Main Logo

Wednesday 9 March 2022

කාදිනල්තුමා බෞද්ධ හිතවාදී වෙස් මුහුණ ගලවලා ද?

 

කාදිනල්තුමා බෞද්ධ හිතවාදී වෙස් මුහුණ ගලවලා ද?

 

කාදිනල්තුමාට හොඳ සහයකු හමුවෙලා. සගයකු කිවුවත් ස්ත්‍රී චරිතයක්. සැගියක. ලෝක ප්‍රසිද්ධ ස්ත්‍රියක්. ඇය ස්ත්‍රී විමුක්තිය ලබා ඇති බවට සැකයක් නැහැ. ඒ තමයි මිෂෙල් බැෂලේ. ඇය එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් කොමිසමේ මහා කොමසාරිස්වරිය. ඇය මහා බලවත් කාන්තාවක් බව අපට අඟවනවා. ඒත් ඊශ්‍රායලය රුසියාව වගේ රටවල් ඇය සත පහකට මායිම් කරන්නේ නැහැ. මට සිහිවන්නේ අර කවි පදය දුප්පත් කමත් වලිගේ නැති ගොනා වැනී කියන කවි පදය. වලිගය ඇති එකා මැස්සන්ට හා බැෂලේට බැට දෙනවා.

 

බැෂලේ කාදිනල්තුමාට මානව අයිතිවාසිකම් කොමිසමේ මහා සභාව ඇමතීමට අවස්ථාව ලබා දීලා. ඇය චිලියේ සන්තියාගෙ නාගරිකයක ඉපදිල තියෙන්නෙ. චිලිය මූලික වශයෙන් කතෝලික රටක්. එහි ජනගහනයෙන් 55%ක් පමණ කතෝලික. මිෂෙල් බැෂලේගෙ ආගම මොකක් ද දන්නෙ නැහැ. ඇය ඊනියා සමාජවාදී දේශපාලනයක් කරල තියෙනවා. ඇය ඊනියා නිරාගමික ද දන්නෙ නැහැ. ඒ කුමක් වුවත් ඇය චිලි කතෝලික සංස්කෘතියට අයත් වෙන්න ඕන. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක්. ළමා රෝග හා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරියක්. නැහැ කාදිනල්තුමාට දෙයියන්ගෙ පිහිටෙන් ඉහෙන් බහින රෝගයක් නැහැ කියල මා හිතන්නෙ.

 

මට නිකමට හිතෙන දේ තියෙනවා. අපේ මහානායක හාමුදුරුවරු ජෙනීවා පැත්ත පළාතෙ වඩීවි කියා මා හිතන්නෙ නැහැ. චම්පක පාක්‍ෂික සෝභිත හාමුදුරුවොවත් වඩියි කියල හිතන්න බැහැ. අපේ මහානායක හාමුදුරුවරු බැරිවෙලාවත් වැඩියොත් බැෂලේ උන්වහන්සේලාට ඔය සභාව ඇමතීමට අවස්ථාව ලබා දේවි ද?

 

කොහොමටත් මැල්කම් රංජිත් පූජකතුමා දෙමළ ජාතිවාදීන් සිංහලයන් ඝාතනය කරන විට නිහඬ ව හිටියා. ඒ කාලෙ එතුමා කාදිනල්තුමා නො වෙයි. ඒත් එතුමා දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදීන් නම් මුණ ගැහුනා. සමහර විට සාමය ගැන කතා කරන්න ඇති. කතෝලික සභාවෙ කිසිවකුවත් එකල නිල වශයෙන් දෙමළ ත්‍රස්තවාදයටවත් දෙමළ ජාතිවාදයටවත් විරුද්ධ ව කිසිවක් කිවුවෙ නැහැ. කතෝලික සභාවෙ ඇතැම් පූජකවරු දෙමළ ත්‍රස්තවාදීන්ට අ්ශිර්වාද කළා. සමහරු අවශ්‍ය උපකරණත් සැපයුවා. ඒ පූජකවරුන්ට විරුද්ධ ව කතෝලික සභාව කිසිම පියවරක් ගෙන තියෙනවා ද? ඔවුන් විමුක්තිය සඳහා කටයුතු කළ අය ද?

