Main Logo

Friday 8 December 2023

පඬි නැට්ටන්ගේ කළු කුහර

 

පඬි නැට්ටන්ගේ කළු කුහර

 

අපට සියල්ල තනිව දැන ගන්න බැහැ. මෙහි සියල්ල කියන්නේ ඊනියා වාස්තවික යථාර්ථයක් නො වෙයි. ලෝකයේ පුද්ගලයාගේ දැනුම්වල එකතුවයි මෙහි සියල්ල ලෙස හැඳින්වෙන්නේ. අප සාමාන්‍යයෙන් කරන්නේ වැඩිහිටියන්ගෙන් ගුරුවරුන්ගෙන් පොතපතින් දැනුම් එකතු කර ගැනීමයි. ඉඳහිට අලුත් යමක් එකතු කරනවා. එහෙමත් නැත්නම් සකස් (සංස්කරණය) කරනවා.

 

අලුත් දැනුමක් සකස් කිරීමේ දී දෙයාකාරයකට කරනවා. අලුත් සෙල්ලිපයක් කියවා ගැනීමෙන් අලුත් දැනුමක් ලැබෙනවා. හිතළු නො වෙයි. තියෙන දෙයක් කියවා ගැනීම. කවුරුන් හරි කලින් ලියා තැබූ දෙයක් කියවීම. එහෙත් සෙල්ලිපිය කියවීමට පෙර එහි ඇත්තේ කුමක් දැයි ඇතැම් පඬි නැට්ටන් දන්නවා. ඔවුන්ගේ හිතළු. හිතළු වැඩ කරනවා නැද්ද කියා දැන ගත හැක්කේ සෙල් ලිපිය කියවීමෙන් පසුවයි. 

 

මේ හිතළු ඉදිරිපත් කිරීම තමයි දැනුම සම්බන්ධයෙන් වැදගත් දේ. මා සඳහන් කරන්නේ සාධාරණ වශයෙන් යම් සංසිද්ධියක් සම්බන්ධයෙන් හිතළු ඉදිරිපත් කිරීම. අර සෙල්ලිපියේ ඇත්තේ මොනවා කියා හිතළු කීම සෙල්ලිපියට පමණක් අදාළ දෙයක්. එහි වැදගත්කමක් ඇති නමුත් හිතළුව වැඩ කරනවා නැද්ද යන්න සෙල්ලිපිය කියවීමෙන් දැන ගන්න පුළුවන්. සෙල්ලිපියක් හරි වෙනත් සාධකයක් හරි මත පදනම් වෙලා යම් සිද්ධස්ථානයක් අහවල් සිද්ධස්ථානය ලෙස හඳුනාගැනීමත් සිද්ධස්ථානයට පමණක් සීමා වූ දෙයක්.

 

සෙල්ලිපියෙ තියෙන්නෙ මොකක් අර සිද්ධස්ථානය මොකක් මේ මල මොකක් මුගලන් රජු ක්‍රිස්තියානි වුණා වගේ ප්‍රශ්න බොහොම සංයුක්ත එක් කරුණකට පමණක් අදාළ ප්‍රශ්න. ඒත් මේ සිද්ධස්ථාන මොනව කරවල තියෙන්නෙ මොනවට මල් පිපෙන්නෙ ඇයි මිනිසුන් ක්‍රිස්තියානි වුණෙ මොක ථෙරවාදී රටවල් පහක් පමණක් ලෝකයේ ඇත්තේ ඇයි මල් පරවෙන්නෙ මොක පරවෙලා වැටෙන්නෙ මොක වැටෙන්නෙ කොහොම වගේ බොහෝම සාධාරණ (පොදු යන අරුතින්) අහන ප්‍රශ්නත් තියෙනවා.

 

සාමාන්‍යයෙන් බටහිර විද්‍යාවෙ අහන්නේ කොහොමද ප්‍රශ්න මිස ඇයි ප්‍රශ්න නොවන්නේ යැයි මතයක් තියෙනවා. බටහිර විද්‍යාඥයන්ට අනුව නම් ඇයි ප්‍රශ්න අහන්නෙ දර්ශනයේ දි. අපොයි නැහැ මා කිසිම තේරුමකින්වත් විද්‍යාඥයකුවත් දාර්ශනිකයකුවත් නො වෙයි. මට අඩු ගණනේ මේ දෙරණෙ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුවත් වෙන්න බැරි වුණා. මට සේවාර්ජිත (සම්මානිත) මහාචාරයවරයකු වීමටවත් සුදුසුකම් නැහැ. බටහිර විද්‍යාවෙ පොල් වැටෙන්නෙ කෙහොමද කියා අහනවා මිසක් පොල් වැටෙන්නෙ ඇයි කියා අහන්නෙ නැතිලු. ඒත් මේ ඇයි හා කොහොමද කියන ප්‍රශ්න ඔය කියන විධියට එකිනෙකින් වෙන් කරන්න බැහැ. පඬි වදනින් කියනවා නම් අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර නැහැ.

