Main Logo

Saturday 12 August 2023

හර්තාලයෙන් අවුරුදු හැත්තෑවකට පසු

 

හර්තාලයෙන් අවුරුදු හැත්තෑවකට පසු 

 

අද බොහෝ දෙනාට අමතක වුවත් හර්තාල් දවස. අවුරුදු හැත්තෑවකට පෙර 1953 දී. එකල නව හැවිරිදි වියේ සිටි මට ගැන යම් මතකයක් තියෙනවා. දේශපාලනය සම්බන්ධයෙන් නො වෙයි. පාණදුරේ සිදු වූ දුම්රිය පෙට්ටි කිහිපයක් ගිනි තැබීම  සැතපුමක් පමණ දුරින් වූ අප නිවසේ සිට බලා ගත හැකි වූ කළු දුම්වලට හේතුව බව වැඩිහිටියන් කියනු මා අසා සිටියා. ගෘහිණියන් රේල් පාරේ ආප්ප පිච්චූ බවත් බස් රථ කිහිපයකට ගිනි තබා ඇති බවත් වෙඩි තැබීම්වලින් කිහිප දෙනකු මිය ගොස් ඇති බවත් කතාබහෙන් මට තේරුණා. එකල අප පාසල් ගියේ දුම්රියෙන්. එහෙත් අගෝස්තු නිවාඩුව වූ බැවින් පාසල් ගමනට අවහිරයක් වුණේ නැහැ.

 

දැන් දේශපාලනයට. පොදු දේපොළ විනාශ කිරීමක්. කුමක් සඳහා යන්න ඇතැමුනට අමතක වී ඇති. එකල හාල් සේරුව ශත විසිපහයි. දැන් සේරුත් නැහැ අගෝස්තු නිවාඩුත් නැහැ. එකල තිබුණේ ජා ආණ්ඩුවක්. දෙවැනි ජා ආණ්ඩුව. ඩී එස් සේනානායක පළමූ අගමැති වීමෙන් පසු පුතා ඩඩ්ලි සේනානායක දෙවැනි අගමැති වෙලා. බණ්ඩාරනායක තමාට ලැබිය යුතු තිබූ අගමැතිකම නොලැබීම හේතුවෙන් ජා පක්‍ෂයෙන් අස්වෙලා ශ්‍රී නි හදාගෙන. කෙසේ වෙතත් 1952 මින්නේරිය අතුරු මැතිවරණයෙන් පසු ශ්‍රී නි ජාතිකත්වය දෙසට නැඹුරු වෙලා.

 

එකලත් අප ණය ගන්නවා. ණයට අරන් කන්න දෙනවා. ඒත් එසේ කරන්නට බැරි වීමෙන් ආණ්ඩුව හාල් සේරුව ශත හැත්තෑවක් කළා. විසිපහ හැත්තෑව වීම සුළු දෙයක් නො වෙයි. එකල අඩුම බස් ගාස්තුව ශත පහයි. වෑකඩ සිට පාණදුරේට ශත පහයි. හාල් මිල වැඩි කිරීම මිනිසුන්ට ප්‍රශ්නයක් වුණා. සමසමාජ පක්‍ෂය විරෝධතාවලට නායකත්වය දුන්නා. කොමියුනිස්ට් පක්‍ෂය විතරක් නොවෙයි ශ්‍රී නි පක්‍ෂයත් විරෝධතාවලට එක් වුණා. අගේස්තු දොළොස්වැනි දා හර්තාලයක් පවත්වන්න තීරණය කෙරුණා.

 

හර්තාල් කියන්නෙ ගුජරාටි වචනයක්. වෙනත් ඉන්දියන් භාෂාවලත් තියෙනවා. ගුජරාටියෙන් පැමිණි මහත්මා ගාන්ධි ඉන්දීිය නිදහස් සටනේ දී හර්තාල් සංවිධානය කළා. විජයත් ලංකාවට ආවෙ ගුජරාටි පැත්තෙන්. කාලෙ හර්තාල් තියෙන්න නැතුව ඇති. එළු බසේවත් මාගධියේවත් හර්තාල් තියෙන්නෙ නැතුව ඇති. සිංහල බසේ හර්තාල් කියල වචනයක් තිබුණෙ නැත්තෙ ඒක වෙන්න ඇති. ඒත් අද වෙන විට හර්තාල් ඉංගිරිසි බසෙත් වචනයක් වෙලා. හර්තාලෙ දි විරෝධයක් ලෙස කඩ සාප්පු වහනවා. වැඩ වර්ජනය කරනවා. සිවිල් නීති කඩ කරනවා. නැහැ පරගලය හර්තාලයක් නො වෙයි. එය පරගලයක්.

