Main Logo

Tuesday 12 December 2023

සකර්බර්ග්ට දැන් හරිම හිනා

 

සකර්බර්ග්ට දැන් හරිම හිනා

 

රයිගමයයි ගම්පලයයි ගැන  නොදන්න  අයකු නැහැ කියලයි මා හිතන්නෙ. බැද්දගේ බන්දුල  විජේවීර ගායක දෙපොළ  ගයන ගීයකත් එකෙක් රයිගම පැත්තේ අනෙකා ගම්පොළ  පැත්තේ කියල කියැවෙනවා. රයිගමයයි ගම්පළයයි X කණ්ඩායමට සම්බන්ධ වෙලා හිටි බවට ආරංචියක් නැහැ. පුරුතුගීසිකාරයා ලංකාවට  එන්න ඉස්සර. කාලෙ ඔය කණ්ඩායම් තිබුණෙ නැහැ. පුරුතුගීසිකාරයා ලංකාවට ආවට පස්සෙ  කොච්චර දේ වෙනස් කළා ? සිල්වලාත් ඇති වෙලා. ජෙප්පනුත් පුරුතුගීසිකාරයාගෙන් පස්සෙ  තමයි ඇති වුණෙ. ඒත් ඔවුන් සිල්වලා  ගැන දන්නෙ  නැහැ. ඔවුන් මට කියන්නන නලින් සිල්වා කියල නොවෙයි නලින්ද සිල්වා කියලා. ඔවුන් දන්නෙ නැහැ සිල්වාලා පුරුතුගාලෙ වංශවත් අය බව. අපි නම් නම ගත්තු අය පමණයි.

 

රයිගමයයි ගම්පළයයි ගැන ඉතිහාසයක් තියෙනවා. මා ඉතිහාසය ගැන කතා කළත් සමහර විට දැනුම ගැන කතා කළත් මා ඉතිහාසඥයකුවත් දාර්ශනිකයකුවත් නොවෙයි. විදයාඥයකු වීමටවත් නොහැකි වූ මා කෙසේ නම් ඉතිහාසඥයකු හරි දාර්ශනිකයකු හරි වෙන්න ද? රයිගමයටයි ගම්පළයටයි අමතරව කේවට්ටයන් ඉන්නවා. රයිගමයයි ගම්පළයයි ගම්පොළ  යුගයෙ කේරළයෙන් පැමිණි අලකේශ්වර කට්ටිය කියල තමයි සමහර ඉතිහාසඥයන් කියන්නන. ඔය රයිගමයකු චීනයට අරන් ගිය බවත් කියනවා.

 

අලකේශ්වර තමයි කෝට්ටෙ ඉදි කෙළෙ. කෝට්ටෙ  කියන්නෙ  මලයාලම් වචනයක්. බලකොටුව කියන තේරුම දෙනවා කියල සමහරු කියනවා. කෝට්ටෙ  ඉදිකෙළේ  කේරළ හැර වෙනත් ද්‍රවිඩ ආක්‍රමණවලින් බේරෙන්න අප පොළොන්නරුව දඹදෙණිය කුරුණෑගල යාපහුව  ගම්පොළ රයිගම හරහා පැමිණි ගමනක අවසානය හැටියට. ඒත් අපට ඊට වඩා භයානක ආක්‍රමණවලට ඊට පස්සෙ  මුහුණ  දෙන්න වුණා. කෝට්ටෙ කොළඹට නුුදුරින් පිහිටීම නිසා. ඒ තමයි බටහිර ආක්‍රමණ. බටහිර ආක්‍රමණවල ප්‍රතිඵල හැටියට තමයි බටහිර ඉවුර නූතන රයිගමයයි ගම්පොළයයි බිහි වෙන්නෙ.

