Main Logo

Wednesday 6 December 2023

අධ්‍යාපනය නිසා ස්වභාවයෙන් ඈත් වී අයාලේ යෑම

 

අධ්‍යාපනය නිසා ස්වභාවයෙන් ඈත් වී අයාලේ යෑම

 

ඊයේ (දෙසැම්බර් 05)  පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සාකච්ඡා වුණා. මොටා ඇදුරන්ට අනුව විශ්වවිිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ අපකීර්තිමත් අන්දමට සභාපති ලේකම් තනතුරුවල කටයුතු කර ඇතත් මොටාවේ  ජාතිකවාදී කිහිප දෙනකු ඇතුළු අතිමහත් සාමාජිකයන් පිරිසක් මා ප්‍රතික්‍ෂෙප කළත් මා මෙරට අධ්‍යාපනය ගැන සෙවිල්ලෙන් ඉන්නවා.

 

මා මේ දිනවල සනීප ගැනීම සඳහා පිටිසර ගමකට ගිහින් ඉන්නවා. සනීප ගන්න ඕන අයට මෙහි එන්න පුළුවන්. අපට සනීප ගන්න තරම් ප්‍රභූ මානසිකත්වයක් නැහැ හරි අපට ඕවට වෙලාවක් නැහැ හරි කියන අය අසනීපයෙන් තමයි එසේ කියන්නේ. ඔවුන් ගැන මනෝ විශ්ලේෂණයක් අවශ්‍ය නැහැ. මනෝ විශ්ලේෂණය පට්ටපල් බොරුවක් නො වෙයි. එහි ඊනියා ඇත්තක් නම් නැහැ. පට්ටපල් බොරු වෙන්නෙ බටහිර විද්‍යාව. මා කියන දේ පඬි නැට්ටන්ට වටහා ගන්න බැරි ඔවුන්ගේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක් නිසා.

 

මේ ආයතනය වටේ ගස්කොළන්. කාර් බස් හඬක් නැහැ. ආයතනයට සනීප ගන්න එන අයකුගේ වාහනයක ශබ්දය විතරයිි ඇහෙන්නෙ.  තිරිසන් අපාය ගැන වැටහීමක් දෙමින් කුරුල්ලන් තොරතෝංචියක් නැතුව  කෑ ගහනවා. අපාය නැහැ කියන අය හිතන් ඉන්නේ අපාය තියෙන්නෙ පොළොව යට කියා. කොහොමටත් අර තම දියණිය ගැබිණියක් කර අවුරුදු පහළොවකට පමණක් හිරේ ගිය එකා මේ භවයෙන් පසුව යන හිරේ ගැන හිතා ගන්න පුළුවන්.

 

මෙරට අධර්මය රජ වෙලා. එයට ප්‍රධාන හේතුව අධ්‍යාපනය හා නීතිය. චින්තන පර්ෂදයෙන් වෙන් වී සිටින චාමර ශිරන්තට නම් යොහෝවා දෙවි පිහිටයි. ඔහුගේ මව අබෞද්ධ. කතෝලික ආගමේ ක්‍රිස්තියානි ආගමේ හා ඉස්ලාම් ආගමේ ඉන්නෙත් රූපාන්තරකරණයන්ට භාජනය වූ යෙහෝවා දෙවියන් වහන්සේමයි. එහෙත් යුදෙවුවන්ගේ දෙවියන් වහන්සේ තමයි වියුක්තම වියුක්ත කතාව. චාමරට දෙවියන් වහන්සේ විශ්වාසයි. බුදුහාමුදුරුවන් දෙවියන් වහන්සේ අහළිකන්වත් තියන්න බැරි කියල චාමරගෙන් තමයි අහන්න ඕන. එහෙත් චාමරට අනුව දෙවියන් වහන්සේගෙ පුත්‍රයා යේසුතුමා නම් බෝධිසත්වයෙක්. කතෝලික දෙවියන් වහන්සේ මිස යුදෙවු දෙවියන් වහන්සේ නො වෙයි.

 

යුදෙවු දෙවියන් වහන්සේ කෙසේ වෙතත් රෝහණ විජේවීර හා ගුණදාස අමරසේකර නම් වසන්ත බණ්ඩාරට අනුව බුදුහාමුදුරුවන්ට වඩා වීරයන්. උගත් දන්ත වෛද්‍යවරයා කියන්නේ බුදුහාමුදුරුවන් තමන් එතරම් යමක් නොදත්  ළමා අවධියේ තම වීරයා වූ නමුත් යමක් කමක් වැටහෙන තරුණ වියේ විජේවීර වීරයා වූ  බවත් පැසුණු වියේ අමරසේකර වීරයා වන බවත්. බුදුහාමුදුරුවන් පුනබ්භවයක් නිවනක් දේශනා කිරීමත් අමරසේකර පුනබ්භවයක් විශ්වාස නොකිරීමත් එයට හේතුව දන්නෙ නැහැ.

 

මේ   කිසිවක් පඬි නැට්ටන්ට මේ කපේ දි තේරෙන්නෙ නැහැ. සුසිල් ප්‍රේමජයන්තට තේරෙන්නෙත් නැහැ . ඔහු පඬි නැට්ටන් වගේ නොවෙයි මේ ලිපි කියවන්නේවත් නැහැ. අපේ රටේ අද තියෙන්නෙ බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයෙ අධ්‍යාපනයක්. ඉනුත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියෙ. සභ්‍යත්වයක සංස්කෘතීන් කිහිපයක් තියෙනවා. බෞද්ධ සභ්‍යත්වයක් නැහැ. බෞද්ධ සංස්කෘතීන් නම් රාශියක් තියෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය එක් සංස්කෘතියක්. එය සභ්‍යත්වයකට අයිති නැහැ.

