Main Logo

Monday 7 August 2023

දිග හෑල්ලක් - දැනගැනීම පිණිස නො වෙයි.

 දිග හෑල්ලක් - දැනගැනීම පිණිස නො වෙයි

 

මා කිසිවකු මේ පිටුවෙන් ඉවත් (block)  කර නැහැ. මැතක් වන තුරු ඉවත් කර තිබුණේ දෙදෙනකු පමණයි. කුණුහරුප පමණක් ලියන්නන් දෙදෙනකු. එහෙත් බොහෝ විට ප්‍රතිචාර දැක්වීමට ඇති ඉඩකඩ නම් ඉවත් කර තියෙනවා. එයට හේතුව ප්‍රතිචාරවලින්  වැදගත් අදහසක් ඉදිරිපත් නොවීමයි. බොහෝ විට ඇත්තේ කුණුහරුප.  ඇරිස්ටෝටල් ගැන මොන තරම් පඬි වදන් දෙසා බෑවත් තර්ක කිරීමේ හැකියාවක් අති විශාල බහුතරයකට නැහැ. තේරුම් ගැනීම ගැන කතා කරන්න දෙයක් නැහැ.

 

හැම කතාවක් වගේ මනසින් තොරව හුස්ම ගන්නවා කියන කතාවත් අභිසංස්කරණය කරන්නේ මනසින්නින්ද ගියා මනස නැද්ද යන්න මා අහන්නෙ නැහැ. නිරෝධ සමාපත්තිය ගැනත් මා අහන්නෙ නැහැ. නින්ද හා නිරෝධ සමාපත්තිය පරිනිර්වාණය අතර ඇති වෙනස්කම් මොනවා කියාත් මා අහන්නෙ නැහැ. බටහිරයන්ගෙ අවිඤ්ඤාණික හා සවිඤ්ඤාණික අතර වෙනස බෞද්ධයන්ට නින්ද යෑම සම්බන්ධයෙන් යොදා ගන්න පුළුවන් කියාත් මා අහන්නෙ නැහැ. එකක්වත් මෙහි දී අදාළ නොවන නිසා.

 

නින්ද ගියා පටිච්චසමුප්පදාය අදාළ නැද්ද කියාත් මා අහන්නෙ නැහැ. මා කියන්නේ මනස ඇතුළු සියල්ල අවිද්‍යාව ඇති විට කෙරෙන මනසේ අභිසංස්කරණ කියා. අප සම්මුතියෙන් ලෝකය කියා එකක් තියෙනවා කියා හිතනවා. එහෙත් සියල්ල අපේ දැනුම. අවශ්‍ය නම් කෙනකුට වැරදි ව්‍යවහාරයක් වුණත් කියන්න පුළුවන් ලෝකය කියන්නෙ ලෝකය පිළිබඳ දැනුම කියා. පඬියකු එක සැරේට කියාවි ලෝකයක් තියෙනවා කියා එහි දී කියනවා කියා. ඒක තමයි මා කීවේ වැරදි ව්‍යවහාරයක් වුණත් කියා. ලෝකය කියන්නෙ මනස විසින් බොහෝ විට පංචෙන්ද්‍රිය ආධාරයෙන් සකස් කර ගත් දැනුම් එකතුවක් (කුලකයක්). එය එක් එක් අයගෙන් එක් එක් අයට වෙනස් වෙනවා. මගේ දැනුම මගේ ලෝකයයි. වෙනත් අයකුගේ දැනුම අයගේ ලෝකයයි. මගේ ලෝකය වෙනත් අයකුගේ ලෝකයෙන් වෙනස්. පංචෙන්ද්‍රිය ආධාරයක් නැතුව මනස අභිසංස්කරණය කරන දැනුම් තියෙනවා. මවා ගන්නවත් බැරි වියුක්ත සංකල්ප කතන්දර. සරල රේඛාව සඳහා සරල උදාහරණය.

