Main Logo

Thursday 24 March 2022

මහා බැංකුවට දක්‍ෂ හිඟන්නන් තුන් දෙනකු පත් කරමු


මහා බැංකුවට දක්‍ෂ හිඟන්නන් තුන් දෙනකු පත් කරමු

 

ඊයේ මං පොර හා ගොං පොර මැයෙන් පළ වූ ලිපියෙන් වමාලාට සකර්බර්ග් අනාථ කඳවුරට පඬි නැට්ටන්ට බයියන්ට ටොයියන්ට පමණක් නොව ඇතැම් ජාතිකවාදීන්ට ද රිදිලා. සමහරු ඉහත සඳහන් කුලක එකකට වඩා අයිතියි. ඔවුන් තමන්ට ඇති වූ වේදනාව වසා ගැනීමට ඒ ලිපිය නන්දෙඩවිල්ලක් බව මට කෙළවී ඇති (ඔවුන්ගේ වචන) බව සඳහන් කරලා. එය නන්දෙඩවිල්ලක් බව සැබැයි. එහෙත් එය මං පොර කිහිප දෙනකුගේ නන් දෙඩවිලි. අද ඇතැම් මං පොරවල් ඩොලර් හිඟයට විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. ඒ එකක්වත් විසඳුම් නො වෙයි. ධම්මික පෙරේරාගේ ගෑස් පෝලිම නැති කිරීම, ඕමල්පෙ සෝභිත හාමුදුරුවන්ගේ පන්සල්වල ඇති ධනය (රත්තරන් පොලු ගැන සඳහනක් තිබුණේ නැහැ) භාණ්ඩාගාරයට දීම ආදි විහිළු ඒ අතර තිබුණා. මා කෙළේ ඒ විවිධ නන්දෙඩිවිලි එක් තැනකට ගෙන ඒම පමණයි. එමෙන් ම මා ඇතැම් මං පොර ගැනත් විස්තරයක් කළා. ඒ මං පොර හඳුනා ගැනීමටයි. 

 

ඒ ලිපිය කියවා ඉහත කී පිරිස් කෝප වීම පුදුමයක් නො වෙයි.  ඇතැම් ජාතිකවාදියකු බයියන් සමග සංවිධාන හැදීමට කටයුතු කරනවාලු. බයියන් හා ටොයියන් ඇති කරන සංවිධාන. ඔවුන් ගැන රටේ දන්නේ කවුදමට කෙළවිලා නැති බවත් සඳහන් කරන්න ඕන. ජී එල් පීරිස් මහා බැංකුවේ හිටපු ප්‍රධානි ඩබ් ඩී ලක්‍ෂමන් පී ඩබ්  ඇපාසිංහ ආදී පිරිස් හර්ෂ ද සිල්වාගේ පියා හරිස්චන්ද්‍ර හෙවත් හැරිස් සිල්වා සමග එකතු වී මට වරක් කෙළවන්න හැදුවත් කෙළවුනේ නැහැ. ඩිල්කා සමන්මලී හා 360 නිෂ්පාදකයා දන්නවා මා එකලත් දරුවන් එතෙර යවා ඉගැන්වූ බව. 

 

ඔය පඬි  නැට්ටන්ගෙන් නිරූපණය වන්නේ මෙරට අධ්‍යාපනයෙහි විශේෂයෙන් ම ශාස්ත්‍ර නැත්නම් කලා ධාරාවන්හි ඇති ප්‍රශ්නය. අධ්‍යාපනයෙන් හිතන්න පුරුදු කරන්නෙ නැහැ. රටා හඳුනා ගැනීමට රටා අතර ඇති සම්බන්ධකම් මතු කර ගැනීමට දත්ත රටා ආදිය ආශ්‍රයෙන් කතාවක් ගෙතීමට අධ්‍යාපනයෙන් කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ. අද කෙරෙන්නේ දත්ත ගබඩා කරන්නන් බිහිි කිරීම පමණයි.   මයුර සංදේශයේ මොණරා ගිය පාර ගාලු පරෙ ලකුණු කරන අයත් ඉන්නවා.  ඔවුන්ගෙන් මෙරටට වන සෙතක් නැහැ. ඔවුන්ට මා ඊයේ සඳහන් කළ මං පොරවල  යෝජනා විහිළු බව තේරුම් ගැනීමටවත් බැහැ. අර ඊනියා විද්වත් කමිටුව තවත් කමිටු ඇති කිරීමට කර ඇති යෝජනාව සලකා බලන්න.

