Main Logo

Monday 21 August 2023

සිංහල බෞද්ධ පිරිසකගේ හීනමානය

 

සිංහල බෞද්ධ පිරිසකගේ හීනමානය

 

ලෝක ඉතිහාසයේ ඉංගිරිසින් තරම් සැලසුම් සහගත තම සංස්කෘතිකාංග අනෙක් අය මත පැටවූ පිරිසක් ඉඳලා නැහැ. භාරතයට පැමිණි ආර්යයයන්ට දකුණු ඉන්දියාවටවත් තම සංස්කෘතිය පතුරවන්න බැරි වුණා. මා මෙයින් අදහස් කරන්නේ පිරිසක් පැමිණ ජානමය වශයෙන් සංස්කෘතිය ස්ථාපනය කිරීමක් නො වෙයි. වංගයේ ආර්යයන් හා පන්ජාබයේ ආර්යයන් අතර ජානමය සම්බන්ධයකට වඩා ඇත්තේ සංස්කෘතික ඇති වූ සම්බන්ධයක්.

 

ආර්යයන්ට යම් පමණකට තම සංස්කෘතිය දකුණු භාරතයේ ස්ථාපිත කරන්න පුළුවන්කම තිබුණත් බොහෝ කරුණු අතින් ද්‍රවිඩයන් (ද්‍රවිඩ කියන්නෙ දකුණ) උතුරෙන් වෙනස්. පරිපාලනය සම්බන්ධයෙන් අශෝක රජුටවත් දකුණ යටත් කර ගෙන තම වංශයේ පරිපාලනයක් එහි ඇති කරන්න බැරි වුණා. චෝලයන් පසු කලෙක අග්නිදිග ආසියාව යටත් කළත් ඇතැම් රටවල රාමායණයට ගෞරව කළත් පරිපාලන වශයෙන්වත් සංස්කෘතික වශයෙන්වත් වැඩි යමක් ඉතුරු කර යන්න බැරි වුණා.

 

එහෙත් ඉංගිරිසින් මුළු ලෝකයක් ඇල්ලුවා. අද අපට ඇත්තේ මූලික වශයෙන් ඔවුන්ගේ අධ්‍යාපනය දැනුම පරිපාලනය අධිකරණය ව්‍යවස්ථාදායකය ආර්ථික ක්‍රමය ආදියයි. එහි සුළු වෙනස්කම් නැතුවා නො වෙයි. එහෙත් අපට ඇත්තේ ඔවුන්ගේ දැනුම ඔවුන්ගේ පාර්ලිමේන්තුව  ඔවුන්ගේ අධිකරණය ආදියයි. අප අධ්‍යාපනය ඉංගිරිසියෙන් ලබනවා සිංහලෙන් ලබනවා යන්න වෙන කරුණක්. අප ඉගෙන ගන්නේ ඔවුන් උගන්වන දේ.

 

අපට ඇත්තේ ඔවුන්ගේ තාක්‍ෂණය ඔවුන්ගේ විශ්වවිද්‍යාල. එය ලෝකයට පොදුයි. ඔවුන්ගේ චිත්‍රපට බලන්න පිරිසක් ලෝකයේ හදල තියෙනවා. අප සිංහලෙන් චිත්‍රපටයක් නිපදෙවුවත් එය ඉංගිරිසි (හොලිවුඩ්) චිත්‍රපටවල දුර්වල අනුකරණයක් පමණයි. සිංහල නවකතා කියන්නෙත්, කියන නොව කියවන සිංහල කවි කියන්නෙත් ඔවුන්ගෙ නව කතාවල කවිවල දුර්වල ආකෘති. ඉඳහිට තරමක් හොඳ කතාවක් කවියක් ලියැවෙන්න නැහැ කියන එක නොවෙයි මා කියන්නෙ.

 

අප ඔවුන්ගේ නවකතා අපේ කර ගත්තේ නැහැ. පියදාස සිරිසේන මහතා එසේ කිරීමට තැත් කළත් අනුකාරක  විශ්වවිද්‍යාල එයට පහර දී බටහිර නවකතා විචාරයක් හඳුන්වා දුන්නා. කිහිප දෙනකු හැරෙන්න වැඩි පිරිසක් කර ඇත්තේ බටහිර දැනුමේ දුර්වල ආකෘති හඳුන්වා දීම පමණයි. බටහිර විද්‍යාව සම්බන්ධයෙනුත් එය එසේමයි. ලෝකය පුරා එය සිද්ධ වෙනවා. රටවල බටහිර දැනුම තම තමන්ට හැකි ආකාරයට ලබා ගන්නවා. අපේ විශ්වවිද්‍යාල බටහිර ඉංගිරිසි ආකෘතියේ අවර ගණයේ අනුකරණ.

