Main Logo

Saturday 9 December 2023

පඬි නැට්ටන්ගේ මහින්ද මුගලන් හා වෝල්ටෙයාර්

 

පඬි නැට්ටන්ගේ මහින්ද මුගලන් හා වෝල්ටෙයාර්

 

මෙරට පඬි නැට්ටන් තරම් බුද්ධිමත් පිරිසක් ලෝකයේ වෙනත් කොහේවත් ඉන්නවා කියා මා හිතන්නේ නැහැ. එසේ ඉන්නවා නම් මෙරටින් ගිය පඬි නැට්ටන් වෙන්න ඕන. සමහර විට ඔවුන් රටවල රටවැසිකම ලබා ඇති. අද මට එක් අයකු යොමු කර තිබුණා එක් පඬි නැට්ටකු අසා තිබූ ප්‍රශ්නයක්. ප්‍රශ්නය ඇසූ තැනැත්තා බෞද්ධයකු නොවේය යන්න මගේ හිතළුව. ඔහු නිරාගමිකයකු වූ හිටපු  කතෝලිකයකු  වෙන්න පුළුවන්. ඇතැම් නිරාගාමික හිටපු බෞද්ධයන් එවැනි ප්‍රශ්න අහනවා. ඔවුන් සුපිරි බුද්ධිමතුන්.

 

ප්‍රශ්නය වෝල්ටෙයාර් (හරි කවුරු හරි බටහිර පඬියකු)   යල් පැන ගිය අයකු නම් බුදුහමුදුරුවන් යල් පැන ගිය අයකු නොවන්නේ කෙසේ ? මොන තරම් යාවත්කාලීන පඬි ප්‍රශ්නයක් ? අර බටහිර පඬියා කවුරුන් වුවත් ග්‍රීකයකු රෝමකයකු නොවේ නම් බොහෝ විට පසළොස්වැනි සියවසෙන් පසුව ජීවත් වූ අයකු වෙන්න ඕන. එවැන්නකු යල් පැන ගොස් නම් අවුරුදු දෙදහස් පන්සීයකට ඉහත වැඩ විසූ බුදුහාමුදුරුවන් ගැන කියනුම කවරේ ?

 

පඬි නැට්ටාට සමග සොක්‍රටීස් ඇරිස්ටොටල් ප්ලේටො යුක්ලිඩ් ආකිමිඩීස් ආදීන් මතක් කරන්න තිබුණා. අර එක ගඟට දෙවරක් පනින්න බැහැ කී හෙරක්ලිටස් අමතක වෙලා. හෙරක්ලිටස් සොක්‍රටීස්ටත් කලින් හිටියෙ. බුදුහාමුදුරුවන් නම් එක ගඟක් කියන්නෙවත් නැහැ. ගඟත් වෙනස් වෙලා. ඒත් හරක්ලිටස්ලට කතා අමතක වෙනවා. බුදුහමුදුරුවන් දේශනා කෙළේ ගඟක් කියා එකක්වත් හෙරක්ලිටස් කියා කෙනකුවත් නැහැ කියලා. පඬි නැට්ටන් දන්නෙ ඊනියා දයලෙක්තිකය. ඔවුන් අඩු තරමෙන් හෙගල්ගෙ ලොජික් (Logic) පොත කියවල තියෙනව කියා මා දන්නේ නැහැ. කොහොම වෙතත් හෙගලුත් යල් පැනල ඇති.

 

පඬි නැට්ටාට හෙරක්ලිටස්ල ගැන කතා කරන්න අවශ්‍යතාවක් නොතිබෙන්න ඇති. ප්‍රශ්නයේ මුල කොතැන කියා මට ලියා එවා තිබුණේ නැහැ. කවුරු හරි ප්‍රංශ පඬියකු හා බුදුහාමුදුරුවන් සංසන්දනය කළා දන්නෙ නැහැ. අදහස් යල් පනින්නේ අදහස ප්‍රකාශ වූ දිනයත් සමග කියා පඬි නැට්ටා හිතනවා දන්නෙ නැහැ. අර සමහර භාණ්ඩ කල් ඉකුත් වෙන්නෙ. සමහරවිට හරක්ලිටස්ලා හිතනවා ඇති ඔවුන් කාගෙ හරි අදහස් ප්‍රකාශ කරන්නෙ වර්තමානයේ සකර්බර්ග් මගින් නිසා ඔවුන්ගෙ අදහස් නියමෙට යාවත්කාලීන කියා. අබුද්දස්ස කාලෙ ලබුත් තිත්තයි කිවුවලු. අර ඕස්ත්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ලබුෂේන්ගෙ පිති හරඹය නම් තිත්ත නැතුව ඇති.  

 

තවත් පඬි නැට්ටකු අහල තිබුණ මහින්ද තම පුතා බෞතීස්ම කළෙ නැත් කියලා. මා ඊයේ මුගලන් රජු තම පුතා කුමාර ධාතුසේන බෞතීස්ම කළේ නැති බව සඳහන් කළ නිසා. මුගලන් ක්‍රිස්තියානි කියන එක තේවත්ත පල්ලියෙ ගොංපාට් එකක් කියපු පඬි නැට්ටෙක් මා තවත් ගොංපාට් ලියන බවට පඬි නැටිපාට් කතාවක් කියා තිබුණා. මුගලන් තම පුතා නම් කර ඇත්තෙ තම පියාගෙ නමින්. ඒක හරියට පොඩි ධාතුසේන කියනවා වගේ. අදත් සිංහල බෞද්ධ සමාජයේ පොඩි නිමල් වගේ කතා තියෙනවා. නැහැ පොඩි අතුල ගැන නොවෙයි මා කියන්නෙ.

