Main Logo

Tuesday 5 December 2023

ආදරෙයි මම ආදරෙයි සුගත් තවමත් ආදරෙයි

 

ආදරෙයි මම ආදරෙයි සුගත් තවමත් ආදරෙයි

 

ක්‍රිකට් නාටකය ඉවර වේගෙන යනවා. පේන හැටියට නම් අයිසීසී හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලංකාව සම්බන්ධයෙන් පැන වූ තහනම ළඟ දී ඉවත් කරන්න යනවා. ක්‍රිකට් ක්‍රීඩකයන් දැනටත් ලෝකෙ හැම තැන කොහොම වෙතත් ක්‍රිකට් ක්‍රීඩාව නිල වශයෙන් කෙරෙන තැන්වල ක්‍රීඩා කරනවා. අතුරු තහනම සම්බන්ධයෙන් ගොනු කළ නඩු තවම විභාග කෙරෙනවා. දැන් තියෙන්නෙ තිරය වැහුව ම පිටුපසට ගිහින් නළු නිළියන් අධ්‍යක්‍ෂ නිෂ්පාදක හමු වෙන එක විතරයි. නිෂ්පාදක අධ්‍යක්‍ෂ කවුද කියල මගෙන් අහන්න එපා. මා දන්නේ නැහැ. දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දන්නවද දන්නෙ නැහැ.

 

කොහොම වෙතත් අවසාන ප්‍රතිඵලය රොෂාන් රණසිංහ තම කඩුල්ලට පහර දී (හිට් විකට්) දැවී යෑම පමණක් බවයි පේන්න තියෙන්නෙ. මෙරට අධිකරණය ගැන අපට ඇත්තේ ආඩම්බරයක්. අර නඩු තීන්දු අපක්‍ෂපත වේවි. නීතිපති  අපක්‍ෂපත වේවි. නීතිපති කොයි විධියට වැඩ කරනවා කියා දන්නේ නැහැ. ඒත් ප්‍රශ්නයක් නැහැ.

 

සිද්ධිය වුණාට පස්සෙ පඬි කතා කියන්න ඕනෑම පඬි නැට්ටකුට වුණත් පුළුවන්. ඒත් මුළු නාටකය රඟ දැක්වුණෙ රොෂාන් රණසිංහ අස් කිරීමට කියන ප්‍රශ්නය අහන්න වෙනවා. අර මුළු පාර්ලිම්න්තු එකතු වෙලා සම්මත කර ගත් යෝජනාවට මොකද වෙන්නෙ.  කවුරු කිවුවත් නොකිවුවත් සිංහලයන්ට සමස්තයක් හැටියට මතකයක් තියෙන්නෙ ඉතා ටික කාලෙකට පමණයි. පෞද්ගලික නම් ජීවිතාන්තය දක්වා මතක තියෙනවා. ඊට පස්සෙ මොනවා වෙනවා කියන එක  දාර්ශනිකයන් දන්නවා ?

 

ලංකාවෙ ක්‍රිකට් ආයතනයත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් කළ චෝදනාව වුණෙ දේශපාලන මැදිහත් වීම්. මා හිතන්නෙ නැහැ රොෂන් රණසිංහ ක්‍රීඩා පනත කඩ කරලා කියලා. මා වැරදි වෙන්න පුළුවන්. ක්‍රීඩා පනතට අනුව ක්‍රියා කිරීම නම් දේශපාලන මැදිහත් වීමක් නො වෙයි.  ඇමතිවරු ඉන්නෙ පනත් අනුව ක්‍රියා කරන්න තමයි.

 

මට නම් පේන්නෙ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දේශපාලන මැදිහත්වීමක් කරල රොෂාන් රණසිංහ ඇමතිකමෙන් අස්කරවා ගත්තා කියලා. ෂම්මි සිල්වාගෙ වුමනාවට වෙනත් කාගෙවත් වුවමනාවට කියල කියන්න බැහැ. අවසානයේ දී රනිල්ගෙ ඉතා සම්ප හිතවතකු ක්‍රීඩා ඇමති වෙලා. රොෂාන් රණසිංහ කියන විධියට නම් ඇමතිවරුන්ටත් වඩා බලවත් පුද්ගලයන් ඉන්නවා. නාටකයේ අධ්‍යක්‍ෂ හමු වෙන්න පුළුවන් නම් තොරතුරු හොයා ගන්න පුළුවන් වේවි.

 

මා නම් සජිත් ප්‍රේමදාස වගේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නො වෙයි. අප පාසල් යන කාලෙ බුක් ක්‍රිකට් ෆ්‍රෙන්ච් ක්‍රිකට් වගේ තවත් ක්‍රිකට් තිබුණා. කාලෙ ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් තිබුණෙ  නැහැ. ඉඳ හිට ඕවල් (දැන් පී සරා) ක්‍රීඩාංගනයෙ එංගලන්ත ඕස්ත්‍රේලියානු කණ්ඩායම් සමග තරග පැවතුණා.