 

මා මේ ආණ්ඩුවට පක්‍ෂ වෙනත් කිසිවකුට මේ තරමටවත් කළමනාකරණයක් කරන්න බැරි නිසාත් ඔවුන්ට යම් ජාතිකත්වයක් ඇති නිසාත්. සජිත් ගාලු මුවදොර පිටියේවත් අනුර රනිල්දාස ඊයේ නුගේගොඩදීවත් ඉදිරිපත් කළ විසඳුම් මොනවා ද. සටන්පාඨ දේශපාලනයෙන් හරි මනෝමය යෝජනාවලින් හරි ප්‍රශ්න විසඳන්න බැරි බව චතුර අල්විස් හා අනෙක් ජනමාධ්‍යවේදීන් තේරුම් ගන්නේ නැත්නම් එයට කරන්න දෙයක් නැහැ. මට චතුරට මෙන් ජනප්‍රියතාවක් නැහැ. දෙරණ අපේ අදහස්වලට තැනක් දෙන්නේ නැහැ.

 

දිලිත් ජයවීර හිතන්නේ මා අනෙක් අය සමග කතා නොකරන  ආඩම්බරකාරයකු බවයි. මට පඬියන් පඬි නැට්ටන් සමග කතා කරන්න දෙයක් නැහැ. මා කතා කරන්නේ මහරගම රෙදි විකුණන්නන් පාරෙ තොටේ යන අය සමගයි. ඉස්සර මා විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවකයන් සමග ඕනෑ තරම් කතා කළා. මා ඔවුන්ගේ ඕනැ එපාකම් සිතුම් පැතුම් හොඳින් දැන සිටියා. ආචාර්යවරුන් කිහිප දෙනකු පමණක් ඇසුරු කළා.  බොහෝ වෙලාවට බෝට්ටුවේ හරි කොල්ලෑවේ එල්ලී හරි විශ්වවිද්‍යාලයට ඇතුල් වූ ඇදුරන් එක්ක කතා කළේ අද බසින් කියනවා නම් ආතල් ගැනීමට පමණයි. ඔවුන් වචන දැන සිටියා. වාක්‍ය අතර සම්බන්ධය දැන සිටියේ නැහැ.

 

ඔය සිස්ටම් චේන්ජ් කාරයන් ඇති කරන්න යන ක්‍රමය කුමක් ද? කියුබාවේ සිංගප්පූරුවේ මලයාසියාවේ චීනයේ ක්‍රමය ද? එහෙමත් නැත්නම් පැරණි එංගලන්තයේ ක්‍රමය ද? මේ හැම තැනක ම ඔය කියන දියුණුව ඒ රටවල් අත්කර ගත්තේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකින් නො වෙයි. ලංකාවේ එක් ප්‍රශ්නයක් වී ඇත්තේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරමින් ඔය කියන දියුණුව අත්පත් කර ගැනීමට උත්සාහ කිරීම. එය අසාර්ථක බව දැන් පැහැදිලියි. අප සියල්ලන් ම අසමත්.

 

ඩොලර් හිඟයේ පැතිකඩ දෙකක් තියෙනවා. පළමුව හා ක්‍ෂණිකව ඩොලර් හිඟා කැම. ගත් ණය ගෙවීම කල්දමා ගැනීම. මේ සඳහා මහා බැංකුවට හිඟන්නන් තුන්දෙනෙක් හා නීිතිඥයන් තුන්දෙනෙක් පත් කිරීම ප්‍රමාණවත්. අනේ මහතුනේ මට වන් දුක බලලා සෙනෙහෙ සිතින් අනුකම්පා උපදවලා කවිය ඉංගිරිසියට නංවා ගැනීම වැදගත්.  අර යාචකයන්ගේ ආයාචනා ඉංගිරිසියට පරිවර්තනය කිරීමට රනිල් යොදා ගන්න පුළුවන්. 