 

බටහිර අධ්‍යාපනයේ ප්‍රධාන ලක්‍ෂණය තමයි අප ස්වභාවයෙන් ඈත් කිරීම. අද එය ජඩමාධ්‍යයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊනියා උගත් ගැමි තරුණයන්ට වෙලා තියෙන්නෙ ඒකයි. ඔවුන් ලන්ඩන් ගිහින්. ඔවුන්ගෙන් කොටසක් ලන්ඩන් කියල සඟරාවකුත් පළ කළා. ලන්ඩන් නගරයේ ව්‍යාජ උයන් හදල තියෙනවා. ඒත් කෘත්‍රිමයි. මේ ආයතනය වටේ කිසිම කෘත්‍රිම වාතාවරණයක් නැහැ. ස්වාභාවිකයි. ලන්ඩන් උයන් කෘත්‍රිමයි. ඒත් මිනිසුන්ට ස්වභාවය අවශ්‍ය වෙනවා. නිසා කෘත්‍රිම උයන් (ස්වභාව) තම නගරවල තැනීමට බටහිරයන්ට හා ලංකාවෙ කොලම්බියන්ලට (ගෝමින් දයාසිරිගේ වචනයක්) සිද්ධ වෙනවා.

 

මේ ලිපි සුරේන් රාඝවන්ට නම් තේරෙනවා. ඒත් ඔහු අද පූරණකාලීන දේශපාලනඥයෙක් වෙලා. නිසා ඔහුට තේරුණත් වැඩක් නැහැ. සුසිල් ප්‍රේමජයන්තට පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න බැහැ. සඳහා පවත්නා ක්‍රමය ඉඩ දෙන්නෙ නැහැ. අද උගත් ගැමි තරුණයන්ට තම දරුවන් ගමෙන් ඈත්කරලා නගරයට යවන්න ඕන. සඳහා ඇති ප්‍රධාන මාර්ගය ශිෂ්‍යත්වය. ශිෂ්‍යත්වය කියන්නෙ දරුවන් ස්වභාවයෙන් ඈත් කරන්න සකස් කරල තියෙන දොරටුවක් පමණයි. පහේ ශිෂ්‍යත්වය නැති කරන්න පුළුවන් අටේ හරි කීයෙ හරි ශිෂ්‍යත්වයක් ඇති කරල පමණයි. දරුවන් කොළඹ ඇවිත් කොළඹ මතක ලියනවා. පඬි නැට්ටන් අතර විශිෂ්ට කෘති බවට පත්වෙනවා.

 

මේ සංඛ්‍යාන කියන්නෙ අමුතු වර්ගයක්. සජිත්ට අනුව මොටාවට අවශ්‍ය ගුරුවරුන්ගෙන් 50% ක් පිට රට ගිහින්. කියන්නෙ 50%ක් ඉන්නවා කියන එක පැහැදිලි නැහැ. සුසිල් ප්‍රේමජයන්තට අනුව ගුරුවරුන්ගෙන් තුනෙන් දෙකක් පමණ ඉන්නවා. සමහර විට සියයට පනහ සහ තුනෙන් දෙක එකතු කළාම සියයට සියයකට කිට්ටු වෙනවා ඇති. මොටාවෙ උගන්වන්න මහා දැනුමක් අවශ්‍ය නැහැ. මා එහි ඉගැන්වීමට පත් කෙරුණා. එහෙත් උගන්වන්න තරම්වත් දැනුමක් මට තිබුණේ නැහැ. මා ඉගැන්නුවේ නැහැ. එය වරදක් වෙන්න පුළුවන්. මට කරන්න දෙයක් නැහැ. මොටාවෙ කිසිවකු අලුත් දැනුමක් ලෝකෙට දීල නැහැ. රාඝවාන්ගෙන් අහන්න. ප්‍රේමජයන්තට ගැන දැනුමක් නැහැ.

 

අධ්‍යාපනය ගැන හුඟක් දේ කියන්න පුළුවන්. කිවුවට කෙරෙන්නෙ නැහැ. අප නීතිය අනුව නොව ශීලය මත හික්මුණු ජාතියක්. අධ්‍යාපනය විසින් ශීලය නැති කෙරිලා. අප යෙහෝවා දෙවියන්ගේ හා එතුමාගෙ රූපාන්තරකරණවල නීතියට යටත් වෙන යුදෙවුවන්වත් කතෝලිකයන්වත් ක්‍රිස්තියානින්වත් මුස්ලිමුන්වත් නො වෙයි. අධ්‍යාපනයෙන් ශීලයට පහර දීලා ශීලය නැති කරලා. පුනබ්භවය අපාය නැති කරලා. අපට ලජ්ජා බය නැහැ. අප ඊනියා තර්කවාදීන් වෙලා. ඉන්ද්‍රිය ගෝචරවාදීන් වෙලා. අපට පුනබ්භවයත් අපායත් නැහැ. අප දැන් අයාලේ යනවා. අධ්‍යාපනය මොටාවෙන් එළියට ගන්න ඕන.   \