Main Logo

Thursday 17 August 2023

කුරුන්දියේ සංඝය හා අසංඝය

 

කුරුන්දියේ සංඝය හා අසංඝය

 

කුරුන්දි විහාරය තියෙන තැන පුරාණ ශිවන් අයියනායක කෝවිලක් තිබුණු බව කියමින් එහි කිරි ඉතිරවීමක් (පොංගල්) කරන බවයි වෙල්ලාලයන් කියන්නේ. එතැන ශිවන් අයියනායක කෝවිලක් හැදුවේ කවුද කොයි කාලයේ ආදිය කිසිවකු කියන බවක් පේන්න නැහැ. කොහොම වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කිරි ඉතිරවීමට විරුද්ධ නැහැ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීිතිඥ මහතා මුලතිවු මහේස්ත්‍රාත් උසාවියේ දී අගෝස්තු අටවැනි දා කියා ඇත්තේ පහත සඳහන් කරුණයි.

 

"පසුගිය නඩු වාරය වන 14.07.2023 දින අදාල කිරි ඉතිරවීම් (පොංගල්) උත්සවය සංවිධානය කල අවස්ථාවේ හෝ එම උත්සවය පැවැත්වීමට සූදානම් කර තිබූ අවස්ථාවේ කිසිම අවස්ථාවක පුරා විද්‍යා ෙදපාර්තමේන්තුවෙන් එය වැලැක්වීමට  හෝ නැවැත්වීමට කිසිදු පියවරක් නොගත් බව , වගේම පුරා විද්‍යා සංකේතවලට කිසිම විනාශයක් හෝ අනතුරක් සිදු නොකර තහඩුවක් තබා හෝ තහඩුවලින් වටකර එභි ගින්දර එළියට නොයන ලෙස අදාල කිරි ඉතිරවීම් (පොංගල්) උත්සවය පැවැත්වීමට හැකි බව එදින තමන් විසින් දන්වා සිටි බව මේ අවස්ථාවේ මෙම අධිකරණයේ පෙනී සිටින පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නීති උපදේශක මා හට පවසන ලදී."

 

මේ කතාව පුරාවිද්‍යා පනත් රෙගුලාසිවලට එකඟ යන්න මා දන්නේ නැහැ. එකඟ නොවන්නේ නම් ප්‍රශ්නයක් මතු වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මට වඩා ගැන දන්නවා ඇති. කොහොම වෙතත් පුරාවිද්‍යා උරුම රැක ගැනීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීම බව දැන ගැනීමට අදාළ අණපනත් රෙගුලාසි කියවීමට අවශ්‍ය නැහැ. තහඩුවක් මත ගිනි දැල්වීම ශෛව හින්දුන්ට ප්‍රශ්නයක් වුණොත් මොකද කරන්නෙ කියා අහන්න ඕනත් නැහැ.

 

මෙහි ප්‍රශ්නය වෙන කිසිවක් නොව කුරුන්දි විහාරස්ථානයේ සංඝයා වහන්සේ වැඩම කර සිටීම බවයි මට වැටහෙන්නේ. මා වැරදි නම් ප්‍රශ්නයකුත් නැහැ. සංඝයා වහන්සේට විහාරස්ථානයේ කටයුතු කරගෙන වැඩ වසන්න පුළුවන්. එහෙත් මේ අවස්ථාවේ මේ පොංගල් උත්සවයක් පැවැත්වීමට අවශ්‍ය වන්නේ ශිවන් අයියනායක දෙවියන් සඳහා යන ප්‍රශ්නය නම් අප හමුවේ තියෙනවා.

 

මෙරට ජාතිවාදය යටත්විජිතවාදීන්ගේ සහායෙන් කෙරුණු වෙල්ලාලයන්ගේ නිර්මාණයක්. එය සිය වසකට වඩා පැරණියි. එහෙත් අවුරුදු හාරසීයකට වඩා ඈතට යන්නේ නැහැ. අප රටට පැමිණි අයට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නට සිංහල බෞද්ධයන් ඉඩ දී තියෙනවා. සඳහා එසේ පැමිණි අය සිංහල බෞද්ධ විය යුතු කියා අවශ්‍යතාවක් තිබුණේ නැහැ. බොහෝ දෙනා සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වුණා.

