Main Logo

Monday 28 March 2022

ටෙලි හා වලි බලමින් ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙනවා ද?

 

ටෙලි හා වලි බලමින් ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙනවා ද?

 

ඊයේ මගේ ලිපියේ සඳහන් වූ කරුණු පමණක් තිස්ස කාරියවසම්ගේ නිබන්ධනයෙන්. එහි ඇති කතා මගෙන්. උදාහරණයක් වශයෙන් ගිහියන් හාමුදුරුවරුන්ගෙන් නායකත්වය ගැනීම. ඊයේ ලිපිය සමග පළ කෙරුණු චිත්‍රය තරමක් ප්‍රසිද්ධ එකක්. එහෙත් එහි කතාව කී දෙනකුගේ අවධානයට යොමු වී ඇත් දැයි දන්නේ නැහැ. එය නිර්මාණය කළ චිත්‍ර ශිල්පියා කුමන අදහසකින් එය කෙළේ දැයි මා දන්නේ නැහැ.

 

එ චිත්‍රයෙන් පිළිබිඹුවන්නේ රජු සංඝරාජ හිමියන්ට අක්ත පත්‍ර ප්‍රදානය කිරීමයි. එය ලන්දේසි යුගයේ සිදු වූවක්. සඟ සසුන අන්තයට ම පිරිහුණු යුගයකින් පසු බුදු සසුනේ යම් පුනර්ජීවනයක් ඇති වීම ඉන් පිළිබිඹු වෙනවා. මෙහි ඇති වැදගත් කරුණ නම් රජු ඔටුන්න පැළඳ සිටීමයි. සඟරජ හිමියන් ඉදිරියේ පන්සල ඇතුළේ රජු ඔටුනු පළඳා මා හිතන විධියට පාවහනුත් පැළඳ ගෙන. මෙය චිත්‍ර ශිල්පියා දැනුවත් ව නිරූපණය කළ දෙයක් ද කියා මා දන්නේ නැහැ. කෙසේ වෙතත් උගත් ජනමාධ්‍යවේදීන් කියන ආකාරයට එය කතා කරන චිත්‍රයක් යැයි මා කියන්නේ නැහැ. මා ඔවුන් තරම් ඈසූ පිරූ තැන් ඇත්තකු නො වෙයි.

 

තවමත් කිසිවකු ඩොලර් හිඟයට විසඳුමක් ඉදිරිපත් කරන්නේ නැහැ. තවම කතා කරන්නේ ඩොලර් හිඟා කෑම ණය ගෙවීම කල්දමා ගැනීම ආදියයි. ඩොලර් ඉපයීමක් ගැන අපේ අවශ්‍යතා අඩු කිරීමක් ගැන කතාවක් නැහැ. තවත් බොහෝ දේ කතා කළ යුතුව තියෙනවා. එහෙත් ඒ රටට නො වෙයි. මට පැහැදිළි කර ගැනීම සඳහා පමණයි. උදාහරණයක් ලෙස අපේ නිෂ්පාදන වියදම අධිකයි. අප භාණ්ඩයක් නිෂ්පාදනය කර අපනයනය කළොත් ඉන් ලැබෙන ඩොලර් ප්‍රමාණය රුපියල්වලට හැරවූ පසු ලැබෙන ලාභය ඉතාමත් සුළු එකක්. ආණ්ඩුව එවැනි අපනයන කරුවන් දිරිමත් කිරීමට යම් සහනයක් දෙන්න ඕන. එසේ අපනයනය කර ඩොලර් සිංගප්පූරුවෙ හරි වෙන කොහේ හරි තැන්පත් කරන කැසිනෝ කාරයන් මෙන් නොමෑති ව ලංකාවට ගෙනෙන අයට රුපියල්වලින් බදුසහනයක් දෙන්න පුළුවන්. එය පොදු බදු සහනයක් නොව ඩොලර් ලංකාවට ගෙනෙන අයට පමණක් දෙන බදු සහනයක් වෙන්න ඕන.

