Main Logo

Thursday 10 August 2023

රනිල් මහින්ද ජේ ආර් හා දහතුන

 

රනිල් මහින්ද ජේ ආර් හා දහතුන

 

රනිල් බලයට පත් කෙරුණේ කවුරුන් විසින් කුමක් සඳහා යන්න මේ වන විට පැහැදිලි වෙලා. රාජපක්‍ෂලා ගෙදර යැවුවේ තමන් යැයි සිතන වමාලා දකුණාලා ජෙප්පන් සෙප්පන් විවිධ බුද්ධිමතුන් මේ වන විට රනිල් ගෙදර යැවීමේ කාර්යයේ නිරත වෙනවා ඇති. වමක් නැති වමාලාට කරන්න පුළුවන් එක දේ සකර්බර්ග්ගේ පිටුවල කුරුටු ගෑම පමණයි.  බුද්ධිමතුන් කුණු ඇපල් අහුලමින් පත්‍රිකා ලියනවා වෙන්න පුළුවන්. ඔවුන්ට කිසි දා කතාවක් ගොතා ගන්න බැහැ. නිවුටන් ඇපල් අහුල අහුල හිටිය නම් ගුරුත්වාකර්ෂණ කතාව ගොතා ගන්න බැහැ. 

 

ජෙප්පන් ගැන කතා කරල වැඩක් නැහැ. අද වෙන විට වි පෙ දෙකට කැඩිලා. ගුණදාස අමරසේකර කී ගැමි උගත් තරුණ පරපුරක් අද තියා එදාවත් හිටියෙ නැහැ.  එදා වි පෙරමුණ ඊනියා නිර්ධනයන්ගේ පක්‍ෂයක්. ගමේ පක්‍ෂයක් නො වෙයි. ඔවුන්ට තිබුණෙ ප්‍රභූ වෛරයක්. අද පක්‍ෂයෙ ප්‍රභූනුත් ඉන්නවා. එහි ස්වරූපය තමයි ජාතික ජන බලවේගය. එය ඊනියා ප්‍රභූ සිංහල බෞද්ධ විරෝධී පක්‍ෂයක් වෙලා. සිංහල බෞද්ධ විරෝධී වමාලට එයට හුරේ කියන්න පුළුවන්.

 

 

සෙප්පන් ගැන මොනව කියන්න ? ඔවුන්ට මාක්ස්වාදී සටන් පාඨ කියව කියව ඉන්න පුළුවන්. ඔවුන් එක්ක ඉන්න සමහරුන් හිතන්නෙ බුදුදහම නිසා රට මිහිඳු හිමියන් වැඩිය දිනවල සිට ප්‍රපාතයට යනවා කියා. සෙප්පන්ට හා ජෙප්පන්ට ජඩමාධ්‍ය නැත්නම් දේශපාලනයක් නැහැ.

 

 

බටහිරයන් තම සංස්කෘතික ආධිපත්‍යය වෙනුවෙන් මිනිසුන් කෝටි ගණනින් මැරුව. අදත් මරනවා. ඉන්දියාවෙ විවිධ වාංශික රජවරුන් කෝටි ගණනින් නැති වුණත් ලක්‍ෂ ගණනින් මැරුව. මාක්ස්වාදීන් මාක්ස්ගෙ නමින් තමන්ගෙ සංස්කෘතික ආධිපත්‍යයක් වෙනුවෙන් මිනිසුන් ලක්‍ෂ ගණනින් මැරුව. එහෙත් ඔවුන්ට ඊනියා මාක්ස්වාදී රාජ්‍යයක් කිසිම රටක අටව ගන්න බැරි වුණා. මෙරට කියා වෙනසක් නැහැ.

 

 

රනිල් බලයට පත් කෙරුණෙ බටහිරයන් හා ඉන්දියාව විසින්. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණෙ මහින්ද හා ගෝඨාභය ගෙදර යවා සිංහල බෞද්ධ ජාතිකත්වයට නායකයන් නැති කරන්න. ඔවුන් බැසිල්වත් නාමල්වත් ගෙදර යැවුවෙ නැහැ. බැසිල්ටත් නාමල්ටත් කිසිම ජාතිකත්වයක් නැති නිසා. රනිල් බලයට පත් කළ ඉන්දියාව හා බටහිර රටවල් අද අපට මුදල් සොච්චමක් දී දෙමළ වෙල්ලාලයන්ට උතුරු හා නැගෙනහිර පළාත් දෙන්න උත්සාහයක යෙදෙනවා. උතුර හා නැගෙනහිර විකුණන්නෙ ඩොලර් කීයකට ? රනිල් ආර්ථිකය ගැන කරණ කිසිම දෙයක් නැහැ. ඔහුට කරන්න පුළුවන් දේකුත් නැහැ.

 

 

රනිල් ආවෙ ආර්ථිකය ගොඩ ගන්න කියා. එහෙත් ඔහු ගොඩ ගන්න හදන්නෙ වෙල්ලාලයන්. අද ඔහු කඩිමුඩියේ දහතුන මුළුමනින් ක්‍රියාත්මක කරන්න හදනවා. ඔහු පෙන්නන්නෙ පොලිස් බලතල ක්‍රියාත්මක කරන්න ඕන කියා. එහෙත් ඔහුට වඩාත් අවශ්‍ය ඉඩම් බලතල දෙන්න. කවුරු හරි කියන්න පුළුවන් ඉඩම් බලතල දැනටමත් ක්‍රියාත්මකයි කියලා. එක්කො නොදැනුවත්කම නිසා එහෙම නැත්නම් පඬිකම පෙන්නන්න. ඉඩම් බලතල ගැන අධිකරණ තීන්දුවකුත් තියෙනවා. අභාවප්‍රාප්ත ගෝමින් දයාසිරි මහතා ප්‍රධාන කිහිප දෙනකුගේ මැදිහත් වීමෙන් ලබාගත් එකක්.