 

හර්තාලය හාල් මිල අඩු කිරීම සඳහා. මිනිස් ජීවිත නවයක් නැති වුණා. ඩඩ්ලි සේනානායක අගමැති කමෙන් අස් වුණා. ජෝන් කොතලාවල අගමැති වුණා. ආණ්ඩුව වෙනස් වුණේ නැහැ. එදා ඇමතිවරුන් රැස් වුණෙ නැවක කියා කියනවා. ඒත් පස්සෙ සාමාන්‍ය විධියට රැස්වුණා. ඩඩ්ලි වෙනුවට ජෝන් ආවා. හර්තාල් දවස්වල මුදල් ඇමති ජේ ආර්. හර්තාලයෙන් පස්සෙ ඔලිවර් ගුණතිලක මුදල් ඇමති වුණා. ටික කලකින් ඔහු අග්‍රාණ්ඩුකාරයා වුණා. අපි තව තවත් ණයට ගත්තා. පරගලයත් එක්ක සන්සන්දනය කරන්න ඕන නැහැ. ගෝඨාභය වෙනුවට රනිල් ආවා. ණය ගෙවන එක නතර කළා. තාමත් ණය ගන්නවා. මට මතක නැති වුණා. ණය ප්‍රතිව්‍යුහගත කළා.

 

පනස් හයේ ආණ්ඩුව පෙරළුණා. එය හර්තාලයෙ ප්‍රතිඵලයක් හැටියට පෙන්නන්න සමහර වාමාංශිකයන් උත්සාහ ගත්තා. උත්සාහයේ ප්‍රතිඵල ලෙස නොවූවත් අද වමක් නැහැ. හර්තාලයට නායකත්වය දුන් සමසමාජ පක්‍ෂයවත් කොමියුනිස්ට් පක්‍ෂයවත් අද දුර්වලයි කියන්නෙ වෙනත් දෙයක් කියන්න හොඳ නැහැ කියා හිතෙන නිසා. ජා පක්‍ෂයත් අද එහෙම තමයි. ඒත් ජනාධිපති කෙනෙක් ඉන්නවා. ශ්‍රී නි      අද පොහොට්ටුව වෙලා පිපෙන්න හදනවා.

 

1953 හර්තාලයට කලින් මෙරට පළමු මුදල් ඇමති පසුව ජනාධිපති වෙලා රට තවත් ණය කරන්න විවෘත ආර්ථිකයක් ඇති කරල රට අපට ඔරොත්තු නොදෙන සංකල්පවලට විවෘත කරලා වරද්දා ගත් පරම්පරාවක් ඇති කරල මිය පරළොව ගිහින්. වරද්දා ගත් අයකු අහන්න බැරි නැහැ පරළොව තියෙන්නෙ කොහෙද කියලා. සමහරු තවම විප්ලවේ එනකම් ඉන්නවා. අප දවස්වල කිවුවෙ විප්ලවය තුම්මුල්ල හන්දියෙ දැන් ළඟ කියලා. හැට ගණන්වල. දැන් අවුරුදු හැටක් වෙනවා.

 

අපට බටහිර කිසිම දෙයක් අපේ කර ගන්න බැරි වෙලා. පක්‍ෂ දේශපාලනය විගඩමක් වෙලා. මේ දිනවල අධ්‍යාපනය ගැන කියවනවා. කියෙවුවට මොකුත් වෙන්නෙ නැහැ. වැඩිම වුණොත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට වෙනත් නමක් ලැබේවි. අපට සුභසාධන රාජ්‍යය කියන්නෙ මොකක් කියාවත් ධනවාදී රටක් කියන්නෙ මොකක් කියාවත් තේරෙන්නෙ නැහැ. නැති කම්කරු පංතියට මොන විප්ලව ? අපට නිෂ්පාදනයක් කරන්න බැහැ. අපි හදන්නෙ කවුරු හරි කරපු එකක් අනුකරණය කරන්න. ඒක කර ගන්න බැරුව අපි අනාගන්නවා.

 

මේ දවස්වල අධිකරණයේ ස්වාධීනත්වය පාර්ලිමේන්තුවේ අධිකාරය විධායකයේ කාර්යභාරය හා තවත් දහසක් දේ කතා කරනවා. ඔය විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය බටහිරයන් කියන තරමට වෙන් කරන්න බැහැ. අපට ඒක තේරෙන්නෙ නැහැ. අපි හැම දෙයක් අනාගන්නවා. අපි හර්තාලයත් අනාගත්තා.