Main Logo

Wednesday 30 March 2022

රනිල් අගමැති ව සිටියේ නම්

                        රනිල් අගමැති ව සිටියේ නම්

 

මේ අවස්ථාවේ තමා ජනාධිපති හෝ අගමැති හෝ වී සිටියේ නම් ගන්නා පියවර කුමක්දැයි 360 ඇසූ විට රනිල් උද්ධච්ඡව කියා සිටියේ කිසි පියවරක් නොගන්නා බව ය. ඒ ඔහු ජනාධිපති හෝ අගමැති හෝ වී සිටියේ නම් මේ අර්බුදය ඇති නොවන බව අහංකාර ව කියමිනි. එහෙත් මේ අර්බුදය ඇති වී තිබෙන්නේ ම ඔහු හා එ ජා ප ආණ්ඩු ජමුලට යෑමේ ද ප්‍රතිඵලයක් ලෙසිනි. ජමූලට යෑම නිසා බංකොළොත් වී ඇති රටවල් අතරට අද ලංකාව ද එක්වෙමින් පවතියි.

 

එ ජා ප ආණ්ඩුවක් පැවතියේ නම් ජමූල අපට ණයක් දෙනු ඇත. ඒ කොන්දේසි සහිතව ය. ඉන්පසු කොන්දේසි ඉටු කළ යුතු ය. ඒ සමග ණය හා පොලිය ද ගෙවිය යුතු ය. අප ජමූලට යෑමෙන් සිදු වන්නේ ඔවුන්ගේ ණය උගුලේ තව තවත් සිරවීම පමණය. මෙවර ප්‍රශ්නය උග්‍ර වූයේ කරුණු කිහිපයක් නිසයි. අලි හෙම්බිරිස්සා වසංගතය නිසා සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු විදේශ විනිමය (ඩොලර්) නැති වී ගියා. ඩොලරයේ අගය කළුකඩයේ ඉහළ යෑම නිසා රටවිරුවන් එවන ප්‍රේෂණ රටට නැති වුණා. බදු සහන ලැබූවන් අපනයන සඳහා නිෂ්පාදනයක් කෙළේ නැහැ. ඇතැම් අපනයන කරුවන් රටට ඩොලර් ගේන්නේ නැතුව වෙනත් රටවල රඳවා තැබුවා. සාමාන්‍යයෙන් සිදුවන පරිදි ආනයන භාණ්ඩවල වටිනාකම  අපනයන භාණාඩාවල වටිනාකමට වඩා බෙහෙවින් වැඩි වුණා. පොදුවේ ගත් කල දේශපාලනඥයන් ද නිලධාරීන් ද හොරකම් කළා. වෘත්තීය සමිති යුතුකම් අමතක කර අයිතිවාසිකම් පමණක් ඉල්ලා සිටියා. අප සියල්ලන් ම ආදායමට වැඩියෙන් වියදම් කළා. අපි ඉල්ලන් කෑවා. දණ ගෑමට පෙර දිවුවා. අද අප හතර ගාතෙන් ඇද වැටිලා.     

 

එ ජා ප ආණ්ඩු කාලයේ නිෂ්පාදන ගැන සැලකිල්ලක් නොදැක් වූවා පමණක් නොව තිබුණු නිෂ්පාදන ආයතන ද වසා දැමුවා. එ ජා ප ආණ්ඩුවල කසිකබල් ආර්ථික ප්‍රතිපත්තිය මහා බුද්ධිමතකු ලෙස සැලකුණු ඔක්ස්ෆර්ඩ් විවාද සංගමයේ සභාපති ව සිටි ලලිත් ඇතුළත්මුදලි ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ භාණ්ඩයක නිෂ්පාදන මිල එය ආනයනය කිරීමට යන වියදමට වැඩි නම් භාණ්ඩය ආනයනය කළ යුතු බවයි. අප අද අර්බුදයට ගොස් සිටින්නේ රනිල්ලාගේ ආර්ථික ප්‍රතිපත්ති නිසයි. රනිල් බලයේ සිටියේ නම් සිදු වන්නේ ජමූලෙන් තවත් ණය ගෙන අර්බුදය තවත් උග්‍ර කිරීම පමණයි. එහෙත් ණය ගැනීමෙන් ඔවුන්ට තාවකාලික ව ජනතාව සතුටින් තබා ගැනීමට පුළුවන්කම තිබුණා.

 

රනිල්ගේ ගෝලබාලයන් කියන කරුණක් නම් ඔවුන්ගේ ආණ්ඩුවලට ඊනියා ජාත්‍යන්තර සහාය ලැබෙන බවයි. මේ ජාත්‍යන්තර සහාය යනු බටහිර රටවල සහාය මිස වෙන එකක් නොවෙයි. අද අප බටහිර රටවල හා ඉන්දියාවේ අවශ්‍යතාවට චීනය තරහ කරගෙන. බටහිර රටවල් අපට සහාය දෙන්නේ ඔවුන්ගේ කොන්දේසි අනුව රට පාලනය කිරීමට. ඉන් එක් කොන්දේසියක් වනුයේ උතුරු හා නැගෙනහිර පළාත් එක් කර 13ට එහා යන විසඳුමක් ක්‍රියාත්මක කිරීමයි. ඉන්දියාවට ද ප්‍රධාන වශයෙන් අවශ්‍ය එයයි.