 

පාස්කු ප්‍රහාරය ගැන තමයි කාදිනල්තුමා දැන් වැඩිය කතා කරන්නෙ. එතුමා මහා මොළකරු හොයනවා. එතුමාට ජෙනීවාහි දී  ජී එල් පීරිස් මුණ ගැහුණ ද දන්නෙ නැහැ. ජී එලුත් මහා  මොළකරුවෙක්. ඔහු තමයි යුකේ්‍රන යුද්ධය ඇති කරල මෙවර ලංකාව ජෙනීවාහි බැෂලේ ප්‍රහාරයෙන් මුදා ගත්තෙ. අද බටහිරයන්ට ලංකාවට වඩා වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ යුක්‍රේනය. යුක්‍රේනය නිසා බටහිරයන්ට ලංකාව අමතක වුණා. කොහොම ද ජී එල්ගෙ මොළේ. ඔහු කිසිම ක්‍රීඩාවක් නොකර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ක්‍රීඩාවෙහි දක්‍ෂ පශ්චාත් උපාධි අපේක්‍ෂකයන්ට  පිරිණමන රෝඩ්ස් ශිෂ්‍යත්වයක් දිනා ගත්තෙක්. මහා මොළකාරයෙක්.

 

කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යහපාලනයත් එක්ක කළකිරීමෙන් හිටියෙ. එතුමා ඒ කාලෙ සිංහල බෞද්ධ සංස්කෘතියෙ වැදගත්කමත් නිතර කියෙවුවා. අපේ ඇතැම් හාමුදුරුවරු ගිහි බෞද්ධයන් කාදිනල්තුමාගෙ අනුගාමිකයන් වුණා කිවුවත් වරදක් නැහැ. අද නම් ඒ හාමුදුරුවරුන්වත් ගිහි බෞද්ධයන්වත් කාදිනල්තුමා පසුපස යන්නෙ නැහැ. එදා බැසිල් පසුපස ගිය ඇතැමුන් අද එහෙම යන්නෙ නැතුව වගේ. සිංහල බෞද්ධයන් මූලික වශයෙන් දැඟිලි නුවණැත්තන්. ද්වයංගුලි පඤ්ඤා කියා කියනවා. සිංහලයන්ට ඇඟිල්ලෙන් ඇණල කියල දෙන්න ඕන. දැඟිලිවලින් නොවෙයි එක ඇඟිල්ලකින්. ඒ කියමන් නිකම් හැදිච්ච ඒව නො වෙයි.

 

කාදිනල්තුමා ඇතුළු බොහෝ කතෝලිකයන් පොහොට්ටුවට ආධාර කළා. ඒ යහපාලන කාලෙ පාස්තු ප්‍රහාරය නවත්ත ගත්තෙ නැති නිසා වෙන්න පුළුවන්. ඔවුන් එකල මුස්ලිම් අන්තවාදයට තමයි විරුද්ධ වුණෙ. ඔවුන්ට අවශ්‍ය වුණෙ මුස්ලිම් අන්තවාදයට විරුද්ධ කටයුතු කරන්න. එහෙත් මට පේන විධියට කතෝලික සභාවෙ කිහිප දෙනකු හිටිය යහපාලනයට විරුද්ධ ව වැඩ කිරීම වැරදි යැයි කියපු. සජිත් පැරදවීම වරදක් ලෙස ඔවුන් දැක්ක. අර උරුම කාරයාට නවාතැන් දී සහාය දුන් පූජකවරුන් ද ඒ අතර හිටියා. ඔවුන් ජාතික කිවුවට ජාතිකත්වයට විරුද්ධ අය. යම් ජාතිකත්වයක් ඇති ආණ්ඩුවක් බලයට පත් කිරීම වැරදි කියා ඔවුන් දිගට ම කියා සිටි බව පැහැදිලියි.