 

අප කියනවා මේ පොතක් කියා. අපට පොත කියා සංකල්පයක් වැඩිහිටියන්ගෙන් ලැබී තියෙනවා. එය පංචෙන්ද්‍රිය ආශ්‍රිතයි. අපට පොත අල්ලන්න පුළුවන්. දකින්න පුළුවන්. අවශ්‍ය නම් ලෙව කන්න පුළුවන්. යම් යම් නිර්ණායක සම්පූර්ණ වන වස්තුවකට පොත කියා කියනවා. පොත පිළිබඳ දැනුම. එය පවතින්නේ මනස ආශ්‍රයෙන්. මනස නැත්නම් අපට පොතක් නැහැ. පොත පොතක් වන්නේ අපට. අපේ සංස්කෘතියේ අයකුට.  අලියකුට එය පොතක් ?  පුස්කොළ පොතුත් නොතිබූ කාලයක සිටි අයකු අද පැමිණියොත් අයට පොත පොතක් වේ ? මනසින් තොරව පොතට පැවැත්මක් නැහැ. මනසින් තොරව කිසිම දැනුමක් නැහැ. මනසින් තොරව කිසිවකට පැවැත්මක් නැහැ. මෙයින් කියන්නේ මනස පමණක් පවතිනවා කියන එක නො වෙයි. මනසත් මනස නිසා පවතින්නක්.

 

ඒත් කාට හරි අහන්න පුළුවන් මනස් ඇති සත්වයන් නැත්නම් කිසිවක් පවතින්නෙ නැද්ද කියා. මෙතැන දි තමයි බුදුහාමුදුරුවන් වච්චගොත්ත බමුණට දුන් පිළිතුර අපට පිහිට වෙන්නෙ. ලෝකය පවතින්නෙත් නැත නොපවතින්නෙත් නැත. මේ පිළිතුර ලෝකය පවතියි එමෙන් නොපවතියි යන චතුස්කෝටිකයේ ඇති තවත් කෝටිකයකින් වෙනස් වෙනවා. ලෝකය ගැන බුදුදහාමුදුරුවන් දේශනා කරන්නේ චතුස්කෝටිකයේ ප්‍රස්තුතයත් එහි නිෂේධයත් දෙක නිෂේධ කරමින්. එය අවශ්‍ය නම් (00) ලෙස සංකේතාත්මක දක්වන්න පුළුවන්. ලෝකය පවතී එසේ නොපවති කීවොත් එය (11) ආකාරයෙන් දක්වන්න පුළුවන්.

 

මනසින් තොරව මනසටවත් පැවැත්මක් නැහැ. බුදුදහම විඤ්ඤාණවාදීවත් භෞතිකවාදීවත් නැහැ. විඤ්ඤාණවාදය හා භෞතිකවාදය එකිනෙකෙහි ප්‍රතිපක්‍ෂය ලෙස ගතහොත් විඤ්ඤාණවාදීත් නොවන භෞතිකවාදීත් නොවන බුදුදහම අර සංකේත යොදා ගත්තොත් (00) ලෙස ලියන්න පුළුවන්. මගේ දැක්මත් පදනම් වෙලා තියෙන්න (00) ලෙස. චතුස්කෝටිකයේත් (four fold) ඇත්තේ ද්විඅගයක් ඇති න්‍යායක් (two valued logic).  එහෙත් එහි අන්ත හතරක් තියෙනවා (10) (01) (11) (00) -(two valued four fold)- ලෙස. 

 

මා දන්නා සූත්‍ර ප්‍රමාණය දහයකට අඩුයි.  මා පදනම් වන්නේ පටිච්ච සමුප්පදාය අනත්ත ලක්ඛණ වච්චගොත්ත ආදී සූත්‍ර කිහිපයක් මත පමණයි. ලෝකය පවතින්නෙත් නැත නොපවතින්නෙත් නැත. එය කාන්ට්ගේ කතන්දරයෙන් වෙනස්. සූත්‍ර දහයක් කියවා නැති නූගතකු වූ මගෙන් කාන්ට්ගෙ පොත් කියවා තියෙනවා කියා අහන එක තේරුමක් නැති වැඩක්. මා පුරුදු වී ඇත්තේ කියවනවාට වඩා හිතන්න.

