Main Logo

Sunday 10 December 2023

නිවන සිවුරු පෙරවීම පඬි නැට්ටෝ හා ඩ්‍රීම් ස්ටාර්

 

නිවන සිවුරු පෙරවීම පඬි නැට්ටෝ හා ඩ්‍රීම් ස්ටාර්

 

මා සනීප ගැනීමට පැමිණ ඇති ආයතනයේ නිතර බණ කියනවා. බණ ඇතැම් විට නිවන ගැන. සමහර හාමුදුරුවරුන්ගෙ බණ සමග මා එකඟ වෙන්නෙ නැහැ. නිවන කිසිවකු විඳින සැපක් නො වෙයි. සැපක් විඳින්න කිසිම අර්ථයකින් කිසිවකු නැහැ. සමහර ශ්‍රාවක ගිහියන් අහනවා බුදුහාමුදුරුවො දැකපු නිවනයි අගසවු දෙනම වහන්සේ දැකපු නිවනයි රහතන් වහන්සේ දකින නිවනයි අතර වෙනස්කම් තියෙනවා කියා. මට නම් හිතෙන්නෙ වෙනසක් නැහැ කියා. සියල්ලන් වහන්සේ යළි ඉපදීම නැති කරලා. වෙනස්කම් ඇත්තේ ඊනියා ඇති දේ අතර. විද්‍යාඥයන්ගේ දැනුම මගේ දැනුමට වඩා වෙනස්. මගේ උස තවත් අයකුගේ උසින් වෙනස්. ඒත් එවැනි ඊනියා කිසිවක් නැති විට ඇති වෙනසක් නැහැ. වෙනසක් ඇත්තේ ඇති දේහි පමණයි.

 

එහෙත් බුදුහාමුදුරුවන් හා රහතන් අතර වෙනස්කම් නැතුවා නො වෙයි. පිරිනිවීමට පෙර. පිරිනිවීමෙන් පසු සම්මුති අර්ථයකින්වත් කිසිවකු නැහැ. නිවන් දැක්ක කෙනෙක් නැහැ. අප නිවන් දැක්කා කීවත් දකින්න වස්තුවක් ප්‍රදේශයක් වැනි කිසිවක් නැහැ. අප දැනුම ලෙස ගන්නා බොරු, ඊනියා ඇත්තක් නොව බොරු බව සම්මාබෝධ කිරීමයි නිවන. එවිට යළි ඉපදීමක් නැහැ. එය අවබෝධයක් නො වෙයි. දැනුමක් නො වෙයි. පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාවත් ඇතුළු සියලු බොරු, බොරු හා බොරු පමණක් බව අවබෝධ කිරීම නොව, සම්මාබෝධය නිවනයි. අවබෝධ කරන්නේ දැනුම්. නිවන දැනුමක් නොවෙයි. එහෙත් නිවන ගැන කියන මෙවැනි කතා දැනුම්. අප අවබෝධ කර ගන්නේ කතා මිස නිවන නොවෙයි.

 

මා දන්නවා ගුණදාස අමරසේකර වැන්නන්ට නිවනක් නැහැ කියා. ඔවුනට සසරක් පුනබ්භවයක් නැති නිසා. මහා විද්‍යාඥයකු වූ අශෝක අමරතුංගට සසරක් තියෙනවා කියා මා දන්නේ නැහැ. මා කළ අභියෝග අතර එකක් වනුයේ විඥානය හරි මනස හරි මිනිසුන්ගේ භෞතික වූ සිරුරේ අවයවයකට ඌනනය කරන්න පුළුවන් බව පෙන්නන්න කියා.එසේ නැතුව පුනබ්භවයක් නැති බව කියන්න බැහැ. මෙරට ඉන්න ඊනියා මනෝ විශ්ලේෂකයන් ගැන කරදර වෙන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට කරන්නේ කෙසේ කියා හිතා ගන්නවත් බැහැ.

 

ඔවුන් නිකම් දෙරණේ ඩ්‍රීම් ස්ටාර් වගේ. අනුන්ගෙ ගීත ගායනා කරනවා. ඇතැම් ඩ්‍රීම් ස්ටාර් කෙනකු පසුව හරි තමන්ගේ ගීත ගායනා කරනවා. එහෙත් මෙරට මනෝ විශ්ලේෂකයන් ඇතුළු පඬි නැට්ටන් කිසි දිනෙක තමන්ගෙ දෙයක් අදහසක් මතයක් ප්‍රකාශ කරන්නෙ නැහැ. ඩ්‍රීම් ස්ටාර් ගැන කියන විට එහි විනිශ්චයකරුවන් ගැන යමක් කියන්න ඕන. තම අව්‍යාජ හැඟීම් ප්‍රකාශ කරන කීර්ති පැස්කුවල් හැර අනෙක් අය කරන්නේ රඟපෑම්. තම ඊනියා  සංගීත දක්‍ෂතාව ප්‍රදර්ශනය කිරීම්. එක් අවස්ථාවක දෙවියන් වහන්සේට තම භක්තිය ප්‍රකාශ කරලා. ඇතැමුන් ඊනියා ජනතාවාදී බව පෙන්නන්න හදනවා. එහි කිසිම ජාතිකත්වයක් නැහැ. ඔවුන් ජාතිකත්වයට විරුද්ධයි. දිලිත් ජයවීර කුමක් කීවත් රඟපෑම්  තමයි වරද්දාගත් තරුණ පරපුරට යන්නෙ. කාගෙ කගෙත් ජාතිකත්වය ප්‍රශ්න කරන්න වෙනවා. 

