Main Logo

Friday 18 March 2022

ගන්න ගන්න චූන් වෙන්න රනිල් චුවිංගම්

 

ගන්න ගන්න චූන් වෙන්න රනිල් චුවිංගම්

 

රනිල් නිෂ්පාදනයක් කළා ද කියා මා අහන්නෙ නැහැ. අකිල කාරියවසම් නම් ඒ කාලෙ ෆොක්ස්වාගන් රිය නිෂ්පාදනය කරන්න කතා කළා. අන්තිමට වාගන් නැතුව ෆොක්ස් ඉතුරු වුණා. මෙතන ෆොක්ස් කියන්නෙ මොන භාෂාවෙන් ද කියල මගෙන් අහන්න එපා. ෆොක්ස්වාගන් කිවුවට මා හිතන්නෙ ජර්මන් භාෂාවෙන් ෆෝක්ස්වාගන් කියල. මා හරියට දන්නෙ නැහැ. ෆෝක්ස් කියල සමහර වෙලාවට ඉංගිරිසියෙනුත් ජනතාව සඳහා යොදනවා. ෆෝක්ස්වාගන් කියන්නෙ ජනතාවගේ රිය බවයි මා හිතන්නෙ. ඒ කොහොම වෙතත් ෆෝක්ස්වාගන් ලංකාවෙ නිෂ්පාදනය කරන්නෙ නැහැ. දැන් පිටින් ගේන්නෙත් නැහැ. කලින් ගෙනාපු ඒව විතරයි තියෙන්නෙ. හර්ෂ ද සිල්වා හා එරාන් වික්‍රමරත්න රිය නිෂ්පාදනය ගැන අකිල කාරියවසම් එක්ක කතා කළා ද? එයට සිංහලෙන් ජනරිය  කියන්න බැහැ. සන්නාම අපට ඕන විධියට පරිවර්තනය කරන්න බැහැ.

 

ඒ කොහොම වුණත් දැන් තරුණ තරුණියන් ස්මාට්ෆෝන් පාවිච්චි කරනවා. ඒ රනිල් ගෙනත් දීල නො වෙයි. රනිල් ගෙනත් දුන්න චුවිංගම් කවුරුවත් චූ කරන්නෙ නැහැ. මෙතන චූ කියන්නෙ ඉංගිරිසියෙන්. මා සිංහල කතාකරන විට ඉංගිරිසි වචන පාවිච්චි කරන්න කැමති නැහැ. තාමත් මට ඉංගිරිසියට වඩා සිංහල පුළුවන්. ඉංගිරිසිය මට වැඩ ගන්න භාෂාවක් මිසක් වැඩ කරන භාෂාවක් නො වෙයි. ඉංගිරිසිය මට දැන් අවශ්‍ය වන්නෙ ඊනියා විිද්‍යා පත්‍රිකාවක් ලියන්න විතරයි. කාලෙකින් පත්‍රිකාවක් ලිවුවෙ නැහැ.

 

මට රනිල් මතක් වුණෙ ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ (ජාමූලෙ)  නියෝජිතයා වගේ කතා කරන නිසා. මේ රටේ ඩොලර් අර්බුදයක් තියෙනවා. ඒක වහන්න බැහැ. හැබැයි ඩොලර් අර්බුද මීට ඉහත දීත් තිබුණ. ජී එල් පීරිසුත් දන්නවා 1969-70 කාලයෙත් ඩඩ්ලි සේනානායකගෙ හත්හවුල් ආණ්ඩු කාලෙත් ඩොලර් නැත්නම් විදේශ විනිමය අර්බුදයක් තිබුණ බව. ඒ කාලෙ විදේශ විනිමය ඉපයීමේ සහතික (FEEC) ක්‍රමයක් තිබුණ. හැත්තෑවෙ දශකයෙ එන් එම් සහෝදරයා මුදල් ඇමති වෙලා ඉන්න කාලෙත් දරුණු විනිමය ප්‍රශ්නයක් තිබුණ. ඔහුට මොළ හතක් තිබුණෙ නැහැ. ඒත් ඩබල් ඩොක්ටර් කියල කිවුවෙ. ඔහු ආර්ථික විද්‍යාවෙන් පී එ ඩී හා ඩී එස් සී උපාධි ලැබූවෙකු ලෙසයි ප්‍රසිද්ධ වෙලා තිබුණෙ.