 

මගේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආදරයක් නැහැ. මගේ කැමැත්තක් නම් දවස්වල තිබුණා. දැනුත් ඉඳ හිට ලංකා කණ්ඩායම තරග කරන අවස්ථාවල රූපවාහිනිය බලනවා. මා මේ ආදරය ගැන කිවුවෙ අද හැමෝම හැම දේකට ආදරෙයි කියන නිසා. අද අපි කොත්තුවලට තමයි වැඩියෙන් ආදරේ. කාලෙ නම් අපි කතා කෙළෙ සුගත්ගෙයි දම්මිගෙයි ආදරේ ගැන. කාලෙ කොත්තු තිබුණෙ නැහැ. මා කොත්තු ගැන දැන ගත්තෙ නව සමසමාජ පක්‍ෂෙ හිටිය කොත්තු කෑම ප්‍රිය කළ සහෝදරයකුගෙන්. හැත්තෑ ගණන්වල. අවුරුදු පනහකට ඉහත.  ඔහු කොම්පඤ්ඤවීදියෙ කොත්තු කඩයක අනුග්‍රාහකයකු වුණා. කාලෙ කොත්තු කෑවෙ පහළ පහළ මධ්‍යම පංතියේ අය. ඔවුන් ඊනියා කම්කරු පංතියේ කියල අහන්න එපා. නව සමසමාජ පක්‍ෂය කම්කරු පංති පක්‍ෂයක්. එය ජාත්‍යන්තර පක්‍ෂයක්. මට මතක හැටියට කාලෙත් රොජර් සිල්වර්මාන් ඇවිත් ගියා.

 

දැන් නම් හැම තැන කොත්තු කඩ. ඒවා මහත්වරුන්ගෙ කඩ. නමටත් මහත්තයා කියල භාවිතා කරනවා. අවුරුදු පනහක් කොත්තු ගමන ගැන ඔය හැමෝගෙ ගමන්මග අහන නිවේදකයන්ට දැන ගන්න බැරි ? වුණත්  ආදරය හැම නිවේදකයකුගෙ නිවේදිකාවකගෙ කටේ තියන වචනයක් වෙලා. කොත්තු තියෙන්නෙ කඩේ. ආදරේ තියෙන්නෙ කටේ. මට ඇහුණා යේසුගෙ ආදරේ ගැන ගයන ගීයක්. ආදරේ දැන් හැම තැන තියෙනවා. අද මෛත්‍රිය කරුණාව නැහැ. මොහිදීන් බෙග් නම් කාලෙ කරුණාව ගැන ගීත ගැයුවා. සිසිර සේනාරත්න හා ඉන්ද්‍රාණි සේනාරත්න දම්මිගෙයි සුදත්ගෙයි ආදරේ ගැන ගැයුවා. අපි වෙනස දැක්ක පරම්පරාව. අද වරද්දාගත් පරම්පරාව කොත්තුවටත් බිත්තියටත් ආදරෙයි. අප බොහෝ දෙනකු නොදැක්කාට සංස්කෘතික විපර්යාසයක් සිදු වෙමින් පවතිනවා. අපට කරුණාව මෛත්‍රිය නැති වෙනවා. මා තලියේ කිඹුලන් දකිනවා නො වෙයි.

 

මා අහන්නෙ නැහැ ජොරොම් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කියා. ඔහු ආදරේ ඇති. නැත්නම් සමහර ක්‍රිකට් තරග දිනවාවි යැයි. අර කොවිඩ් පැණිය ගැන මෙටාවෙ පිටු ගණන් වැය කළ පඬි නැට්ටන් ජෙරොම් ප්‍රනාන්දු ක්‍රිකට් තරග දිනෙවුව එක ගැන කතා නොකිරීමෙන් ඔහුට ඉතා විශාල අසාධාරණයක් කර තියෙනවා.  පඬි නැට්ටන් අසාධාරණය කළ අයටත් ආදරේ කරනවා. ඒත් දෙමළ ජනයාට අසාධාරණයක් කෙළේ යැයි කියන සිංහල බෞද්ධයන්ට ආදරේ නැහැ.

 

ක්‍රිකට් ක්‍රිඩාව පහතට දැමීමට ජෙරොම් ප්‍රනාන්දු කටයුතු කළා කියා මා කියන්නේ නැහැ. රොෂාන් රණසිංහ බෝන් අගේන් ගැන කියන්නේ මොකක් ? රොෂාන්ට උදවු උපකාර කළ සජිත් ප්‍රේමදාස බෝන් අගේන් ගැන කියන්නේ මොකක් ? නාටකයේ අධ්‍යක්‍ෂ හමු වෙන්න ඕන. ඒත් මේ ආදර විකාශය ගැන දැන ගන්න හමු වෙන්න ඕන ජෙරොම් ප්‍රනාන්දු වෙනත් අයකු ?  එය බරපතළ වෙනසක්. කෝ මේ සුගත් කෝ මේ දම්මි.