Main Logo

Tuesday 22 August 2023

සිංහල බෞද්ධ විරෝධීන්

 

සිංහල බෞද්ධ විරෝධීන්

 

සිංහල බෞද්ධ විරෝධය කිහිප ආකාරයකින් ඇති වෙනවා. එය සිංහල විරෝධයක් වෙන්න පුළුවන්. බෞද්ධ විරෝධයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආර්ය විරෝධයක් වෙන්න පුළුවන්. තවත් අතකින් ඉංගිරිසි අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. තමන්ට ලැබෙන්න තියෙන දෙයක් හරි ලැබුණු දෙයක් හරි නැති වීම නිසා ඇති වෙන්නක් පුළුවන්. එය කුල ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඉතා සරල කිවුවොත් ලන්දේසීන්  උඩට ගත් ගොවිගම කුලයට වූ විරෝධයක් සිංහල බෞද්ධ විරෝධයක් බවට පත්වීමක් වෙන්න පුළුවන්. තම දෙමවුපියන්ට ඉංගිරිසි බැරි වීම නිසා ඇති වූ යම් සමාජ ප්‍රතිචාර නිසා සිංහල බෞද්ධ විරෝධයක් ඇති වෙන්න පුළුවන්.

 

ඉංගිරිසි දැනුම (විද්‍යා හා වෙනත්) ලබා ගැනීමෙන් පසු සිංහල දැනුම මිථ්‍යා ලෙස සැලකීම පදනම් කර ගත් විරෝධයක් වෙන්න පුළුවන්. සිංහල බෞද්ධ කියන පාසල්වල ඉගෙනීමෙන් ඇති වෙන සමාජ පීඩන නිසා ඇති වෙන විරෝධයක් වෙන්න පුළුවන්. සිංහල බෞද්ධ විරෝධී වීමෙන් ඇතැමුන් අතර වීරයන් (පොරවල්) වීමේ හැකියාව නිසා ඇති වෙන විරෝධයක් වෙන්න පුළුවන්. ඉතාමත් අසාර්ථක දැනුම් පද්ධතියක් වූ මාක්ස්වාදය සමාජයේ නැති පංතියක් ගැන කතා කළා. පංති තිබුණේ පාසලේ හා දුම්රියේ පමණයි. දැන් ටියුෂන් පංතිත් තියෙනවා. ඇතැමුනට සිංහල බෞද්ධ සංස්කෘතිය ධනපති පංතිය බවට ආදේශ වී ධනපති විරෝධය සිංහල බෞද්ධ විරෝධයක් බවට පත් වුණා. මේ මගේ හිතට එන අදහස් කිහිපයක් පමණයි.

 

සමහරුන්ට මේ කරුණු එකකට වඩා බලපාන්න ඇති. සෑම තැනක පාහේ එක්කෝ හීනමානයක් නැත්නම් අධිමානයක් දකින්න පුළුවන්. පඬි නැට්ටකු කියයි දෙක එක කාසියේ දෙපැත්ත කියා. කෙසේ වෙතත් සිංහල බෞද්ධ විරෝධය ඉතා ඈත අතීතයේ ඉඳන් තියෙන එකක්. සමහර විට යක්‍ෂ ජන කොටසටත් සිංහල බෞද්ධ විරෝධයක් තියෙන්න ඇති. විවිධ අවස්ථාවල මෙරටට පන්ජාබයෙන් ගුජරාටියෙන් වංගයෙන් (හා කාලිංගයෙන්) පැමිණි ආර්යයන්ට යක්‍ෂයන් විරෝධයක් දක්වා ඇති බව පැහැදිලියි. එය බෞද්ධ විරෝධයක් නූණත් මහාවිහාරයට වූ විරෝධයක් නිසා සිංහල බෞද්ධ විරෝධයක ස්වරූපය ගන්න ඇති.

 

චෝල ආක්‍රමණවලදී සිංහල බෞද්ධ විරෝධයක් මෙරට වාසය කළ ඇතැමුන් තුළ ඇති වෙන්න ඇති. වේලක්කාර කුලී හේවායන් කිහිප අවස්ථාවක සිංහල බෞද්ධ විරෝධීන් වෙලා තියෙනවා. බොහෝ විට ආක්‍රමණිකයාගේ පැත්ත ගන්නේ තමන්ට සමාජයේ යම් ප්‍රශ්න ඇති අයයි. අද ඇතැමුන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ යටත්විජිතවාදී බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට ආවඩනවා. තමයි පශ්චාත්නූතනවාදී විප්ලවය. 

 

යාපනයේ නම් මුල දී ඇති වී තිබෙන්නේ පාණ්ඩ්‍යයන්ගේ කාලිංග විරෝධයක්.  යාපනයේ නැත්නම් කාලිංග දේශයේ යම් පාලනයක් ගෙන ගිය වත්මන් තායිලන්තයෙන් පැමිණි ජාවක බෞද්ධ චන්ද්‍රභානුට විරුද්ධව පාණ්ඩ්‍ය රජවරු කළ සටන්වලින් පසු ඔවුන්ගේ ඇමතියකු වූ ආර්ය චක්‍රවර්තිට කාලිංග දේශයේ පාලනය භාර දී එහි අවනත රාජ්‍යයක් (vassal state) ඇතිකර තියෙන බව පැහැදිලියි. කාලිංගයෙන් පැමිණි අය මෙන් පාණ්ඩ්‍යයෙන් පැමිණි අය නවවැනි සියවසේ පමණ සිට මෙරට පදිංචී සිටි බවට සාක්‍ෂි තියෙනවා. 