 

මට මතක විධියට ඒ කාලෙ පවුම් දෙකක් හරි තුනක් හරි තමයි පිටරට ගෙනියන්න දුන්නෙ. එපමණක් නො වෙයි. මගේ මතකය නිවැරදි නම් ඒ කාලෙ නීතියක් තිබුණ ගෙයක් හදන විට එහි භූදේශපාලනය නොවෙයි භූවර්ගඵලය කිසියම් ගණනකට වඩා අඩු වෙන්න ඕන කියල. ඒ වගේ ම උත්සවවලට ආරාධනය කරන්න පුළුවන් පිරිසගෙත් සීමාවක් තිබුණ වගෙයි මගේ මතකය. ඒ වගේ නීති දැනුත් පනවන නම් හොඳයි කියල හිතනවා. වමාලත් විරුද්ධ වෙන එකක් නැහැ. මොළ හතේ නොව ඩබල් ඩොක්ටර් විසඳුම් නිසා. නැහැ නැහැ ඩබල් ඩිස්ටිල්ඩ් නො වෙයි.

 

ඒ කාලෙ රනිල්ට වයස විසිපහක් විතර වෙන්න ඇති. ඔහු බියගමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණෙ 1977 දි. ඔහු පස්සෙ බියගමට බියවෙලා කොළඹට ගියා. හැත්තෑවෙ ආණ්ඩුව කාලෙ කවුරුන්වත් එන් එම් සහෝදරයාට කිවුවෙ නැහැ ජාමුලට යන්න කියා. හැබැයි ඒ කාලෙ ජනමාධ්‍යවේදීන් අද තරම් ප්‍රබුද්ධ නැහැ. අප දැන ගෙන හිටියෙ නැහැ ඩොලර් සංචිතය කීය ද කියල. පැයෙන් පැයට ඩොලර් සංචිතය මෙපමණ ය කියා කිසිවකු අපට කිවුඬෙ නැහැ. ඊළඟ තෙල් නැව එන්නෙ කවද ද කියන්නත් කිසිම ජනමාධ්‍යවේදීයකු ඉදිරිපත් වුණෙ නැහැ. ජනමාධ්‍යවේදීන්ට ආණ්ඩුව භාරදුන්නොත් නරක ද? අපට උණු උණුවෙම තොරතුරු ලබා ගන්න පුළුවන් වේවි. මෛත්‍රිපාලත් ඉන්න එකේ උණු උණුවෙන් ම ආප්ප කමින් ප්‍රවෘත්ති නරඹන්න පුළුවන්. ජනමාධ්‍යවේදීන්ට අමුතුවෙන් තමන්ගෙ මතය කියන්න ඕන වෙන එකකුත් නැහැ. ආණ්ඩුවෙ මතයයි මාධ්‍යයෙ මතයයි දෙක ම එකයි.

 

කොහොමත් සමහර ජනමාධ්‍යවේදීන් තමන් හතරවැනි රාජ්‍යය (fourth state) කියල  කියනවා. ඒක හතරවැනි මණ්ඩලය නැත්නම් (fourth estate) කියල ඒ අය දන්නෙ නැහැ. estate මොක ද state මොක ද? ඉස්සර සමහරු තමන්ගෙ වත්තට ගියෙ තමන්ගෙ රාජ්‍යයට යනව වගේ කියල හිතාගෙන. රනිල්ගෙ වතු තියෙන්නෙ කොහෙද කියල අපි දන්නෙ නැහැ. ඔහු ඉන්නෙ කුරුඳුවත්තට අල්ලපු ගමක. සජිත් ඉන්නෙ කෙහෙල්වත්තෙ ද කියල අහගන්න බැරි වුණා.