 

 

වෙල්ලාලයන්ට මේ වන විටත් ඉඩම් බලතල ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඔවුන්   කුරුන්දියකට ඉඩ තියන්නෙ නැහැ. කන්කසන්තුරේ තිස්ස විහාරයට ඉතිහාසයක් නැහැ කියල විහාරය නැති කරලා. රනිල් ඉඩම් බලතලත් ක්‍රියාත්මක කරන්න හදනවා.  ඔහුට හිතවත් අගමැති වීමට මාන බලන ඇතැමුන් කියන්නෙ මහින්ද රාජපක්‍ෂත් දහතුනට එහා යන විසඳුමක් දෙන්න ඉන්දියාවට පොරොන්දු වුණා කියා.

 

 

පොරොන්දුවක් වුණු බව නම් ඇත්ත. ඒත් අහන්න ඕන ප්‍රශ්නය ඇයි පොරොන්දුව ඉටු කළෙ නැත්තෙ කියල. ඇයි ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගහන්න කිලිනොච්චි ගිය රනිල් යහපාලන කාලෙ දහතුන මුළුමනින් ක්‍රියාත්මක කළෙ නැත්තෙ? එකල ජනාධිපති මෛත්‍රිපාල බව ඇත්ත. පාර්ලිමේන්තුවෙ බලය තිබුණෙ අතිදක්‍ෂයකු බව කියන රනිල්ට. අද රනිල් තම ප්‍රධාන කාර්ය කරගෙන තියෙන්නෙ ආර්ථිකය නොව දහතුන මුළුමනින් ක්‍රියාත්මක කිරීම. ඉන්දියාවෙ අවශ්‍යතාවට. ඔහු කරන අනෙක් දේ බටහිරයන්ගෙ හා ජාමුලෙ අවශ්‍යතාවට.

 

 

ඉන්දු ලංකා ෆිවිසුමට ඉන්දියාව ජේ ආර්ගෙ අත්සන ගත්තෙ 1987 දි. ජේ ආර් හිතන් හිටියෙ බටහිරයන් ඔහුට සහාය දේවි කියා. එහෙත් එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්ට අවශ්‍ය වෙලා තිබුනෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය නැති කරල ඔවුන්ගෙත් හුරතලා වූ වෙල්ලාලයන්ට උතුරු හා නැගෙනහිර පළාත් දෙන්න. කුමාරස්වාමි පොන්නම්බලම් පවුල රටේ නායකත්වයට පත් කෙළෙ ඉංගිරිසින්. ඩේවිඩ් කැමරන් පසු කාලෙක ඇවිල්ල නටපු නැටිල්ල මතක ?  බටහිරයන් තමන්ට පක්‍ෂපාත වූ ජෙ ආර්ට පක්‍ෂ වුණෙ නැහැ. ඔවුන් ඉන්දියාවත් එක්ක එකතු වෙලා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරෙවුවා. එහු ජේ ආර්ටවත් ඉන්දියාවෙ බලපෑම නිසාවත් දහතුන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න බැරි වුණා.

 

 

මහින්දට බලපෑම් කරන්න ආපු ඉංගිරිසි හා ප්‍රංශ විදේශ ඇමතිවරුන් ඇඹිලිපිටියෙ දි පාඩමක් ඉගෙන ගත්තා. අද ඉන්දියාව බටහිරයන් සමග එකතු වෙලා රනිල් ලවුව දහතුන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න හදන්නෙ තැටිය රත්වෙච්ච වෙලාවෙ රොටිය පුච්ච ගන්න.  ආර්ථික අර්බුදයක් හමුවෙ අප දුර්වල කරල දුර්වල රනිල් කෙනකු පත් කරගෙන අවුරුදු තිස්පහක් ක්‍රියාත්මක කරවන්න බැරි වුණු දහතුන මුළුමනින් ක්‍රියාත්මක කරවන්න.

 

 

තමන්ගෙ රටේ මනිපුර් ප්‍රශ්නය විසඳන්න බැරි ඉන්දියාව කෝරාන පුච්චන බටහිර රටවල් දහතුන ගැන මෙතරම් උනන්දුවක් දක්වන්නෙ මගින් තම අණසක මෙරට පතුරවන්න. අප එයට ඉඩ දෙනවා ? මෙරට ජාතිකත්වය දුර්වල කියා ඔවුන් හිතනවා ඇති. එහෙත් ජාතිකත්වය කුරුන්දිය වටා ඒක රාශි වෙලා.

 

 

අර ජෙප්පන් හා වමාලා අහන්න බැරි නැහැ රටේ ආර්ථික අර්බුදයක් ඇති කෙළෙ හොරකම් කරපු රාජපක්‍ෂලා නේ කියා. ගැන රනිල්දාස දන්නවා. මෙරට අද ප්‍රශ්නවලට හේතුව පනස්තුනේ පමණ සිට මධ්‍යම පාංතික ආකල්ප වෙනුවෙන් ණය ගැනීම ජේ ආර්ගෙ ඊනියා විවෘත ආර්ථිකය හා බටහිරට රට විවෘත කිරීම යහපාලකයන් ඉතා වැඩි පොලියට ණය ගැනීම ආදියයි. අද රටේ තත්වයට වග කිවයුතු ප්‍රධාන පුද්ගලයා ජේ ආර් මිස වෙනත් අයකු නො වෙයි.