 

ලංකවෙ මොටවෙවත් මෙටාවෙවත් සාධාරණ ප්‍රශ්න අහන්නෙ නැහැ. තනි තනි සිද්ධි ගැන තමයි ප්‍රශ්න අහන්නෙ. එවිට ප්‍රශ්නයත් පිළිතුරත් සංයුක්ත වෙනවා. සිංහලයන්ට වියුක්ත හිතන්න බැරි කමක් තියෙනවා. වියුක්ත කියන්නෙ වියෝ වීමක් නො වෙයි. එහි වියෝ ගී ගැයෙන්නෙ නැහැ. සමහර වෙලාවට වියුක්ත කියන එකට අමුර්ත කියලත් යෙදෙනවා. අපි ඉතින් අනෙක් අය සකස් කරන වියුක්ත කතා කියව කියව ඉන්නවා.

 

කොහොම වෙතත් අපට සියල්ල දැන ගන්න බැහැ. දැන ගන්න සමහර දේ වැඩ කරනවා නැද්ද කියල දැනගන්න විධියක් නැහැ. අපි විශ්වාස කරනවා. අද බොහෝ දෙනා කළු කුහර ගැන කියවනවා. විශ්වාස කරනවා. අපූර්වතාව (singularity) සිද්ධි ක්‍ෂිතිජය (event horizon) වගේ සංකල්ප ගැන කිසිම දැනුමක් නැති වුණත් විශ්වාස කරනවා. මට නම් කළු කුහර තේරෙන්නේ නැහැ. පඬි නැට්ටකු කළු කුහරයකට ඇතුල් කළත් වැඩක් වෙන්නෙ නැහැ. කළු කුහර ගැන දැනට තියෙන දැනුම අනුව සිද්ධි ක්‍ෂිතිජය පහු කළාට පසු පඬි නැට්ටට හරි නැට්ටිට හරි අපත් සමග  සංනිවේදනය කරන්න බැහැ. අපට සංඥා එවන්න බැහැ. අර කියන විධියට සිග්නල් නැහැ.

 

මේ විශ්වාස කිරීම මට ප්‍රශ්නයක් නො වෙයි. මට කළු කුහරයේ අපූර්වතාව ගැන විශ්වාසයක් නැතත්  වෙනත් අය ගැන කියන දේ මෙරට පඬි නැට්ටන් විශ්වාස කිරීම ගැන මා කිසිවක් කියන්නේ නැහැ. පඬි නැට්ටන් සම්ම ජාතියේ සාධාරණ (පොදු) දැනුමක් සකස් කරන්නෙ නැහැ. වැඩිම වුණොත් අහවල් වසරේ කෝපි වගාව ගැන විස්තරයක් පොතපතින් කියවා ගනීවි. මට ප්‍රශ්නය පඬි නැට්ටන් තමන්ට ඇත්තේ විශ්වාසයක් පමණක් බව නොකියා ඊනියා විද්‍යාත්මක ක්‍රමය පරීක්‍ෂණ ආදිය ගැන පඬි නැටි කතා කියවීම. තමයි ඔවුන්ගෙ ඊනියා කියවීම.

 

සිංහල බෞද්ධයන් දන්නවා තමන්ට හැම දෙයක් දැන ගැනීමට නොහැකි බව පමණක් නොව සෑම දෙයක් තමන්ට දැන ගැනීමට නොහැකි බව. ඇතැම් පඬි නැට්ටන් කාළාම සූත්‍රය ඊනියා විද්‍යාත්මක ක්‍රමයකට උදාහරණයක් ලෙස ගත්තත් එහි ඇති විද්‍යාවක් නැහැ. මා කාළාම සූත්‍රයේ දෙවැනි කොටස ලෙස හඳුන්වන කොටසින් කියන්නේ ඇතැම් කරුණු විඤ්ඤූන්ගෙන් දැනගත යුතු බව. සිංහල බෞද්ධයනට එය ලජ්ජාවක් නොවෙයි. සිංහල බෞද්ධයන්ට තමන්ගේ විඤ්ඤූන් විශ්වාසයි.

 

පඬි නැට්ටන්ට බෞද්ධයන්ගේ විඤ්ඤූන් විශ්වාස නැති එක පුදුමයක් නො වෙයි. ඔවුන්ගේ විඤ්ඤූන් බටහිර විද්‍යාඥයන් ඇතුළු පඬියන්. පඬි නැට්ටන් තම විඤ්ඤූන් කියන දේ විශ්වාස කරනවා. ඒත් බව නොකියා පඬි කතා කියවනවා.