 

අපි හැමෝ හිතළු ඉදිරිපත් කරනවා. ඒව වැඩ කරනවා නම් එච්චරයි. වැඩ කරනවා කීවත් සීමිත වපසරියක. අප කරන්නේ නැති මනසකින් නැති දේවල් සංකල්ප කතන්දර ආදිය ගොතන එක පමණයි. නැති මනස නැති මනසක් බව නැති මනසින් පසක් කර ගන්නකම් අපි සංසාරයේ රවුම් ගහනවා. වැඩකට නැති රස්තියාදුවක් කියන්නත් පුළුවන්. බුදුහාමුදුරුවන් දේශනා කෙළේ මනස ප්‍රධානයි කියා. ඉන් කියැවෙන්නේ නැහැ මනස පවතිනවා කියාවත් ඊටත් දුර ගිහින් මනස පමණක් පවතිනවා කියාවත්. පවතිනවා කියන සංකල්පය මනසේ මනස්ගාතයක්. මනස මුලින්   හදා ගන්න මනස්ගාතය තමයි මනස කියන එක. මා යන සංකල්පය එහි අංගයක් පමණයි. ආත්මය යන්න එහි වර්ධනයක්.   

 

මා ප්‍රතිචාරවලට කිසිම ඉඩක් දෙන්නේ නැති බව කී ව්‍යාජ නමක් ඇති අයකුට තමා දක්වා ඇති ප්‍රතිචාරයක් පෙන් වූ විට ඔහු කියන්නේ ලිපියෙහි එක් කරුණකට පමණක් ප්‍රතිචාර දැක් වූ බවයි! සමහර විට මා ලිපිවල කොටස්වලට ප්‍රතිචාර දැක්වීමට ඉඩ දෙනවා වෙන්න ඇති. කුලකයක අවයව කුලකයට අයත් බව දැන ගැනීමට ගණිත සංකල්ප අවශ්‍ය නැහැ. කිතුල් ගහට ගිය මිනිහටත් කතාවක් තිබුණ. ඔහු අශෝක රජු ගැන කියන දේටත් මෝදි ගැන කියන දේටත් ආර්ය කතන්දරවලටත් මා පෙරේදා (5 වැනි දා) පැවති දේශනයේ පිළිතුරු දුන්නා. දැන් ප්‍රශ්න වන්නේ ව්‍යාජ නමත් මා ලිපිවලට ප්‍රතිචාර දැක්වීමට ඉඩ නොදෙන බව කියන ඔහු මට ප්‍රතිචාරයක් ලබා දුන්නේ කෙසේ යන්නත්. මා කිසිවකට පිළිතුරු බලාපොරොත්තු වන්නේ නැහැ.

 

මා විඤ්ඤාණවාදය මෙන් භෞතිකවාදයත් ප්‍රතික්‍ෂෙප කරනවා. මනස ඊනියා යථාර්ථයක් නො වෙයි. මනසත් මනසේ අභිසංස්කරණයක්. එය එක වරක් පමණක් කෙරෙන දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේගේ නිර්මාණයක් යන්න වගේ නො වෙයි. මනස සෑම විට මනස අභිසංස්කරණය කරනවා. මේ සම්බන්ධයෙන් කලකට පෙර මා ලියා ඇති සිංහල බෞද්ධ මනස ලිපියෙහි  මූලික විග්‍රහයක් තියෙනවා. එය දැන් තවත් වර්ධනය කෙරී තියෙනවා.

 

බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන්නේ ඇයි කියා කෙතරම් කිවුවත් බොහෝ අයට තේරෙන්නේ නැහැ. මනස කියන්නෙත් මනසේ අභිසංස්කරණයක් වූ බොරුවක්. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වුණත් අපට එය සමහර අවස්ථාවල යොදා ගන්න පුළුවන්. මනස බොරුවක් වුවත් අප මනස යොදා ගන්නවා. අප කියන්නේ මා කියන එකෙහි බහුවචනය. මා කියා කෙනෙක් නැහැ. එහෙත් මා මේ ලිපිය ලියනවා. අපට බොරු නොකියා ඉන්න බැහැ. අප කියන්නේ බොරු. සංයුක්ත බොරු හා වියුක්ත බොරු. වියුක්ත බොරුවලට මා පට්ටපල් බොරු කියනවා. මා බොරු හා මුසා අතර වෙනසක් දකිනවා. පොතක් ඇති තැන පොතක් නැතැයි කීම මුසාවක්. පොතක් ඇතැයි කීම බොරුවක්.