 

මෙහි භයානක පැති දෙකක් තියෙනවා. එකක් අපේ රටවල සාම්ප්‍රදායික දැනුම් මිථ්‍යා බවට පත් කිරීම. දැනුම ලබා ගැනීමේ එක ක්‍රමය බටහිර ක්‍රමය බව අපට ඒත්තු ගන්වා තියෙනවා. ක්‍රමයේ කෙරෙන්නෙත් යම් නිරීක්‍ෂණ විස්තර කිරීමට කතා ගෙතීම පමණයි. එහෙත් කෙරෙන්නේ ඔවුන්ගේ චින්තනයේ. ඔවුන් පරණ තෙස්තමේන්තු කාලයේ (යුදෙවු චින්තනයේ) කෙසේ වෙතත් අද අදෘශ්‍යමාන බලවේගවලින් අදහස් ලබා ගන්නේ නැහැ. අද චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි නිසා. එහෙත් රාමනුජන් වැන්නකුට ඉඩ දීමට ඔවුන්ට සිදු වෙනවා. අද අපට නාථ දේව මණ්ඩලයෙන් දැනුම ලබා ගැනීම ගැන උසුළු විසුළු කරන්නේ අප මැටි මෝලුන් ලිං මැඩියන් ලෙස සලකන බටහිර දැනුමේ ඉතාමත් දුර්වල අනුකාරකයන් පිරිසක්.

 

පරණ තෙස්තමේන්තුවේ අයටත් මහාභාරතයේ අයටත් රාමනුජන්ටත් තිබූ හැකියාව අද ඉංගිරිසි  ක්‍රිස්තියානි සංස්කෘතියේ අයට නැති වීම ගැන කුමක් කරන්න ? එහෙත් අපේ රටවල හැකියාව ඇති පිරිස් ඉන්නවා. ඔවුන් අද සමාජයේ පිළිගැනෙන්නේ නැහැ. ඔවුන් සියල්ලන් එක මට්ටමේ කියා මා කියන්නේ නැහැ. අනෙක් අතට ඔවුන් අතරත් බොරු කාරයන් ඉන්න පුළුවන්. බටහිර විද්‍යාඥයන් අතරත් බොරු කාරයන් ඉන්නවා. ඔය කරන නැහැසුම්වල හා පර්යේෂණවල බොරු කොපමණවත් තියෙනවා.

 

බටහිර ඉංගිරිසි ක්‍රිස්තියානි දැනුම එක දැනුම බවට පත් කිරීමේ  අනෙක් භයානකකම වෙනත් ආකාරයකට දැනුම ලබා ගැනීමේ හැකියාව ඇති අය නැති වී යෑම. බටහිර චින්තනයට දිගට දැනුම සංස්කරණය කරන්න පුළුවන් යන ප්‍රශ්නය තියෙනවා. අද ඇතැමුන් කියන්නේ බටහිර ශාස්ත්‍රිය අංශයේ (විද්‍යා හා තාක්‍ෂණ අංශවලට පරිබාහිරව) බුද්ධිමතුන් බිහි නොවන බවයි. අද ඇත්තේ බලපෑම් කරන්නන් (influencers not intellectuals) බවයි කියැවෙන්නේ. ලංකාවේ නම් කාලයක සිට ඇත්තේ බලපෑම් කරන්නන්. මා බුද්ධිමතකු නොවන නිසා මට එහි වැදගත්කමක් නැහැ. දැනුම ගැන මා කියා ඇති දේ හා කියන දේ මෙටාවේ හා මොටාවේ ගර්හාවට පමණක් පාත්‍ර වෙන බව මා දන්නවා.

 

බටහිර විද්‍යාවත් අද එක තැන පල්වෙනවා. ඊනියා ගුරුත්වය ක්වොන්ටම්කරණයට ලක් කරන්නේ කෙසේ , අඳුරු ශක්තිය අඳුරු ද්‍රව්‍යය යනු කුමක් , ක්වොන්ටම් තරංගයකට මැනීමේ දී සිදුවන්නේ කුමක් ආදී ප්‍රශ්න  අවුරුදු සියයකට ආසන්න කාලයක් තිස්සේ විසඳුමක් නැතුව පල්වෙනවා. තාක්‍ෂණය පමණක් අද වර්ධනය වෙනවා. 

 

මෙරට ඉන්නේ තමන් හැම දෙයක් දන්නේ යැයි සිතන සියලු ප්‍රශ්නවලට පිළිතුරු තමන් සතු යැයි සිතන ඉතා අවර ගණයේ අනුකාරකයන් ටිකක් පමණයි. එහෙත් ඔවුන්ට බලපෑම් කරන්න පුළුවන්. සකර්බර්ග් ඔවුන්ට වේදිකාවක් හදලා. ධර්මපාලතුමා සුද්දන් යන්නෙ කළු සුද්දන් ටිකක් බිහි කරල කියල ප්‍රකාශ කරල තියෙනවා කියනවා. එය මොන අරුතින් කිවුවත් අප බොහෝ දෙනෙක් කළු සුද්දන්, දුර්වල අනුකරණ බිහිකරණ කළු සුද්දන් ටිකක්.

 

මා හිතන්නේ මෙරට වැඩියෙන් ඉංගිරිසින් අනුකරණය කරන්නේ සිංහලයන් කියා. ඉංගිරිසි අධ්‍යාපනයෙන් හා ආර්ථිකයෙන් වඩත් හීනමානය  ඇති වී තිබෙන්නේ සිංහලයන්ට. ඉනුත් ඇතැම් සිංහල බෞද්ධයන්ට. ඔවුන් තමන් සිංහල බෞද්ධයන් බව නොකියන්නේ හීනමානය නිසා.  ඔවුන් මත තමයි ඉංගිරිසි සංස්කෘතියේ ආධිපත්‍යය වැඩියෙන් පැටවී තියෙන්නේ