 

ඊනියා මනෝ විශ්ලේෂකයන්ට පුළුවන් මගේ අභියෝගය බටහිර පඬියන්ට ඉදිරිපත් කරල ඔවුන්ගෙන් ලැබෙන අදහසක් සකර්බර්ග් මගින් අපට කියන්න. අපි ඉන්පසු අපේ ප්‍රතිචාරය දක්වන්නන්. හරක්ලිටස්ලා සම්බන්ධයෙන් නම් කරන්න ඇත්තේ දක්කන එක පමණයි.

 

බුදුහාමුදුරුවන්ට තිබූ දැනුම අගසවු දෙනම වහන්සේට තිබුණේ නැහැ. රහතන් වහන්සේගේ දැනුම වෙනස්. පිරිනීවීමට පෙර.  මුගලන් මහා රහතන් වහන්සේටත් විශ්වයේ කෙළවර දකින්න අදහසක් ඇති වුණා කියනවා. මහා රහතන් වහනසේගේත් දැනුම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. පිරිනිවන් පෑමට පෙර උන්වහන්සේ අතර වෙනස්කම් තියෙනවා. එසේ නොවන්නට මහා රහතන් වහන්සේ කරුණින් අග්‍ර වෙන්නෙ නැහැ. අදත් දැගසවු දෙනමක් ඉන්නවා. උන්වහන්සේ දේශපාලන නොදැනුම්කමෙන් අග්‍රයි. නිසා බොහෝ විට සිංහල බෞද්ධ විරෝධී ස්ථාවරවලට යනවා.

 

බණ කී එක් හාමුදුරුනමක් අර පිළිම වහනසේට සිවුරු පෙරවීම ගැන වටිනා අදහසක් ප්‍රකාශ කළා. මා හිතන්නේ එය සියලු සිංහල බෞද්ධයන්ගේ අවධානයට යොමු විය යුතු කියා. අප සැම විට කියන පරිදි පිළිමවහන්සේ ඊනියා පුරාවස්තු නොවෙයි. පිළිම වහන්සේ පූජනීයයි. සිංහල බෞද්ධයන්ගේ පූජනීය වස්තු. ගැන තීරණ ගත යුත්තේ ක්‍රිස්තියානි පුරාවිද්‍යාව අනුව නොව සිංහල බෞද්ධ පිළිවෙත් අනුවයි.

 

අපේ හාමුදුරුවන් වහන්සේට අනුව අප බුද්ධ පූජාව පිළිගැන්නුවත් අප බුදුදහාමුදුරුවන්ට වළඳවන්න යන්නේ නැහැ. එය ආහාර පූජාවක් වුවත් එහි සීමා තියෙනවා. අප හාමුදුරුවන්ට දානය පුජා කළත් අප උන්වහන්සේට වළඳවන්න යන්නේ නැහැ. අප කඨින සිවුර හා වෙනත් සිවුරු පූජා කළත් හාමුදුරුවන්ට සිවුරු පොරවන්න යන්නෙ නැහැ.

 

අප පිළිම වහන්සේට සිවුරු පූජා කළත් උන්වහන්සේට පොරවන්න යන්නෙ නැහැ. පිළිම වහන්සේ සම්බන්ධයෙනුත් අනුගමනය කළ යුත්තේ ජීවමාන බුදුන්වහන්සේ සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියයි. පිළිම වහන්සේ බෝධීන් වහන්සේ ඇත්තේ බුදුහාමුදුරුවන් අපට දකින්න නැති නිසා උන්වහන්සේට කරන පූජා උන්වහන්සේ අනභිමුඛයෙත් කිරීමටයි. අප ආනන්ද හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි ආනන්ද බෝධිය ඇති කර ගත්තේ ඇයි යන්න මෙනෙහි කර ගැනීම වැදගත්.

 

මා දන්නවා තායි මියන්මා බෞද්ධ සංස්කෘතීන්හි පිළිම වහන්සේට සිවුරු පොරවන බව. අපට ඊනියා ථෙරවාදී සභ්‍යත්වයක් නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතියේ තීරණ ගත යුත්තේ සියල්ල විමසීමෙන් පසු භික්‍ෂූන් වහන්සේ ප්‍රධාන භික්‍ෂු භික්‍ෂුණි උපාසක උපාසිකා සිවුවනක් පිරිස මිස ඊනියා පුරාවිද්‍යාවක් විසින් නොවෙයි.