Main Logo

Monday 11 December 2023

පඬි නැටි ටක්කෙ

 

පඬි නැටි ටක්කෙ

 

එක් පඬි නැට්ටෙක් අහල තිබුණ අපි බුදුහාමුදුරුවන් කී දේ ටක්කෙට දන්නවා කියල. අපි නම් බුදුහාමුදුරුවන් කී දෙයක් දන්නෙ නැහැ. අප දන්නෙ උන්වහන්සේ දේශනා කළ දේ. ඒකත් ටක්කෙට දන්නෙ නැහැ. අපි බුදුහාමුදුරුවන්ට හාමුදුරුවරුන්ට ගෞරව කරනවා. විවිධ කරුණු නිසා ගෞරව කරනවා. හාමුදුරුවරුන් බුදුසසුන රැක ගැනීමට දරණ උත්සාහය වුණත් ගරු කටයුතු කාර්යයක්.

 

උන්වහන්සේලා සම්බන්ධයෙන් අප යොදා ගන්න වචන වෙනස්. කනවා ඇවිිදිනවා නිදාගන්නවා කියනවා වගේ ගිහි සමාජයේ භාවිතා වෙන වචන අප යොදා ගන්නේ නැහැ. හාමුදුරුවරුනුත් ගිහියන් අමතන්නෙ මහත්තයා උපාසක මහත්තයා පින්වතා ආදී වචනවලින්. ඔයා කියා අමතන්නෙ නැහැ. අප දෙමවුපියන්ටත් ඔයා කියන්නෙ නැහැ.  මා අමු බයියෙක් වෙන්න පුළුවන්. දැන් වැඩි කාලයක් ගෙවන්නෙ ඇමරිකාවෙ වුණත් සනීප ගත්තත්  නිර්මල නැති වුවත් මා සිංහලයෙක්. මා සිංහල වන්නෙ සංස්කෘතියෙන්. ජානවලින් සිංහල වෙන කිසිවකු මේ රටේ නැහැ. ඉන්දියාවට තම මුල එකතු කරන්න සූදානම් අයට සමහර විට තියෙන්නෙ වංග (බංගලි) ජාන වෙන්න පුළුවන්. සිංහල ජාන කියා ජාන නැහැ. වංග ජානත් නැහැ. මා කියන්නෙ සිංහල වෙන්නෙ ජාන මගින් කියනවා නම් අයට කියන්න වෙන්නෙ වංග ජාන තියෙනව කියා. එහෙත් බංගලියන් අය බංගලියන් ලෙස සලකන්නෙ නැහැ. විජය හා පිරිසගෙන් පැවත එන්නන් බංගලියන් ? ඔවුන් සිංහල වුණේ කොහොමද? අපි මේ සියල්ල පසුව විස්තර කරමු.

 

දැන් අර ටක්කෙට. බුදුන්වහන්සේ දේශනා කළ ධර්මය ඊනියා ටක්කෙට දන්න වෙන කිසිවකු නැහැ. ටක්කෙට දැන ගන්න නම් බුදු වෙන්න ඕන. පඬි නැට්ටට  සසර ගැන විශ්වාසයක් නැත්නම් කරන්න දෙයක් නැහැ . බුදු වෙන්න බැහැ. බුදු වෙන්න ඕන නැහැ කියා පඬි නැට්ටා කියාවි. එහෙම නම් ටක්කෙට දැන ගන්නත් බැහැ. රහතන් වහන්සේ ටක්කෙට   දැන සිටියේත් නැහැ. රහත් වීමට  මහා දැනුමක් අවශ්‍ය නැහැ. සඳහා අවශ්‍ය පිළිවෙත් වැඩීමයි. පාරමී ධර්ම පිරීමයි. ධර්මය මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ පාරමී දහම් පිරීමට මග පෙන්වීමටයි. ධර්මය ටක්කෙට නූනත් තරමකට දැන ගත්තත් පිළිවෙත් වඩන්නෙ නැත්නම් වැඩක් නැහැ.