 

මා හදවත් සැත්කමක් කර ගත්තා. දැනුම වැඩ කරනවා. පළමු වතාවේ හෘදයාබාධය සුව වූවේ නාථ දේව මණ්ඩලයේ අයකු දුන් උපදෙස් මත ප්‍රියන්තා සේනානායක මහත්මිය කළ ප්‍රතිකාරවලින්. කාට හරි කියන්න පුළුවන් මා බටහිර ප්‍රතිකාර ගන්නා කුහකයකු කියා. එකල මා ගිය පාසලට පුතුන් දෙදෙනා යැවීමත් කුහකකමක් ලෙස ඇතැමුන් දැක්කා. මා ඔවුන් ප්‍රථම උපාධිය සඳහා පිටරට යැවූ බවත් කියැවුණා. අද මෙටාවේ බොහො දෙනා කියන්නේ මා රාජපක්‍ෂලාට තවමත් කඩේ යන බවයි. මා අහවල් දේකට කඩේ යන්න ? මට තානාපති කමක් ලැබුණු එක ඇත්තයි. ඒත් එය මා ඉල්ලා ගත් එකක් නො වෙයි. රනිල්ට කඩේ ගියොත් මට තනතුරක් ලැබෙන එකක් නැද්ද? මා කඩේ යන්නේ ජාතිකවාදයට පමණයි. යමකු ජාතිකවාදියකු නම් හරි එසේ වීමට විභවයක් (ඉඩක්) ඇති අයකු නම් හරි මා අයට සහාය දෙනවා. රනිල්ට රනිල්දාසට සජිත්ට බැසිල්ට නාමල්ට ඩලස්ට අහවල් දෙයක් නිසා සහාය දෙන්න ? අද මෙරට තත්වයට වග කියන්න ඕන මහින්දවත් ගෝඨාභයවත් නො වෙයි. අපේ ණය තව තවත් වැඩි කළ ජේ ආර් හා රනිල් මෙන් මධ්‍යම පාංතිකයන්. මධ්‍යම පාංතික ආකල්ප නිසා අපට පාන් කියන්න බැරි වෙලා.

 

මා මෝඩයකු බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මා බව දැනගෙන අවුරුදු පනහකට වැඩියි.  පාසලේ දී හා විශ්වවිද්‍යාලයේ දී මා එකල ව්‍යවහාරය අනුව බ්‍රයිටකු ලෙස සැලකුණා. 1962 විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයෙන් ශිෂ්‍යත්වයක් දිනා විශ්වවිද්‍යාලයට ඇතුල් වී 1967 උපාධි පරීක්‍ෂණයෙන් ගණිතය පිළිබඳ ආණ්ඩුවේ ශිෂ්‍යත්වය දිනා පරිවාස සහකාර කථිකාචාර්යවරයකු වු පසුත් මා බ්‍රයිටකු ලෙස සැලකුණා. උපාධි පරීක්‍ෂණයේ ප්‍රශ්න පත්‍රවලට පැය එකහමාරෙන් පිළීිතුරු දී ප්‍රථම පංතියේ සාමාර්ථයක් ලබා ගැනීම වෙන කිසිවකුට කළ නොහැකි දෙයක් ලෙසයි බොහෝ දෙනා සැලකුවේ. මාත් හිතන් හිටියෙ මා බ්‍රයිටෙක් කියා.