 

රයිගමයට ආචාර්ය උපාධියක් තියෙනවා.  ගම්පොළයට ප්‍රථම උපාධියක් තියෙනවා කියනවා. මේ අය පත්‍රිකා ලියනවා. අලුත් දැනුම වැහි වැහැලා. පත්‍රිකා පළ කරන්නෙ මෙටාවෙ. ඔවුන් ඉහළ ම ගණයේ බුද්ධිමතුන්. ලෝකෙ ම  ඉන්න සියලු බුද්ධිමතුන් ඔවුන්ගෙ පත්‍රිකා මෙටාවෙ කියවන්නෙ  දැනුම් පිපාස සංසිඳවා ගනිමින්. ඒත් ඔවුන්, ඒ කියන්නෙ ලෝකයෙ ඉන්න බුද්ධිමතුන් රයිගම ගම්පොළ පත්‍රිකා ගැන කිසිවක් කියන්නෙ  නැහැ. ඒ ඔවුන්ට ඒ පත්‍රිකා තේරෙන්නෙ නැති නිසා වෙන්න ඇති.

ඒ කොහොම වෙතත් අපට නම් අලුත් දැනුම් නිතර ම ලැබෙනවා. මාත් මෙටාවෙ  ටිකක් ගැවසෙන නිසා. මා හැමදාමත් කියන විධියට මට ආචාර්ය උපාධියක් ලැබුණෙ පිනට. මා සසර විශ්වාස කරනවා විතරක් නොවෙයි සසරට බයයි. මා පන්සිල් රැක්කත් පඬි නැට්ටන් නිසා අකුසල් රැස් කර ගන්නවා. කරන්න දෙයක් නැහැ. මේ ලිපිය නිසාත් අකුසල් මිස කුසල් කෙරන්නෙ  නැහැ. මා සසර පින් කර ඇති. නැත්නම් ආචාර්ය උපාධියක් පිනට ලැබේවියැ.

 

මට ලැබුණු ආචාර්ය උපාධියට නම් දැනුම් මට්ටමක් තිබුණෙ නැහැ. ප්‍රථම උපාධියට නම් දැනුම් මට්ටමක් තියෙනවා. විෂය නිර්දේශ තියෙනවා. ඒත් ආචාර්ය උපාධියට දැනුම් මට්ටමක් නැහැ. මා සසෙක්ස් විශ්වවිද්‍යාලෙ මහාචාර්ය මැක්‍රේ  මුණගැසුණු පළමු දිනේ ඔහු ලංකාව ගැන ලංකා විශ්ෙවිද්‍යාලය ගැන හා ලංකා තේ (Ceylon Tea) ගැන විතරයි ඇහුවෙ. ඔහු ලංකා තේ ප්‍රිය කළ අයෙක්. ඔහු කිහිප වරක් මා සමග එකල ලන්ඩනයේ පිහිටි ලංකා තේ මධ්‍යස්ථානයට ගිහින් තියෙනවා. ඒ රාජකීය තාරකා විද්‍යා සංගමයේ (Royal Astronomical Society) මාසික රැස්වීම්වලට ලන්ඩනයට ගිය අවස්ථාවල.

 

දෙවැනි දිනේ ඔහු මගෙන් සාධාරණ සාපේක්‍ෂතාවාදය  ගැන ප්‍රශ්න කිහිපයක් ඇහුවා. ඉන් පසු මට ගුරුත්වජ කාච (gravitational lenses) පිළිබඳ අධ්‍යයනය පටන් ගන්න කිවුවා.. ඒ සම්බන්ධයෙන් ඇතැම් කතුවරුන් සඳහන් කර ඔවුන්ගෙ පත්‍රිකා කියවන්න කිවුවා. එපමණයි. අවුරුදු  එකහමාරකට පසු මා ලන්ඩන් විශ්වවිද්‍යාලෙ මහාචාර්ය විට්රෝගෙ වාචික පරීක්‍ෂණයට පෙනී සිටියා. එය විෂය කරුණු පිළිබඳ මට්ටම් හොයන පරීක්‍ෂණයක් නොවෙයි. මා කර තිබූ ගවේෂණය පිළිබඳ පරීක්‍ෂණයක්. පරීක්‍ෂණයත් වැඩි වෙලාවක් තිබුණෙ  නැහැ. මහාචාර්ය විට්රෝට වැඩි වශයෙන් දැන ගැනීමට අවශ්‍ය වුණේ මා ලංකාවට  ගිය පසු කරන්න බලාපොරොත්තු වෙන ගවේෂණ  ගැන. ලංකාවට ඇවිත් මා හරි හමන් ගවේෂණයක් කෙළේ නැහැ.

