Main Logo

Thursday 7 December 2023

ඇරිස්ටෝටල් හා උපාසකම්මලා

 

ඇරිස්ටෝටල් හා උපාසකම්මලා

 

මා සනීප ගන්නා ආයතනයේ නිතර බණ අහන්න ලැබෙනවා. මේ ලිපිය ලියන්නෙත් බණ අහමින්. වැඩ දෙකක් එක සැරේ කරන්න  පුළුවන් කියා අහන්න එපා. අප කරන්නේ විටින් විට එක් වැඩකින් අනෙක් වැඩයට මාරු වීම. වැඩවල ඇති රටා අනුව වැඩ දෙක එකවර නූණත් එකවර කරන්න පුළුවන්. 

 

ඊයේ එක් හාමුදුරුනමක් දේශනා කළා ශ්‍රද්ධාව ගැන. අද බොහෝ දෙනාට ශ්‍රද්ධාව නැහැ කියන එකයි උන්වහන්සේගෙන් කියැවුණෙ. මා මෙහි සඳහන් කරන්නේ උන්වහන්සේ දේශනා කළ දේ නොවෙයි. දහම් දෙසුම මගේ කරගත් විට කියැවෙන දේ. මෙහි සඳහන් දේට වග කියන්නේ මා හා මා පමණක්.

 

කිසිවකු අහන්න පුළුවන් අප බුද්ධ පූජාව තබන්නේ ඇයි කියා. බුදුහාමුදුරුවන් වළඳන්නේ නැහැ. එසේ නම් ආහාර අපතේ යැවීමක්.   ආහාර දුගී දුප්පතකුට දුන්නා නම් ඊට වඩා හොඳයි. අඩු තරමෙන් මනුස්සයාගේ බඩ ගින්නවත් නිවෙනවා කියා කියන්න පුළුවන්. එය හුදු තර්කයක් පමණයි. තර්කයෙහි පදනම අප ආහාර පූජා කරන්නේ ශාරීරික වැළඳීමට යන්නයි. උපාසකම්මලා ඊට වඩ දන්නවා. 

 

එසේ තර්ක කරන කී දෙනකු දුගී දුප්පතුන්ට කන්න බොන්න දෙනවා ? බුද්ධිමත් තාර්කිකයන් බුද්ධ පූජා තියෙන්නෙත් නැහැ, දුගියකුට ආහාර වේලක් දෙන්නෙත් නැහැ. ඔවුන් ක්‍රමය වෙනස් කරන්න බලපොරොත්තුවෙන් කටමැත දොඩවනවා. අර සිස්ටම් චේන්ජ් කාරයන් මතක ? දැන් සිස්ටම් චේන්ජ් වෙලා. අප නැවතත් බටහිර (හා ඉන්දියාවේ) අතකොළුවක් වෙලා. සිස්ටම් චේන්ජ් දූලා පුතාලවත් මෙහෙයවනු ලැබුයේ බටහිරින්.

 

අප බුදුහාමුදුරුවන්ට යමක් පූජා කරන්නේ සැදැහැ සිතින්. බුදුහාමුදුරුවන් පිරිනිවන් පා අවුරුදු දෙදහස් පන්සීයකට වැඩි බව අප දන්නවා. එහෙත් අපට උන්වහන්සේ ගැන ඇත්තේ ශ්‍රද්ධාවක්. ශ්‍රද්ධාව නිසා අප ආහාර වේලක් පූජා කරනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බෝධි පූජාවක් කරනවා වