Main Logo

Wednesday 13 December 2023

වැට් හා රට වැටීම

 

වැට් හා රට වැටීම

 

මා දැන් ඉන්නෙ පිටිසර ගමක. සනීප ගන්න ඇවිල්ල. ගමේ වැවක් තියෙනවා. මේ දවස්වල වැව වාන් දානවා. මා වැවක් වාන් දානවා දැක්කෙ මේ ගමේ දි. මගේ ගමේ නමත් වෑකඩ. වෑකන්දක්. ලංකාවෙ වෑකඩ වෑකන්ද නම් තියෙන ගම් තියෙනවා. ඒත් වැවු නැහැ. අපේ ගම කිවුවට ඒක ගමක් නොවෙයි.  ඒක දවස්වලත් අර්ධ නාගරික ප්‍රදේශයක්. වෑකඩ වටේට වෙල් තියෙනවා. මෝදරවිල, එළුවිල, පින්වල, මහාවිල වගේ. ඒත් වැව නම් දැන් හොයා ගන්න නැහැ. ඉස්සර සිංහලයන් වැවු බැන්දා. දැන් අපි වැවු හා වෙල් ගොඩ කරනවා. මෝදරවිලත් දැන් ගොඩ කරලා. අපි මොන තරම් දියුණු ?

 

දියුණුව මනින්න තියෙන නිර්ණායක මොනවා ? ස්මාට් ෆෝන් තරුණ තරුණියන්ගෙ ඇඳුම් රෝහල්වල රෝගීන් සංඛ්‍යාව ඒක පුද්ගල වෛද්‍ය අනුපාතය. රූපවාහිනිය නිසා විලාසිතා රට හැම තැන පාවෙනවා. ස්මාට් ෆෝන් මගින් දැනුම බෙදා හරිනවා. අපි නොදන්න ඕපාදූප කිවුවලු.

 

මා ඕපදූපයක් හරි ප්‍රවෘත්තියක් හරි බලාගෙන ඉන්නෙ. දැන් ණය වාන් දානවා. ඒත් ණය අඩුවෙන්නෙ නැහැ. වැව වාන් දානව වගේ නො වෙයි. ජාමුල දෙවැනි වාරිකයත් ලැබිලා. ඩොලර් මිලියන තුන්හාර සීයක්. තෙල් නැව් දාහක් ගන්න පුළුවන්! තෙල් මිල වැඩිවෙලා අපට දැන් ආතල්. දැන් අපට තවත් ණය ගන්න පුළුවන්. අපි බංකොළොත් නැහැ කියල ළඟ දි ප්‍රකාශ කරාවි. නන්දලාල් වීරසිංහට මොන තරම් ආඩම්බරයක් ? ඔව් ඉන්ද්‍රජිත් කුමාරස්වාමිටත් ආඩම්බරයි.

 

අද 2024 අයවැය පාර්ලිමේන්තුවේ සම්මත වේවි. වැට්  බද්දෙන් අපි වැටිලා. මා බලා ඉන්න ඕපදූපය තමයි ආතල්ගම රනිල් එළවන්න පරගලයක් පටන් ගැනීම හා ඔහු එළවීම.  2020 පාර්ලිමේන්තු ඡන්දෙදිත් පොහොට්ටුවට හැටනව ලක්‍ෂයකට කිට්ටු ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. එජාපෙට ලැබුණෙ ඡන්ද දෙලක්‍ෂ පනස්දාහක් පමණයි. හැටනව ලක්‍ෂයක් ඡන්ද ගත්ත පක්‍ෂයක ජනාධිපති එළවා ගත්ත පරගලයන්ට රනිල් එළවන එක මොන කජ්ජක් ? මා ඉන්න ගමේ කජුත් තියෙනවා. පරගලයන්ට  ඕන නම් කජු ගෙනත් දෙන්න පුළුවන්. මට කෙටි පණිවුඩයක් එවන්න.