 

සුමන්තිරන් කියන දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නය කුමක් ද? තවමත් කිසිවකු ප්‍රශ්නය කුමක් දැයි කියා නැහැ. මේ ඊනියා ප්‍රශ්නය වතුකරයේ දෙමළ කතා කරන ජනයාට නැද්ද? සුමන්තිරන්ලා වතුකරයේ දෙමළ කතා කරන ජනයාට ප්‍රශ්නයක් නැති බව පිළිගෙන ඇති බව පැහැදිලියි. නැගෙනහිර පළාතේ දෙමළ කතා කරන ජනයාට ඇති වතුකරයේ දෙමළ කතා කරන ජනයාට නැති ප්‍රශ්නය කුමක් ද? උතුරු පළාතේ දෙමළ කතා කරන ජනයාට ඇති ප්‍රශ්නය කුමක් ද? ප්‍රශ්නයක් ඇත්තේ වෙල්ලාලයන් කිහිප දෙනකුට මිස  සෙසු දෙමළ කතා කරන ජනයාට නො වෙයි. වෙල්ලාලයන්ට ඇත්තේ රජ පිස්සුව. මුළු රටේ ම නායකයන් බවට පත්වීමට නොහැකි බව තේරුම් ගත් වෙල්ලාලයන් අද උතුරු හා නැගෙනහිර පළාත්වල පමණක් නායකයන් බවට පත්වීමට කැස කවනවා. ඒ සඳහා ඉන්දියාවේ ආධාරය ලබා ගන්නවා. මෙරට විසූරේ වූ ජෙයිශංකර් මුණ ගැහෙනවා.

 

එංගලන්තය ද ඔවුන්ට ආධාර කරනවා. එංගලන්තයේ කල්පනාව ඔවුන් නඩත්තු කරන දෙමළ විසුරුණු ජනයා මෙරට ඊනියා සංවර්ධනයට යොදවන්න. දෙමළ විසුරුණු ජනයා කුඩු වෙළෙඳාමෙන් නැවු මගින් භාණ්ඩ ප්‍රවාහනයෙන් හා වෙනත් ක්‍රමවලින් ධනය උපයා ඇත්තේ එංගලන්තය තමන්ට දුන් ආරම්භක ප්‍රාග්ධනය යොදා ගනිමින්. රනිල් යනු මෙරට එංගලන්ත නියෝජිතයා. බෑසිල් තමන්ට මුදල් උපයා ගැනීමට ආධාර කරන ඕනෑම රටක් වෙනුවෙන් පෙනී සිටිනවා. ඔහුට ඇත්තේ එක ම එක අභිලාෂයයි. ඒ ධනය හා බලය. 

 

අද අප කරන්නේ හොරාගෙ අම්මගෙන් පේන ඇහීම නොව හොරාට හා සගයන්ට රට භාරදීම ය. බටහිරයන් (එංගලන්තය) හා ඉන්දියාව තම සැලැස්මට අනුව රට අර්බුදයට දමා අපට ආධාර කිරීමට ඉදිරිපත්වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ අපේ ඊනියා බුද්ධිමතුන්ගේ කෙරුවාව ය. අපට ඇත්තේ ගෑස් පෝලිම නැති කිරීමට තෙල් පෝලිම  දික් කිරීමට දෙන කැසිනෝ උපදෙස් ය. අර ඊනියා බුද්ධිමතුන්ගේ උපදේශ කමිටුව තව තවත් කමිටු පිහිටුවීමට උපදෙස් දීමෙන් පසු විසිර ගියා ද? ඔවුන් කී දෙනකු ආදායම් බදු ගෙවීම පැහැර හැර තිබේ ද? ඔවුන්ගෙන් කී දෙනකු  අපනයනවලින් උපයන ඩොලර් පිටරටවල තැන්පත් කර තියෙනවා ද?

 

අප ඇත්තේ රට නැති වන  පසුබිමක ය. රට නැති කිරීමට කටයුතු කරන අය ම, අපේ සතුරු රටවල් ම අපට ආධාර කිරීමට ඉදිරිපත් වෙලා. මෙය අප අනුගමනය කළ විජාතික ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක්. අප තවමත් ජාතික අර්ථික ප්‍රතිපත්තියකට යොමු වී නැහැ. දේශපාලනික වශයෙන් ජාතික ප්‍රතිපත්තියකට යොමු වී නැහැ. අප මෙතෙක් ජාතික ප්‍රතිපත්තියකට යොමු වී ඇත්තේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී හා ඇතැම් බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීම සම්බන්ධයෙන් පමණකි. එහෙත් එතැනින් ඔබ්බට ගිය ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම හේතුවෙන් දෙමළ ත්‍රස්තචාදය පරාජය කිරීම  ආපසු හැරවීමේ තර්ජනය ද අප හමුවේ තියෙනවා.

 

රනිල් කිලිනොච්චි ගොස් නෝර්වේ තානාපතිගේ අවශ්‍යතාවට (එංගලනතය පිටුපසින් සිට) පාවා දීමේ ගිවිසුමක් අත්සන් කළ බව ජාතිකවාදීන්ට කිසිදා අමතක වන්නේ නැහැ. රනිල් බලයේ සිටියා නම් කුමක් සිදුවන්න තිබුණා ද? අවාසනාව ඔහු පාර්ලිමේන්තුවට පිටින් නැවතත් යම් ආකාරයකට බලයට පත් වීමයි. බැසිල් හා රනිල් නිවුන්නු අද බලය හසුරුවන්නේ ඉන්දියාවට හා එංගලන්තය ප්‍රමුඛ බටහිරට අවශ්‍ය අන්දමටයි.