 

අද ලෝක බලතුලනයේ වෙනසක් සිදු වී තියෙනවා. රුසියාව යුක්‍රේනයෙන් පසු බැසීමකට ලක්වීමෙන් කියැවෙන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය අප සිතුවාට වඩා බලවත් බවයි. ක්‍රිස්තියානි නූතනත්ව දැනුම කඩා වැටී ඇති මුත් විකල්ප දැනුමක් ගොඩනගා ගැනීමට රුසියාවටවත් චීනයටවත් නොහැකි වී තියෙනවා. තවමත් ලෝකයෙ අර්ථ ක්‍රමය අධ්‍යාපනය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ. පෙට්‍රො ඩොලර් නමින් හැඳින්වෙන ඉන්ධන විකිණීමෙන් ලැබෙන මුදල් තැන්පත් වන්නේ ලන්ඩනයේ හරි නිව්යෝක් නගරයේ හරි. තවමත් මූල්‍ය බලය ඇත්තේ බටහිර රටවලට. එය කඩන්නට රුසියාවත් චීනයත් අසමත් වී තියෙනවා. අද ඉන්දියාව හා චීනය රුසියාවෙන් ලාබෙට ඉන්ධන මිල දී ගන්නවා. එය රූබල්වලින් කරන්න පුළුවන් ද? අනෙක් අතට අපට රුසියාවෙන් ලාබෙට තෙල් මිල දී ගන්න බැරි ද? එහි දී අරාබි රටවල් සමග ඇතිකර ගෙන තියෙන ගිවිසුම් බලපානවා ද?  

 

ඒ කොහොම වෙතත් රුසියාව දෙස බලමින් සිටි ඉන්දියාව නැවතත් බටහිරයන් දෙසට ඇදෙන්න ඉඩ තියෙනවා. අද මෙරට ඇත්තේ රනිල් බැසිල් සමාගමේ වැඩ කිඩ. ලෝක බලතුලනයේ වෙනස් වීමත් ඊටත් පෙර බැසිල්ගේ විස්සාගමනයත් එයට බලපෑවා.  බැසිල් බලයට ගෙන ඒමට ඉන්දියාව විශාල වැඩ කොටසක් කර තියෙනවා. මහින්ද රාජපක්‍ෂ දේශපාලන වශයෙන් අක්‍රීය වීමත් රාජපක්‍ෂ පවුලේ වැඩිම ජාතිකත්වයක් ඇති ගෝඨාභය අපකීර්තියට පත් කිරීමට ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමත් එහි දී අපට දකින්න පුළුවන්. සර් ෆේල් ව්‍යාපාරය මුල දී ම ආරම්භ කෙරුණා. විවේචනයට ලක් කෙරුණේ ආණ්ඩුව නොව ගෝඨාභය ජනාධිපතියි. එමගින් ජාතික ව්‍යාපාරයට පහර දීමක් ද සිදු වූ බව ඇතැම් ජාතිකවාදීන්ට වැටහුණේ නැහැ. ඔවුනුත් ගෝඨාභය විවේචනය කරන්න පටන් ගත්තා. ඔවුන් ද වක්‍ර ව හරි රනිල් බැසිල් සමාගම බලයට පත් කිරීමට කටයුතු කර තියෙනවා. 1980න් පසු මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහණය අඩු වීමත් ගෝඨාභයගේ පිටින් යවන්න ඔවුන් සූදානම් වෙනචා.

 

ඉන්දියාව බමුණන්ගේ ආධාරයෙන් සැලසුම් සහගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අද ඉන්දීය විදේශ ඇමති මෙහි එන්නේ බිම්ස්ටෙක් සඳහා නොව ඒ සැලසුමේ කොටසක් ලෙසයි. ඉන්දීය ණය ඩොලර් බිලියනය අපට ලැබෙන්නේ කොන්දේසි විරහිතව යැයි  බැසිල් කියනවා. බලමු! ඉන්දියාව සිංහලයන්ගේ හිත දිනා ගැනීමට පහුගිය අවුරුදු දෙකක කාලයේ ක්‍රියාත්මක වුණා. දැන් මැණිකේ මගේ හිතේ නැත් දඅමිතාබ් භච්චන්ගේ මිණිබිරිය මේ දවස්වල කැමති සිංදුව කුමක් ද? භාණුක රාජපක්‍ෂ ඊයේ තරගයේ දී හොඳින් ක්‍රීඩා කරලා. භාණුකට ලංකාවේ අසධාරණයක් වන විට ඉන්දියාව පිහිටට ඇවිල්ලා. වනිඳුට කීයක් ගෙවුවා ද කියා මට දැන් මතක නැහැ. අප ඉන්දියාවේ ප්‍රාන්තයක් වුණොත් නරක ද?