 

රනිල්ල 1977 ඉඳල ම ජාමූලෙ වන්දනා කරනවා. ඒත් මොකක් ද රටට වෙලා තියෙන සෙත. ජාමූලෙ උපදෙස් ද නිසා තමයි අද රට  මේ තත්වයට වැටිල තියෙන්නෙ. ජාමූලෙ වන්දනා කරල නැති වෙච්ච රටවල් කීයක් ලෝකෙ තියෙනවා ද? රනිල් දන්නෙ නැත්නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න පුළුවන්. රනිල් පොත් කියවනව නම් ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. මා හිතන්නෙ වාසු සහෝදරයා ජාමූලෙ යනවට විරුද්ධයි. ඒ අතින් ඔහුට විතරයි ස්ථිර ප්‍රතිපත්තියක් තියෙන්නෙ. ඒත් අද අප බිත්තියට හේත්තු කරල. අද අපට විකල්පයක් හැටියට රනිල් හා ඊනියා ආර්ථික විිද්‍යාඥයන් ඉදිරිපත් කරන්නෙ ජාමුල විසඳුම පමණයි. අපට තාවකාලික ව හරි ජාමූලෙ ගිහින් ඩොලර් කීයක් හරි හිඟා කන්න වෙනවා. ඒක ආපහු ගෙවන දාට අර ෆෝක්ස්වාගන් ටිකයි චුවින්ගම් ටිකයි නිෂ්ඳාදනය කර ගත්තෙ නැත්නම් අර්බුදය තවත් උග්‍ර වෙයි. රනිල්ට දෙවි පිහිටයි.

 

ඩොලරය ඉපයීම ගැන අපට ක්‍ෂණික ව තියෙන්නෙ හරිත කෘෂිකාර්මික නිෂ්පදන වැඩි කර ගැනීමයි. ඉන්දියාවෙන් ණය ගන්න පුළුවන්. ඒත් කොන්දේසි මොනවා ද? මේ අතර ඩොලර් ඉතිරි කර ගැනීම ගැන හිත යොමු කරන්න පුළුවන්. එහි දී ආනයන අඩු කිරීම ආකල්ප වෙනස් කිරීම ජීවන රටාව සරල කිරීම ආදිය තමයි පිහිටට එන්නෙ. ඒ අතර අපට ඩොලරය මග හරින ක්‍රම ගැනත් හිතන්න වෙනවා. ආර්ථික විද්‍යාව භෞතික විද්‍යාව වගේ නො වෙයි. කිසිම ආකාරයක නිශ්චිත අදහසක් නැත. ඒත් අතට මේත් අතට.

 

අප රුසියාවට තේ යවන එක නවත්තල කියල පුවතක් දැක්ක. රුසියාවට නැවු යන්නෙ නැතිලු. ඉන්දියාව ඒ වෙළෙඳ පොළත් අල්ල ගනීවි. ඉන්දියාව රුසියාවෙන් තෙල් ගන්නවා. එ තෙල් ගේන්නෙ නැවුවලින් නො වෙයි ද?   ඩොලරය කියන්නෙ කෘත්‍රිම මුදලක්. බ්‍රෙට්න්වුඩ්ස්  ගිවිසුම කඩා වැටුනට පස්සෙ ලෝකෙ වෙළෙඳාම මහ කෘත්‍රිම දෙයක්. අපි බරකරත්තෙන් යමු ද කියල අහන්න වෙනවා. අපේ තේ රුසියාවට යවල රුසියාවෙන් තෙල් ගන්න පුළුවන් ද? බඩු හුවමාරු ක්‍රමය අදට ගැලපෙන පරිදි යොදා ගන්න පුළුවන් ද? දන්නෙ නැති නිසයි අහන්නෙ. හැබැයි දෙන ඕන ම පිළිතුරක් පිළිගන්න අප බැඳිල නැහැ.  ඒත් අතට මේත් අතට.