 

දැන් මේ පඬි නැට්ට ටක්කෙට දන්න දෙයක් තියෙනවා ? ඔහු ටක්කෙට දන්නවා නම් ඔහු කියන දේ කරන දේ හිතන දේ ආදිය පමණයි. ඒකත් එහෙම නොවෙන්න ඉඩ තියෙනවා. ඔහු කවුද කියා මා දන්නෙ නැහැ. ඔහු ඉංජිනේරුවෙක් නම් ඉංජිනේරු තාක්‍ෂණය ටක්කෙට දන්නවා ? ඔය කළු කුහර ගැන පඬි කතා කියන මෙටාවෙන් හා මොටාවන් ගැන ටක්කෙට දන්නවා ? බටහිර විද්‍යාඥයන් ගැන ටක්කෙට දන්නවා ? අර විශ්වවේදී නියතය (cosmological constant) නැතුව යොදා ගන්නා අයින්ස්ටයින් සමීකරණවල විසඳුම් ඇසුරෙන් තමයි කළු කුහර ගැන කියවන්නෙ. නියතය යෙදුව මට නම් පේන්නෙ වෙනින් දෙයක්. ඒත් මා සිංහල බෞද්ධ බයියෙක්. විද්‍යාඥයෙක් නො වෙයි. මා කියන දෙයක් විද්‍යාඥයන් පිළිගන්නෙ නැහැ. ඔවුන්ට අනුව මා ටක්කෙට දන්නෙ නැහැ. කොහොමටත් මා අසු වියට පා නැගූ මැන්ටලයක්.

 

බුදුහාමුදුරුවන් දේශනා කළ දේ මුලින් ගෙනාවෙ කටපාඩමින්. අවුරුදු පන්සීයකට විතර පස්සෙ මහා කළු සිංහලයා වළගම්බා රජු දවස තමයි ධර්මය පොතට ගියේ.  ඒකත් ශාසන වංශයෙ වැදගත් කතාවක්. ලියන විට බුදුහාමුදුරුවන් දෙසූ ධර්මය සමහර තැන්වල අඩු වෙලා තියෙන්න ඇති. සමහර දේ එකතු වෙලා තියෙන්න ඇති. කොහොමටත් ටක්කෙට ලියැවෙන්නෙ නැහැ. ඊට පස්සෙ අටුවා ටීකා ටිපපණි මගින් විවිධ අර්ථකථන එකතු වෙලා. අටුවා ආදිය ලියූ අයත් ටක්කෙට දැන හිටියෙ නැහැ.

 

ඒකට කමක් නැහැ. බුදුදහමෙහි සාරය සසර කෙළවර කිරීම. සසර තරණය කිරීමත් නොවෙයි. සසර ගැන විශ්වාසයක් නැත්තන් කරන්න දෙයක් නැහැ. කළු කුහර ගැන විශ්වාස නම් ඇති. අද මෙරට අධර්ම රාජ්‍යයක් වීමට ප්‍රධාන හේතුව සසර විශ්වාස නොකිරීම. නිසා සසරට බයක් නැහැ. පවු පින් නැහැ. සසරක් නැහැ කියන අය මනස පිළිබඳ මගේ අභියෝගය පිළිගෙන යමක් කරන ලෙස තම බටහිර ස්වාමිවරුන්ගෙන් ඉල්ලනවා ? සසර ගැන ටක්කෙට දන්නවා කියල අහන්න පුළුවන්. දන්නෙ නැහැ. ඒත් ඒ් යළි යළිත් ඉපදීම කියා බාගෙට දැන ගත්තත් ඇති. අපට අවශ්‍ය සසර කෙළවර කරන්න. ඒකට මගක් තියෙනවා. ඒකත් ටක්කෙට දැන ගත්තෙ නැතත් කමක් නැහැ. සසර කෙළවර කිරීමට මා දැන් පඬි නැට්ටන්ට මෛත්‍රී කරන්න පුරුදු වෙනවා. ඒත් ටක්කෙට බැහැ.