 

ඒ සියල්ටමත් වඩා ඉන්දීය විදේශ ඇමති එන්න දවසකට පෙර නවීන් දිසානායක මහා බරපතල ප්‍රකාශයක් කරලා. ඔහු කියා තිබෙනවා ඉන්දියාව ඔහුගේ මෑණියන්ට කතා කර  කොටි පරාජය කිරීමට ඉන්දියාව සහාය දෙන බව කී වගක්. ඔහු ඒ බව කීමට මෙතරම් ප්‍රමාද වුණේ ඇයි. ඔහුට එහෙම කියන්න කියා කිසිවකු කිවුවා ද? ඉන්දියාව අපට කළ ආධාරයක් නැහැ. එවැනි ප්‍රකාශවලින් ඉන්දියාවේ නියෝජිතයා වු ගාමිණි දිසානායකගේ පුතා එක් පැත්තකින් අපේ රණවිරුවරුවන්ට දිය යුතු ගෞරවය නැති කරනවා. ඉන්දියාව එවෙලේ කොටින්ට ආධාර නොකළ බව නම් සබැව. ඒ ප්‍රභාකරන් රජිව් ගාන්ධි ඝාතනය කළ නිසා. අප දිණුවේ සිංහල යුද්ධ උපක්‍රම ද යොදා ගනිමින්. ඉන්දියාවේ ආධාරයක් නිසා නො වෙයි.

 

අනෙක් පැත්තෙන් සිංහලයන්ට ඉන්දියාව කෙරෙහි ගෞරවයක් ඇති කිරීමට ඒ ප්‍රකාශ මගින් උත්සාහ ගැනෙනවා. ඉන්දියාවට යොහානි මගින් හරි නවින් මගින් හරි සිංහලයන්ගේ විරෝධය නැති කර ගන්න අවශ්‍යයයි. මා නැවතත් කියනවා. අපේ ප්‍රධාන සතුරා එංගලන්තය දෙවැනි සතුරා ඉන්දියාව. ඉන්දියාවෙ (ඒ ප්‍රදේශයේ) අපට හිටියෙ මිතුරන් දෙදෙනකු පමණයි. ඒ බුදු හාමුදුරුවන් හා මිහිඳු හාමුදුරුවන්. ඉන්දියාව ඩොලර් බිලියනයකට ලංකාව ගන්න සූදානම් වෙනවා.

 

ඒ අතර ලංකාව රුසියාවට යන ගුවන් ගමන් නතර කරලා. එයට විවිධ හේතු කියාවි. එහෙත් එසේ සිද වන්නේ බටහිරට පක්‍ෂපාතිව. බටහිර රටවල් දහතුනක් හා යුරෝපා සංගමය රුසියාවට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ නොබෝදා. අප රුසියාවට යන නැව් නැහැ කියමින් තේ යැවීම නැවැත්තුවා. මේ සියල්ල මැදයි සර්වපාක්‍ෂික සම්මේලනය පැවැත්වුණෙ. එයට දෙමළ ජාතික සංධානය සහභාගි වුණෙ. නැගෙනහිර දෙමළ කතා කරන ජනයාට නැති ප්‍රශ්නයක් විසඳන්නයි සුමන්තිරන් නම් මෙතෝදිස්ත සභාවෙ නීතිඥයා පෙනී සිටින්නෙ. වෙම්බඩි  කාන්තා විද්‍යාලය මෙතෝදිස්ත සභාව ඇති කළ පැරණි පාසල්වලින් එකක්. සුමන්තිරන්ගෙ භාර්යාව තවමත් එහි පාලක සභාවෙ ඉන්නවා ද?

 

මේක බොර දියේ මාළු බෑමක් නොවෙයි. දිය බොර කරලා මාළු බෑමක්. ජනමාධ්‍ය මේ සියල්ල ගැන නිහඬයි. ඔවුන් දන්නෙ පඬි කතා කියවන්න පමණයි. රූපවාහිනීවල ඇත්තෙ ටෙලි හා වලි. ඒ කියන්නෙ අටේ සිට දහය පමණ දක්වා ටෙලි නාට්‍ය හා ඉන් පසු වලි. වලි නැත්තන් මිනිසුන් රෑට රුපවාහිනි බලන්නෙ නැතිලු. වලි බලල නැගිටින විට රට නැති වෙලා.