 

එහෙත් මුස්ලිමුන් එසේ අවශෝෂණය වුණේ නැහැ. ඔවුන් කෙසේ කීවත් ඔවුන්ට මෙරට අඛණ්ඩ සංස්කෘතික ඉතිහාසයක් ඇත්තේ කේරළ ප්‍රදේශයේ දහහතරවැනි සියවසේ හින්දුන් නැවතත් බලය තහවුරු කර ගැනීමත් සමග පැමිණි මුස්ලිමුන් සමග. මෙරට මුස්ලිම් ජනයා දෙමළ කතා කළේ එබැවිනුයි. ඊට කලකට පෙර පැමිණි අරාබි වෙළෙන්දන් සමහරු මෙරට සිංහල කතුන් විවාහ කර ගෙන මෙහි පදිංචි වෙන්න ඇති. එහෙත්ඔවුන්ගේ දරුවන් එක්කෝ සිංහල කතා කරන්න ඕන, නැත්නම් අරාබි කතා කරන්න ඕන. දෙමළ කතා කරන්න විධියක් නැහැ. ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වූවා නිසැකයි. අයගෙන් පැවත එන්නන් හෑදූ පල්ලියක් ගැන සඳහන් නො වෙයි.  එසේ පැමිණි අය හා දහහතරවැනි සිය වසේ ලී ඔරුවලින් (මරක්කල නම ලැබෙන්නේ නිසා) පැමිණි මුස්ලිමුන් අතර අඛණ්ඩ සම්බන්ධයක් නැහැ.

 

මට අවශ්‍ය එසේ පැමිණි මුස්ලිමුන්ට සිංහල බෞද්ධ වීම අවශ්‍යතාවක් වුණේ නැති බව කියන්නයි. එපමණක් නොවෙයි ඔවුන්ට පෘතුගීසීන්ගෙන් හිරිහැර වන විට ඔවුන් වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කර රැක බලා ගත්තේත් සිංහල බෞද්ධ රජ කෙනකු වූ සෙනරත් රජු. පසුව කතෝලිකයන්ට ලන්දේසීන්ගෙන් හිරිහැර වන විට ඔවුන් රැක බලා ගත්තේත් සිංහල රජවරු. පසු කලෙක දකුණු ඉන්දියාවේ භාවිතා වූ ඉන්දු ආර්ය භාෂාවක් වූ කොන්කානි බස කතා කළ ජුසේ වාස් පූජකතුමාට ආගම ප්‍රචාරය කිරීමට ආධාර කෙළේත් සිංහල බෞද්ධ රජවරු.

 

අයියනායක දෙවියන් සිංහල බෞද්ධයන් අතර ගෞරවයට පාත්‍ර වෙනවා. අයියනායක දෙවියන් වෙනුවෙන් පොංගල් උත්සවයක් පැවැත්වීම ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් මේ උත්සවයේ අරමුණ උතුරු හා නැගෙනහිර පළාත්වල සිංහල බෞද්ධ උරුමය නැති කිරීම බව පැහැදිලියි. මෙය හුදෙක් එක් සිද්ධියක් පමණක් නො වෙයි.

 

මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මහින්දපාල මහතාට අනුව ආචාර්ය රාජන් හුල්  කියා තියෙනවා හින්දුන් අතර අසංඝයක් තියෙනවා කියා. බෞද්ධයන් අතර ඇත්තේ සංඝයක්. එකතුවක්. මුස්ලිමුන්ට කතෝලිකයන්ට හින්දුන්ට බෞද්ධයන්ගෙන් ප්‍රශ්නයක් නැහැ. එකට සංඝයක් ලෙස ඉන්න පුළුවන්. එහෙත් හින්දුන් අනෙක් අය පිට කරනවා. අසංඝය. මහින්දපාල මහතාට අනුව වෙල්ලාල අරුමුගම් නවලාර් කියා ඇත්තේ ශිව විරුද්ධ වන අය වෙනත් අයකු ලවා හරි ඝාතනය කරන්න කියා.

 

හින්දුන් මෙහෙය වෙන්නේ භගවද් ගීතය අනුව. එහි ක්‍රිෂ්ණ අර්ජුන්ට කියා දුන් ධර්මය තමයි පරමාණු බෝම්බය හැදූ  ඕපන්හයිමර්ටත් දර්ශනය වුණෙ.  වෙල්ලාලයන් ඊනියා අඩුකුල අය පිට කරනවා. ඔවුන්ගේ කෝවිල්වලට හැමෝට එන්න දෙන්නේ නැහැ. කුරුන්දියේ බෞද්ධ විහාරය තිබුණොත් සංඝයා වහන්සේ වැඩ සිටියොත් ඊනියා අඩු කුල දෙමළ අයටත් සංඝයට එන්න පුළුවන් වේවි. එහෙත් එසේ නොවුණහොත් අසංඝ තත්වයට පත්වන ඊනියා අඩු කුල දෙමළ ජනයාට මොන දෙයියන්ගෙ පිහිට ?