 

එහෙත් 1969 සසෙක්ස් විශ්වවිද්‍යාලයේ දී හැව ගැලවුණා. මා බුද්ධිමතකු නොවන බව තේරුම් ගත්තා. මා ආණ්ඩුවේ (රජයේ) මුදල් තව තවත් නාස්ති නොකර අවුරුදු එකහමාරකින් පමණ ආපසු ආවා. මා මෝඩයකු බව වටහා දුන් සසෙක්ස් විශ්වවිද්‍යාලයේ මා කලක් නැවතී සිටි ශිෂ්‍ය ගම්මානය (student village) නමින් හැඳින් වූ නේවාසිකාගාරවල ඡායාරුපයක් පළ කරනවා. එහෙත් මෙරට මොටාවේ මා බුද්ධිමතකු ලෙස සැලකුණා. මෙරට මොටාවේ වාමාංශිකයකු වීම බුද්ධිමත් බවේ ලක්‍ෂණයක්. මොටාව මා මෝඩයකු බව දැන ගත්තේ ජාතිකවාදියකු වීමෙන් පසුව. මොටාවෙ හරි මෙටාවෙ හරි ජාතිකවාදීන් මෝඩයන් විහිඵකාරයන් ලෙස සැලකෙනවා. ඔවුන් සමරකුට අනුව ගුණදාස අමරසේකර සූරිය ගුණසේකර ආදීන් අඩු තරමෙන් ප්‍රතිපත්ති ගරුකයි.

 

අර ව්‍යාජ නාමධාරිියා ඇතුළු මෙටා උගතුන් කියන්නේ මා වාදකිරීමට බය නිසා ප්‍රතිචාරවලට ඉඩ දෙන්නේ නැහැ කියා. එහෙත් මා විවාද ගණනාවකට එකල සහභාගි වී තියෙනවා. මා හිතන්නේ රූපවාහිනි ප්‍රථම සංවාදය ඇති වුණේ වික්ටර් අයිවන් සමග. අවුරුදු තිහකටත් පෙර. ඔහු විශ්වවිද්‍යාල ප්‍රවේශයේ ප්‍රමිතිකරණයේ වැරදි ගැන ලොකු දේශනයක් කළා. දේශනය අවසානයේ මා ඇහුවා ප්‍රමිතිකරණය කියන්නෙ මොකක් කියා. ඔහු දැන සිටියේ නැහැ. තවත් වරක් කාලෝ දෙරමඬලාවේ අවසාන මිනිත්තුවේ මට පෞද්ගලික පහරක් එල්ල කළා. වෙනත් කරන්න දෙයක් නැති බැවින් මා නැගිට කතා කර ඔහුට පිළිතුරු දුන්නා. එහෙත් බොහෝ දෙනා බැන්නේ මට. මිනිසුන් ශාන්ත දාන්ත ජඩවැඩ අගය කරනවා.

 

රුපවාහිනියෙන් පිට මා වික්‍රමබාහු වැන්නන් සමග වාද කළා. දිවයින බදාදා අතිරේකයෙහි හා ඉරිදා දිවයිනෙහි විවිධ පුද්ගලයන් සමග වාද කළා. එහෙත් කිසිවකින් සතපහක වැඩක් වෙලා නැහැ. තවත් වාද කිරීමට මට අවශ්‍යතාවක් නැහැ. තම තම නැණ පමණින් පමණක් නොව තමන් දන්නේ යැයි හිතන දේ අනුව අය තේරුම් ගන්නවා. මට ගැන කළ හැකි දෙයක් නැහැ.

 

අද කුරුන්දි වංශය පොත පිළිගැන්වීම් දී මටත් පොත් පිදුමක් වන බැවින් මා වෙනුවෙන් එය පිළිගැනීමට කෙනකු නම් කරන ලෙස සංවිධායකයන් ඉල්ලා සිටියා. මා ඔවුන්ට කිවුවේ සාමාන්‍ය පෙළ හරි හැටි සමත්වීමට නොහැකි වූ අයකුට මා වෙනුවෙන් පොත පිළිගන්නන්න කියා. මා එතරම් දෙයක් දන්නේ නැහැ. සාමාන්‍ය පෙළ හරි හැටි සමත් වීමට නොහැකි වූ අයට මා සමීප බව මෙටාවෙ හා මොටාවෙ පිළිගැනීමයි.  මගේ පිළිගැනීමත් එයයි.