 

බොහෝ දෙනා කියනවා රනිල් කියවන බව. ඒ බව පැහැදිලියි. ඔහු පාර්ලිමේන්තුවේත් සර්වපාක්‍ෂික සම්මේලනයේත් කියවනවා. කියවා වට පිට බලනවා තමාගෙ කියවීම අනෙක් අය අගය කරනවා ද කියා දැන ගැනීමට. ඔහු මෙරට හතරපස් වතාවක් අගමැති වී සිටීම ම හෙළි කරන්නේ රටේ තත්වයයි. රනිල් දන්නේ ණය ගන්න ජාමූලට යන්න පමණයි. ඔහු පැහැදිලිව ම  බටහිර ලිබරල් දේශපාලනයේ නියෝජිතයා. ඔහු මේ කලාපයේ කොන්සර්වෙටිව් පක්‍ෂවල සම්මේලනයේ සභාපති ව සිටියා. ඔහු දන්නවා ජාමුල වාර්තාවක් මුදල් ඇමතිට දීල කියා. ඔහු ඒ බව දන්නේ කෙසේ ද? ඔහුගේ අවාසනාවකට එය කෙටුම්පතක් පමණයි. කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සිරිතක් නැති බව රනිල් දන්නේ නැද්ද? අප බැසිල්ට පහර දීමට රනිල් වීරයකු කළ යුතු නැහැ. අවුරුද්දට පෙර සංශෝධන අයවැය යෝජනා ගේන එක හොඳයි. සංශෝධන අයවැය යෝජනා මීට පෙරත් ගෙනැවිත් තියෙනවා.

 

ඩොලර් හිඟයේ තවත් පැත්තක් තියෙනවා. ඒ එහි ඉතිහාසයයි. ඩොලර් හිඟය ඇති වුණේ කොහොම ද? ඒ තමයි වැදගත් එහෙත් කතා නොකරන ප්‍රශ්නය. ඊයේ නිවාඩ් කබ්රාල් ඉතිහාසයට ගියා විතරයි. රනිල් එයට විරුද්ධ වුණා. විජය රජු දක්වා යන්න ද කියා ඇහුවා. නැහැ ලෝකයේ ආරම්භය දක්වා දෙවියන් වහන්සේ දක්වා යන්න ද කියා රනිල්ගේ පියා අහන්න තිබුණා. ප්‍රශ්නවල ඉතිහාසය දෙවියන් වහන්සේ කරා යා යුතු නැහැ. එහෙම නැත්නම් මහා පිපුරුම කරා යන්න අවශ්‍ය නැහැ. ඩොලර් හිඟය ඇති වුණෙ රනිල්ගෙ මාමා  නිසා. රනිල් ඒ ඉතිහාසයට යන්න අකමැතියි.

 

ඩොලර් හිඟය ඇති වුණේ කෙසේ ද? අප එය සාකච්ඡා කළ යුතුමයි. රනිල් අකමැති වුණත් කරන්න දෙයක් නැහැ. අපි එය සාකච්ඡා කරමු. අපි ණයට කන ජාතියක්. අප ඒ ක්‍රමය වෙනස් කළ යුතුයි. අපට කියුබාවේ හරි සිංගප්පූරුවේ හරි ක්‍රමයක් අවශ්‍ය නැහැ. අපි අපේ ම ක්‍රමයක් සකස් කර ගනිමු. ඒ අනුරාධපුරයට ආපසු යෑමක් නො වෙයි. එහෙත් හෙළ වෙදකමට හා හෙළ ගොවිකමට නිසි තැන දිය යුතු වෙනවා.