එහෙත් මට සසෙක්ස් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා මධ්‍යස්ථානයේ  (Astronomy Centre) අධ්‍යක්‍ෂ මහාචාර්ය රොජර් ටේලර්ගෙන් ආරාධනයක් ලැබුණා මහාචාර්ය මැක්‍රේගෙන්  පසු ඒ තනතුරට පත් වූ මහාචාර්ය මාටින් රීස් සමග වැඩ කිරීමට පශ්චාත් ආචාර්ය අධිසාමාජිකයකු (post  doctoral fellow) ලෙස පැමිණෙන්න කියා. මා ඒ ආරාධනය ගෞරව  පූර්වක ව  ප්‍රතික්‍ෂෙප කළා. මහාචාර්ය රීස් පසුව  ලන්ඩන් රාජකීය සංගමයේ (Royal Society, London ) සභාපති ධුරයටත් රාජකීය තාරකා විද්‍යාඥයා (Astronomer Royal) බවටත් පත් වුණා. මහාචාර්ය මැක්‍රේටත්  මහාචාර්ය රීස්ටත් ඔවුන්ගෙ රැජන සර් නම්බු නාමය ලබා දුන්නා. මා මොටාවෙන් දෙවරක් අස් කෙරී තුන්වැනි වතාවේ අස්කිරීමට පෙර ඉවත් වී දැන් මෙටාවෙ කොටනවා. පඬි නැට්ටකු කියන්න බැරි නැහැ මා සර් නම්බු නාමය නැති වීම නිසා කළකිරිලා කියා.

 

මා මේ සියල්ල සඳහන් කෙළේ මට මෙටාවෙන් ලැබෙන අලුත් දැනුමෙන් මා විශ්මයට පත් වෙන නිසා. එ දැනුම අනුව  පශ්චාත් ආචාර්ය උපාධි මට්ටම් තියෙනවා. ඒ පශ්චාත් ආචාර්ය උපාධි ඇති ඉහළ ම ගණයේ බුද්ධිමතුන්ට සකර්බර්ග් වේදිකාවක් සපයා තියෙනවා තම අලුත් දැනුම ලෝකයට දෙන්න. ඒ අතර අප වැන්නන් මෙටාව වැරදියට පාවිච්චි කරමින් විහිළු කතා හා බොරු ලියමින් විනාශයක් කරනවා. ඒ කතාවට අනුව  ඉහළ ම ගණයේ බුද්ධිමතුන් මෙටාවෙ  තම අලුත් අදහස් ලියනවා. රයිගමයා හා ගම්පළයා වැනි  බුද්ධිමතුන් ඒ අදහස් සිංහලෙන් ලියනවා. මෙටාව  මොන තරම් රම්‍ය  භූමියක් ද?  අප වැන්නන් ඒ රම්‍ය භූමිය අපවිත්‍ර කරනවා. මේ වන විට නේචර් සයන්ස් වැනි  බටහිරයන්ට අනුව  ඉහළ ගණයේ පත්‍රිකා පළ කරණ සඟරා  වසා දමන තත්වයකට පත්වෙලා. බුද්ධිමතුන් ඒ සඟරාවලින් ඉවත් වී මෙටාවට ඇවිත්. ඔවුන්ට මෙටාවෙ  දි රයිගමයා ගම්පළයා වැනි ඉහළ බුද්ධිමතුන් මුණ  ගැහෙනවා. සියලු පශ්චාත් උපාධි පශ්චාත් පශ්චාත් උපාධි මට්ටම් රැකෙනවා. සකර්බර්ග්ට  දැන් හරිම හිනා.

 

මේ ඡායාරුපයේ හිනහැන්නෙ මහාචාර්ය මාටින් රීස්.