 

පඬි නැට්ටකු හිතනවා නම් තමන් යම් විෂයකින් සාමාන්‍ය පෙළ සාමාර්ථයක් ලබා ගත් නිසා විෂය ටක්කෙට දන්නවා කියා. එසේ හිතා ගත්තාට කමක් නැහැ. ප්‍රථම පංතියේ උපාධියක් ඇති නිසා ආචාර්ය උපාධියක් ඇති නිසා ටක්කෙට දන්නවා කියා හරි යම් ප්‍රශ්න පත්‍රයකින් සියට සීයයක් ලකුණු ගත් නිසා ටක්කෙට දන්නවා කියා හරි එහෙම හිතා ගත්තාවෙ. යම් විෂයක ටක්කෙට දැනුමක් නැති වුණත් විෂය සම්බන්ධ රැකියා කරන්න පුළුවන්. ටක්කෙට නො වෙයි. ඔය ඉංජිනේරුවො තමන් කරන දේ ටක්කෙට දන්නවා ?  මටත් පිනට හරි ලැබුණු ආචාර්ය උපාධියක් තියෙනවා. මා ටක්කෙට කිසි දෙයක් දන්නෙ නැහැ. මා කිසි දේක ඊනියා විශේෂඥයකු නො වෙයි.


ආචාර්ය උපාධි මට්ටමින් ඉහළට ඉගෙනීමක් කියා දෙයක් නැහැ. ආචාර්ය උපාධියටවත් ඉගෙනීමේ මට්ටමක් නැහැ. ආචාර්ය උපාධිය හුදෙක් නිල වශයෙන් ගවේෂණය (ඊනියා රිසර්ච්) සඳහා දෙන බලපත්‍රයක් පමණයි. ආචාර්ය උපාධි මට්ටමක් ගැන කියවන්නෙත් පඬි නැට්ටන්. ඒ ඔවුන් දන්නා තරම.

 

මිනිසුන් ටක්කෙට දැන ගන්න හිටියොත් කිසිම දෙයක් කරන්න වෙන එකක් නැහැ. ප්‍රශ්න පත්‍රයකින් සියයට සීයක් ලැබෙන්නෙ පරීක්‍ෂකවරයා බලාපොරොත්තු වූ පිළිතුරු ලියා ඇති නිසා මිස විෂය ටක්කෙට දන්න නිසා නො වෙයි. අයින්ස්ටයින්වත් භෞතික විද්‍යාව ටක්කෙට දැන හිටියෙ නැහැ. ඔහු අර කලින් කී විශ්වවේදී නියතය ඉදිරිපත් කළෙත් වෙන කරගන්න දෙයක් නැතුව. ඔහු පසුව කියා හිටියා තමා කළ ලොකුම වරද නියතය ඉදිරිපත් කිරීම කියා. එහෙත් අද නියතය විශ්වවේදයේ යොදා ගන්නවා. එය නියතයක් නොවේ නම් විචල්‍යයක් නම් අපට අර සංවට්ට කප්ප විවට්ට කප්ප විශ්වයක් සංස්කරණය කරගන්න පුළුවන්. හිතනවා විශ්වවේදීන් ඔය මහා පිපිරුම් න්‍යාය ගැන ටක්ක දැනුමක් ඇති අය කියා. ඉතා ඉහළ තලයේ විශ්වවේදීන් කියන දේ  ඊට පහළ තලවල ඉන්නා අය  ටක්කෙට දන්නෙ නැහැ.

 

එහූ  ලෝකෙක පඬි නැට්ටා බුදුහාමුදුරුවන් දේශනා කළ දේ ටක්කෙට දන්නවා කියා අහන්නෙ තම පඬි නැටිකම ප්‍රදර්ශනය කර ඊනියා වීරයකු වීමට පමණයි. අද විරයකු වීමට කළ යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියේ අංග විවේචනය කිරීම පමණයි.