 

අද ඒ පිරිස කතෝලික සභාවෙ බලය අත් කරගෙන. ඔවුන්ට බටහිරයන්ට පොදු අපේක්‍ෂාවක් තියෙනවා. ඒ මේ ආණ්ඩුව වැට්ටවීම.  බැෂලේටත් තියෙන්නෙ ඒ අරමුණ. අද ඒ සියලු දෙනා ආණ්ඩුවට විරුද්ධ ව චෝදනා ගොතනවා. ඒ වියුක්ත චෝදනා නො වෙයි. බොහොම සංයුක්ත කතා තමයි ගොතන්නෙ. අද කාදිනල්තුමා කියන්නෙ පාස්කු ප්‍රහාරය පිටුපස වෙන ම දේශපාලන සැලසුමක් තිබුණ කියා.

 

ඔවුන් නොකියා කියන්නෙ ගෝඨාභය දිනවන්න පොහොට්ටුව හා මෛත්‍රිපාල පාස්කු ප්‍රහාරය සැලසුම් කළා කියා. ඒ කියන්නෙ ගෝඨාභය දිනවන්න පොහොට්ටුව හා මෛත්‍රිපාල මුස්ලිම් අන්තවාදීන් ලවා මිනිසුන් මැර වූ බව ද? මහා මොළ කරු මෛත්‍රිපාල ද බැසිල් ද වෙනත් කවුරුන්වත් ද? එහෙමත් නැත්නම් ඒ සියලු දෙනා එකතු වී මිනිස් ඝාතනයක් සැලසුම් කළා ද? කාදිනල්තුමා හොරගල් අහුලන්නෙ නැතුව තමන් දන්නා දෙයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බැරි නම් පාප්තුමාට හා බැෂලේට කියනවා ද?

 

එහෙත් කදිනල්තුමා දන්නෙ නැතුව ඇති අදටත් බැසිල් හා මෛත්‍රිපාල එකට වැඩ කරන්නෙ නැති බව. එපමණක් නොවෙයි ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුටවත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කිරීමට අවශ්‍ය වුණෙ නැහැ. කාදිනල්තුමා කියන්නෙ පාස්කු ප්‍රහාරය සැලසුම් කෙරුණෙ ගෝඨාභය රාජපක්‍ෂ නොව වෙනත් අයකු ජනාධිපති කිරීමට කියා ද? කාදිනල්තුමා තමා දන්නා දේ විශ්වාසවන්තයකුට කියා තියෙනවා ද?

 

ඒ කුමක් වුවත් එකල පැවති මුස්ලිම් අන්තවාදී ප්‍රහාර ගැන කාදිනල්තුමා කිසිවක් කියන්නෙ නැහැ. අර නවසීලන්තයෙ ප්‍රහාර කවුරුන් ජනාධිපති හරි අගමැති හරි කරන්න ද? එයට කලකට පෙර පිලිපීනයේ ප්‍රහාර කා වෙනුවෙන් ද? ඒ කුමක් වුවත් මෛත්‍රිපාල කර ඇති එහෙත් රනිල් කර නැති අපරාධය කුමක් ද? ඒ දෙදෙනාගෙන් රනිල් තමයි යහපාලනයෙ බලවතා. අද කාදිනල්තුමා මහා මොළකාරයා සොයන්නේ මුස්ලිම් අන්තවාදීන් නිදහස් කර බෞද්ධයන් චූදිතයන් කරන්න ද?

 

කාදිනල්තුමා තම සිංහල බෞද්ධ හිතවාදී වෙස්මුහුණ ගලවලා ද? එතුමා මුස්ලිම් අන්තවාදය නිදොස් කරන්න උත්සාහ ගන්නේ නම් ඒ කාගේ වුවමනාවට ද?  මේ සියල්ලෙහි මහා මොළකරු කවුද?