 

පෘතුගීසි ආක්‍රමණයත් සමග විජයබා කොල්ලයේ සහෝදරවරුන් අතර සමගියක් නොතිබූ බැවින් ආධාර ගැනීමට කෝට්ටේ රාජධානිය සිංහල කතෝලික වුණා. සමග රජවාසලට සම්බන්ධ ඇතැම් අයත් කතෝලික වුණා. රජවාසල යථා කාලයේ දී නැවතත් සිංහල බෞද්ධ වුණත් කතෝලික ආගම අත්හැරි ඇතැමුන් විශේෂයෙන් ජුසේ වාස් පූජකතුමාගේ පැමිණීමෙන් පසු නැවතත් කතෝලික වෙලා තියෙනවා. ලන්දේසීන් මෙරට තිබූ කුල ක්‍රමය කුල භේදයක් බවට පත් කර තියෙනවා. ඉංගිරිසින් සිංහල බෞද්ධ නොවන අයට වරප්‍රසාද තනතුරු දීම මගින් සිංහල බෞද්ධයන් සමාජයේ නිකමුන් සොක්කන් බවට පත් කෙරුණා.

 

එය වෙනස් වෙන්න පටන් ගත්තේ පාණදුරා වාදයෙන් පසුව. එහි යහපත් ප්‍රතිඵල මෙන් අයහපත් ප්‍රතිඵලත් තිබුණා. භික්‍ෂූන් වහන්සේ සමාජයේ ඉසිළුෑ නායකත්වය නැති වෙන්න පටන් ගත්තේ ඕල්කට්තුමා පැමීණීමෙන් පසු. ඇතැමුන් සිංහල බෞද්ධයන් වෙනුවට ඊනියා ජාත්‍යන්තර බෞද්ධයන් (ඕල්කට් බෞද්ධයන්) වුණා. බොහෝ සිංහල බෞද්ධයන් සිංහල බුද්ධාගම්කාරයන් වුණා. මෙරට ඇති වුණු බෞද්ධ පාසල්වල ඉගැන්වූයේ ක්‍රිස්තියානි දැනුම. එය ඉගැන්වූවාට කමක් නැහැ. බෞද්ධ දැනුමක් ඇතුව. බෞද්ධ දැනුම යන්නෙන් මා අදහස් කරන්නේ සතියකට කාල පරිච්ඡෙද දෙකක තුනක බුද්ධාගම ඉගැන්වීම නො වෙයි.

 

සිංහල බෞද්ධ දැනුම මිථ්‍යා බවට පත්කෙරුණේ ඉංගිරිසි අධ්‍යාපනය විසින්. මා තරමක් දුරට ඉංගිරිසි (බටහිර) විද්‍යා අධ්‍යාපනයක් ලැබුවා. එකල සිංහල බෞද්ධ දැනුම මිථ්‍යා බව පසුගාමී බව මා විශ්වාස කළා. එහෙත් මට විද්‍යාඥයකු වීමට බැරි වුණා. කාලයක් තිස්සේ ගැන කල්පනා කිරීමෙන් පසු මට මගේ නිගමනය වැරදි බව තේරුණා.

 

අද පිටරට ගිය විද්‍යාඥයන් ඉංජිනේරුවන් වෛද්‍යවරුන් ඉන්නවා. ඔවුන් කිසිවකු තම ක්‍ෂෙත්‍රයට වැදගත් දෙයක් එකතු කර නැහැ. එමෙන් පිටරට යන අයගෙන් යම් මුදලක් එවන්නේ තාවකාලික එහි රැකියා සඳහා යන්නන්. ස්ථිර පදිංචියට යන  අයට තම පවුල්වල වැඩ කටයුතු තියෙනවා. මා මේ ගැන ඊනියා විද්‍යාත්මක සමීක්‍ෂණයක් නම් කර  නැහැ.

 

සිංහල බෞද්ධ දැනුම පසුගාමී බව කීමෙන් උගතුන් ප්‍රාඥයන් බුද්ධිමතුන් (පොරවල්) වෙන්න පුළුවන්. එසේ කියන අය මූලික වශයෙන් සිංහල බෞද්ධ විරෝධීන්. විවිධ කුලවලට අයත් නිසා ලන්දේසින් ඇති කළ කුල භේදයෙන් ඇතැම් මදි පුංචිකම්වලට ලක් වූවන් පළිගැනීමට කුල විරෝධය සිංහල බෞද්ධ විරෝධයක් බවට පත් කරගෙන ඇති බවත් පැහැදිලියි. එමෙන් විප්ලවය මේ ළඟ එනවා යැයි කියමින් සිටි විප්ලවවාදීන්ට තම විප්ලවය ධනපති පංතියට ආදේශයක් කර ගත් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට යොදා ගන්න පුළුවන්. පරගලයේ දී බටහිරයන් හා ඉන්දියාව ඊනියා න්‍යායාචාරීන් ලෙස මොවුන් යොදා ගත්තා.