 

මුගලන් ක්‍රිස්තියානි කියන එක තේවත්ත පල්ලියෙන් පටන් ගත්තු එකක් නො වෙයි. කතාව සෙනරත් පරණවිතානගෙ. ඔහු මුගලන් ක්‍රිස්තියානි කියා හිතළුවක් ඉදිරිපත් කරලා. එයට සාක්‍ෂි නැහැ. ඒත් සමහරු එය පිළිගන්න කැමතියි. අප කරන්නේ හිතළුව සමග පරස්පර වන කතා කීම පමණයි. මුගලන් ඉන්දියාවෙ අවුරුදු දහඅටක් හිටියෙ එහෙමත් නැත්නම්  ඉන්න වුණෙ කාශ්‍යප රටේ ජනප්‍රිය වූ නිසා වෙන්න ඕන. කාශ්‍යපගෙ මව ක්‍ෂත්‍රිය නො වෙයි. ප්‍රශ්නය ඇත්තෙ එතැනයි. සාලිය කුමරුට රාජ්‍යය නොලැබුණෙත් අශෝකමාලා ක්‍ෂත්‍රිය නොවූ නිසා නොව මව ක්‍ෂත්‍රිය නොවූ නිසා. ගැමුණු කුමරුට  ක්‍ෂත්‍රිය නොවන බිරියක් සිටිය දී රජ වෙන්න පුළුවන්කම තිබුණා. මවගේ ක්‍ෂත්‍රිය නොවන බව සීතාවක රාජසිංහටත් බලපාන්න ඇති. කාශ්‍යප හා රාජසිංහ සාලියට වඩා යුද්ධ දක්‍ෂයන්. ඔවුන් කෙසේ නමුත් බලයෙන් රජ වුණා. ඔවුන් පීතෘ ඝාතකයන් ලෙස නම් කෙරුණා.

 

මුගලන් මහා විහාරික භික්‍ෂූන් වහන්සේ විසින් පිළිගැණුනා. කාශ්‍යප පිළිගණුනේ ඉසුරුමුනියේ හා වෙස්සගිරියේ භික්‍ෂූන් වහන්සේ විසින්. මුගලන් ක්‍රිස්තියානි වුණා නම් මහාවිහාරික භික්‍ෂූන් වහන්සේ විසින් පිළිගැනෙන එකක් නැහැ. අනෙක් අතට ඔහු ක්‍රිස්තියානි වුණා නම් පුතා සාමාන්‍ය ක්‍රමය අනුව  බෞතීස්ම නොකර ඉන්න එකක් නැහැ. පොඩි ධාතුසේන කියා බෞද්ධ නමක් තියන එකකුත් නැහැ. පොඩි ධාතුසේනත් බෞද්ධ රජෙක්.

 

දැන් මහින්ද සමග මෙය සසඳන්නේ කොහොම ? මහින්ද තම පුතුන් බෞතීස්ම කළා නැද්ද කියන්න මා දන්නේ නැහැ. ගැන දන්නේ විශ්ව කීර්තියට පත් හරක්ලිටස්ලා. අප දන්නා දෙයක් තියෙනවා. ශිරන්ති රාජපක්‍ෂ කතෝලික හරි ක්‍රිස්තියානි හරි. ඇගේ බලපෑමට මහින්ද පුතාල බෞතීස්ම කළා කියන එකත් මා දන්නේ නැහැ. එසේ වූවා නම් මුගලන් සමග මෙය සැසඳීය හැක්කේ මුගලන්ගේ භාර්යාව බෞද්ධ වූ නිසා ක්‍රිස්තියානි වූ මුගලන් තම පුතා බෞද්ධයකු ලෙස වැඩෙන්න සැලැස් වූ බව කියා. එහෙත් සැසඳීමත් හරි නැහැ.

 

මහින්ද හා ශිරන්ති ඉපදී ඇත්තේ පිළිවෙළින් බෞද්ධ හා කතෝලික/ක්‍රිස්තියානි පවුල්වල. මහින්ද බෞද්ධ නොවන පවුලක ඉපදී පසුව බෞද්ධ වුණේ නැහැ. මුගලන් ඔය කියන විධියට නම් බෞද්ධ පවුලක ඉපදී පසුව ක්‍රිස්තියානි වී තිබෙනවා. එසේ වූවා නම් මුගලන් ඉන්දියාවේ දී ක්‍රිස්තියානි වී නම් බිසොව  ක්‍රිස්තියානි නොවූයේ ඇයි? මෙහි දී ක්‍රිස්තියානි මුගලන් කෙනකු බෞද්ධ කුමරියක් සරණපාවා ගත්තා නො වේ.

 

පඬි නැටි හරක්ලිටස්ලා යමක එක් කුඩා කොටසක් පමණක් අල්ලා ගෙන තම ඊනියා පාන්ඩිත්‍යය පෙනනන්න හදනවා. මට මතක් වෙන්නෙ කණකොක් සුද පෙනෙන්නෙ ඉගිලෙන විට කතාව.