 

අර පැතුම් කර්නර් රැට්ටා අලිකතා කී දනිෂ් අලි විශ්‍රාම අරන් ? එතකොට අර යූටියුබ් ජඩමාධ්‍යවේදීන් කොහේ ? මට තව ටිකෙන් අමතක වෙනවා මෙටා න්‍යායාචාර්යයන්, පුස්තකාලයාධිපතීන් කලාකරුවන් සංගීතඥයන් ගායක ගායිකාවන් ගේහ පද රචකයන්   පූජකයන් කාදිනල්තුමා හා අගසවු දෙනම කුරුසකරුවන් බිරියානි වටලප්පන් බෙදන්නන් යාඥා කරුවන් ජෙප්පන් සෙප්පන් සජිත් සහ තවත් අය. එක පොඩි වෙනසක් තියෙනවා. එදා රනිලුත් පරගලයේ හිටියා. රුවන් බෑණා පරගලයන් ආරක්‍ෂා කරන්නත් යෙදෙවුවා. රනිල් තමා එළවීමට එන එකක් නැහැ. ඔහුට නම් සමාව දෙන්න පුළුවන්. 

 

අපි දන්නෙ නැති වුණාට බඩු මිල වැඩි වෙන එකෙන් රටේ ආර්ථිකයට හොඳක් වෙනවා ඇති. පරගලයන් හොඳ ආර්ථික විශේෂඥයන්. ඔවුන් මෙටාවෙ තමයි තම විදග්ධ අදහස් ප්‍රකාශ කරන්නෙ. අර වාම ආර්ථික විද්‍යාඥයොත් ඉන්නවා. මාක්ස් පාසලෙත් ආර්ථික විද්‍යාඥයො ඉන්නවා. මහා බැංකුවෙ කී දෙනෙක් ඉන්නවා ?

 

පරගලයන් අනිවාර්යයෙන් දන්නවා වෙන්න ඕන රනිල් නිසා රට යහමගට වැටී තියෙනවා කියලා. වැට් වැඩි කරන්නෙත් එයින් රට  යහමගට වැටෙන නිසා වෙන්න ඕන.  යහපාලන කාලෙ රට යහමගට වැට්ටුවෙ නැද්ද කියල අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. මොකෝ නැත්තෙ. කාලෙ තමයි ගිනි පොළියට අර ස්වෛරී බැඳුම්කර මගින් ඩොලර් බිලියන ගණනක් ණයට ගත්තෙ. එහෙම ණය ගන්න එක රට යහමගට වැට්ටීමක් නොවෙයි ? ගත් ණයෙන් කළ දෙයක් මෛත්‍රිපාලවත් දන්නවා ?

 

පරගලයන් විතරක් නොවෙයි පොහොට්ටුවත් රනිල් එළවන්නෙ නැහැ. පොහොට්ටුව උභතෝකෝටිකයක ඉන්නෙ. නැහැ චතුස්කෝටිකයක නො වෙයි. පඬි නැටි දාර්ශනිකයන්ට චතුස්කෝටිකය තියා ඇරිස්ගෙ ද්විකෝටිකයවත් තේරෙන්නෙ නැහැ. පඬි නැට්ටන් උභයකුල පාරිශුද්ධ අය. ඔවුන් උභතෝකෝටිකය දන්නවා ඇති.

 

පොහොට්ටුවට රනිල් ඇතුවත් බැහැ නැතුවත් බැහැ. සජිත් හා රනිල්දාස රනිල් එළවන්න පුරසාරම් දෙඩුවත්  එළවන්න බැහැ. එළවන්නෙ නැහැ. බැරි වෙලාවත් රනිල් ගියොත් සජිත් හරි රනිල්දාස හරි රට කරවන්නෙ කොහොමද? ඔවුන්ට ඇති විකල්ප ප්‍රතිපත්තිය මොකක් ? සමාජවාදය ?  ඔවුන් සමහර විට කියාවි තමන්ට විකල්පයක් ඇති නමුත් එය මේ වෙලාවෙ කියන්නෙ නැහැ කියලා. බෑරි වෙලාවත් රනිල් ඒක අනුගමනය කළොත්.

 

මේ සියල්ලෙන් පැහැදිලි වෙන්නෙ අප වැටී තියෙන අමාරුව. අද අප ජාමුල හා බටහිර ඊනියා විශේෂඥයන් කියන දේ කරන පිරිසක් බවට පත්වෙලා. අප දැන් නොබැඳි පිළිවෙතක නැහැ. අපි බැඳිල ඉන්නෙ දේශපාලනික හා ආර්ථික වශයෙන් පමණක් නොවෙයි. අපි ආකල්ප වශයෙනුත් බැඳිලා. අප දන්නෙ එක දියුණුවයි. දියුණුව ලබා ගන්නෙ නැතුව බැහැ. ඒත් දියුණුව ලබා ගන්නත් බැහැ. අප වැටෙන්නෙ වැට් නිසා නො වෙයි.