Main Logo

Sunday 24 December 2023

ශ්‍රී ලංකා ජායි

 

ශ්‍රී ලංකා ජායි

 

මේ ඡායාරූපයේ  දැක්වෙන්නේ ලංකාවේ නව ඉන්දීය මහා කොමසාරිස් ජා අක්තපත්‍ර දීමෙන් පසු මාධ්‍යයට පෙනී සිටි අවස්ථාව. මෙහි සිටින ඉන්දියානුවන් දෙදෙනා කාහටත් හිතා ගන්න පුළුවන්. ජා මහතා හා මහත්මිය. අනෙක් හයදෙනාගෙන් තුන්දෙනක් හමුදා නිලධාරීන්. තුන්දෙනෙක් ටයිකෝට් ඇඳි මහත්වරුන්. හය දෙනා මොන රටේ කියා දන්නේ කවුද?

 

පිටුපස සේසත් හා ශ්‍රි ලංකා ධජය පේන්න තියෙනවා. නිසා මෙය ලංකාවේ ඡායාරූපයක් කියා හිතන්න පුළුවන්. එසේ නොවන්නට ලාංකිකයකු යැයි කියන්නකු හැරුණු විට වෙනත් අයකු මේ ඡායාරූපයේ පෙනී සිටින අය කවුරුන්දැයි කෙසේ හඳුනාගනු ඇත් ? රනිල් වික්‍රමසිංහගේ පියා ඇන්දේත් ටයි කෝට්. එහෙත් වැඩ බලන විදේශ ඇමති රමේෂ් පතිරණගේ පියා රිචඩ් පතිරණ නම් ඇන්දේ රෙද්ද බැනියම.

 

මා දන්නවා පඬි නැට්ටන් නොඉවසිල්ලෙන් බලා ඉන්නවා එය අපේ ජාතික ඇඳුම නොව දකුණු ඉන්දියාවෙන් ගත් එකක් බව කීමටඒකට කමක් නැහැ. ඔවුන් සදා පඬි නැට්ටන් වේවා කියා මා බලපෙරොත්තු වෙනවා. ටයි ගැටය දමා ගැනීමට බැරි වුනත් ඔවුන් සුදුසු අවස්ථාවේ ටයි කෝට් හැඳ තම අනන්‍යතාව ලොවට ප්‍රදර්ශනය කරනවා. දකුණු ඉන්දියාවෙන් නොව එංගලන්තයෙන් ගත්තත් ජාතික ඇඳුම අප කලක් අපේ දෙයක් බවට පත් කරගෙන තිබුනා. එහි දකුණු ඉන්දීය නොවන අනන්‍යතාවක් තිබුනා.

 

මා කල්පනා කෙළේ අප රිචඩ් පතිරණගේ සිට රමේෂ් පතිරණ දක්වා දියුණු වී ඇති තරම. අර අමාත්‍යාංශ ලේකම්තුමාගේ පියා මොන ඇඳුමක් ඇන්දා කියා මා දන්නේ නැහැ. කෙසේ නමුත් පුතා දියුණු වී ඇති බව නම් පේනවා. මෙරට පරිපාලන නිලධාරීන් මොටා ඇදුරන් බටහිර වෙද මහතුන් ඉතාමත් දියුණු පිරිස්. රනිල් වික්‍රමසිංහ නම් හැමදා දියුණු පුද්ගලයෙක්. බද්දේගම කලක සිට දියුණු නගරයක්.

 

පඬි නැට්ටන් හා බුද්ධිමත් ජනමාධ්‍යවේදීන් එක පයින් කියන්න ඉඩ තියෙනවා මේ කතා කරන ඡායාරුපයක් කියා. මට එසේ කීමට තරම් පඬි නැටි බවක් නැහැ. කෙසේ වෙතත් මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලංකාව හා ඉන්දියාව අතර වෙනසයි. ජා කලකට පෙර මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ කොන්සල් නම් තනතුරක් දෑරූ බව මතකයි. එකල ඔහුගේ නමත් නිතර කියැවුනා. ඔහු ඉන්දියාව වෙනුවෙන් කළ සේවය නිසා. ඔහු ඉදිරියේ දී ඉන්දියාව වෙනුවෙන් තම උුතුකම තව තවත ඉටු කරාවි. ඉන්දියාවට ලංකාව අවශ්‍යයයි. ලංකාවේ යහපතට නොව ඉන්දියාවේ යහපතටයි.

 

අප කුඩා කල ඉන්දියානුවන්ගේ ඉංගිරිසි උච්චාරණයේ වැරදි ඇහුවා. ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්‍රචාරකයන් ඉන්දීය මතාවට තවත් ලකුණක් (one more run to mother India) ආදී වශයෙන් කළ විස්තරවලට හිනහවෙන්න ඉගෙන ගත්තා. ඉන්දියානුවන්ගේ ජාත්‍යාලය බව අප වටහා ගත්තේ නැහැ. අදත් ඉන්දීය චිත්‍රපට ජාත්‍යාලය ගැන කියනවා. අපේ චිත්‍රපට කීයක ජාත්‍යාලයක් ගැන කියනවා ?

 

මා දන්නවා පඬි නැට්ටන් කියනවා චිත්‍රපට තියෙන්නෙ ජාත්‍යාලය ඇති කරන්න නො වේය කියා. ඒත් ඉන්දියානුවන් එවැනි චිත්‍රපට නිෂ්පාදනය කරනවා. එසේ චිත්‍රපට නිෂ්පදනය කරමින් ඔවුන් හඳට යානා යවනවා. එසේ චන්ද්‍රයාන් යවන අතර විද්‍යාඥයන් ප්‍රසිද්ධියේ තිරුපති යනවා. අප ඊනියා ප්‍රබුද්ධ චිත්‍රපට නිෂ්පාදනය කරමින් හිඟා කනවා. හිඟමන් නොදෙන බැවින් ණයට කනවා. ණය ගෙවා ගන්න බැරුව ටයි කෝට් ඇඳ උජාරුවෙන් හොඳ ඉංගිිරිසියෙන් කතා කරනවාකාට ආඩම්බරේ?

 

මට පිටරට දී විවිධ ජාතිකයන් හමු වී තියෙනවා. කිසිම සැකයකින් තොරව කියන්න පුළුවන් සිංහලයන් තමයි අඩුම ජාත්‍යාලයක් ඇති පිරිස කියා. මෙරට දෙමළ කතාකරන අය මුස්ලිමුන් රටට කෙසේ වෙතත් තම සංස්කෘතියට දෙමළකමට මුස්ලිම්කමට පක්‍ෂපාතියි. සිංහලයන් උගත්. ඔවුන්ට අවුරුදු පතා තමන් උසස් ලෙස සලකන නෙබෙල් තෑගි, අර තෑගි මේ තෑගි ලැබෙනවා. අප හිතනවා අප ජාත්‍යන්තර කීර්තියට පත් බුද්ධිමතුන් කියා. ඔය ඊනියා සාහිත්‍ය තෑගි චිත්‍රපට සම්මාන ආදිය තබා සාහිත්‍යය හා සාමය සඳහා වූ නොබෙල් තෑගිත් ගණන් ගන්න එපා. ඒවාහි දේශපාලනය වැඩියි.

 

උගත් සිංහලයන්ට සුදුසු නායකයෙක් ලැබී තියෙනවා. ඔහු ඇන් කුමාරිය ගෙන්වා තම රැජනගේ පිළිරුවක් විවෘත කිරීමට යනවා. එවිට සියල්ල හරියාවි. ටිකක් විතර ඉවසන්න. ආමේන්!