෙනියන්න බැහැ. තවමත් විවිධ අර්ථවලින් දෙයියනේ කියල බටහිර උගන්වන දෙයක් උගන්න ගෙන ගිය අවුරුද්දෙ කරපු විධියට මේ අවුරුද්දෙත් කරන පිරිසක් තමයි විශ්වවිද්‍යාලවල ඉන්නෙ. උගතුන්ට රට පාලනය කරන්න දුන්නොත් මොනව වෙයි ද කියල හිතා ගන්න පුළුවන්. වාසු එවැනි නූගත් කතා කියන්නෙ නැහැ. ඒ ඔහු එතරම් උගත් නැති නිසා වෙන්න පුළුවන්. මෙරට උගතුන් රටට මහා බරක්. ඔවුන් දෑඟිලි නුවණ ඇත්තන්. ද්වයංගුල පඤ්ඤා. 


ඒත් මේ දිනවල වාසු හොඳ කතාවක් කියනවා. ඔහු කියන විධියට ඔහු ඇමතිවරයෙක්. ඒත් ඇමතිවරයෙක් නො වෙයි. ඒක හොඳ තත්වයක්. ඇරිස්ගෙ ගෝල බාලයො එ ගැන මොක ද කියන්නෙ. ඇමතිවරයෙක් ද ඔව්, ඇමතිවරයෙක් නොවෙයි ද ඔව්.  ඇරිස් අවුරුදු දෙදහසකටත් පෙර ග්‍රීසියෙ හිටපු එක කොච්චර දෙයක් ද? ඔහු එකලත් ලංකාවෙ උපන්න නම් දාර්ශනියකු වෙන්නත් තිබුණ දාර්ශනිකයකු නො වෙන්නත් තිබුණ. එක එක වෙලාවට නො වෙයි එකවිට. 


කොහොමත් විසිවැනි සියවස ඇරිස්ට නරක කාලයක්. ක්වොන්ටම් අංශු ඇරිස් කියන විධියට වැඩ කරන්නෙ නැහැ. ඒවා තරංගලු. තරංග නොවෙයිලු. අංශුලු. අංශු නොවෙයිලු. එක විධියක් නැහැ. අර චතුස්කෝටිකයට නම් ඒ කතා හරියනවා. ඒත් මෙරට උගතුන්ට චතුස්කෝටිකය අවුල් කෝටියක්. උගතුන් අවුල් ද කියල අහන්න එපා. ඔවුන් ඇරිස්ගෙ ගෝලයො. ක්වොන්ටම් අංශු එක විට දෙතැනක තියෙන්න පුළුවන්. එතැන ඉන්න පුළුවන් එතැන නොඉන්නත් පුළුවන්. වාසු ඇමති වෙන්නත් පුළුවන් ඇමති නොවෙන්නත් පුළුවන්. 


අද වන විට නම් ක්වොන්ටම් අංශු කියල කිසිවක් නැහැ කියලයි බටහිර භෞතික විද්‍යාවෙ ක්වොන්ටම් ක්‍ෂෙත්‍ර ප්‍රවාදයේ () කියන්නෙ. ඇත්තෙ ක්‍ෂෙත්‍ර පමණලු. ඒ ක්‍ෂෙත්‍රයක් ඇතැම් විටක අංශුවක් ලෙස උද්දීපණය වෙනවලු. ඒත් ඔය කතාව හිතන තරම් ලෙහෙසි නැහැ. ක්වොන්ටම් ක්‍ෂෙත්‍රවාදය ප්‍රවාදය විශාල වස්තුවලටත් හරියන්න ඕන. එය පොඩි පොඩි වස්තුවලට (අංශුවලට) පමණක් වලංගු වෙන එකක් නො වෙයි. ඒත් විශාල වස්තු එක විට දෙතැනක නැහැ. අලි ඉන්නෙ සිරිකොතේ පමණයි. වෙනත් තැන්වල තියෙන්නෙ පරණ දුරකතන. ඒ තැන්වල අලි නැහැ. අලි පෙරහැරෙත් යනවා. එතකොට මානව නැහැ අලි හිතවාදී අම්මණ්ඩිල සත්තු වත්තෙ ගිහින් විනෝද වෙන අතරෙ කඳුළු හෙළනවා. එකවිට ද කියා මා දන්නෙ නැහැ. දවල් පෙරහැරත් තියෙනවා.


අලියකු එක විට අංශුවක් වන්නෙත් නොවන්නෙත් නැහැ. අලි තරංග නැහැ. ඒත් වාසු එක විට ඇමතිවරයෙක් ඒ වගේ ම ඇමතිවරයෙක් නො වෙයි. වාසු ක්වොන්ටම් අංශුවක් ද? ඔහු එපමණ කුඩා නැහැ. ඔහු සමහර වෙලාවට කුඩා ළමයකු වගෙයි. ඒ පරිණත නොවීම නිසා නො වෙයි. පොඩි ළමයකු වගේ හිතන්න පුළුවන් නිසයි. හොඳ මිනිහෙකු නිසයි. 


එහෙමත් නැත්නම් වාසු එකවිට අංශුවක් වන්නේ ද එමෙන් ම අංශුවක් නොවන්නේ ද? ඒ ගැන බැසිල් මොක ද කියන්නෙ. බැසිල් ඇරිස්ගෙ වෙන්න ඕන. බැසිල් වාසු අංශුවක් කරාවි ද? මහින්ද නම් කැමති වෙන එකක් නැහැ. බටහිරයන් මොකද කියන්නෙ. හයිසන්බර්ග් දැන් නැහැ. හිටිය නම් ඔහුගෙන් අහන්න තිබුණ. තව ටිකෙන් මට මතක නැති වෙනවා. හයිසන්බර්ග්ට ඉගැන්නුව කවොන්ටම් ජාගොඩ ඉන්නවා. ඔහුගෙන් අහමු ද? ඔහු තවම අංශුවක් හැටියටවත් උද්දීපණය වෙලා නැහැ. 


වාසු සහෝදරයා අප අර්බුදයකට තල්ලු කරල. ඔය ආර්ථික අර්බුදය මොන කජ්ජක් ද? මේ අර්බුදය විසඳ ගන්නෙ කොහොම ද? ඉන්දියාවට යමු ද? ආ මට අමතක වුණා බාහු සහෝදරයා ඉන්නවා. ඔහු අලි බලනවා.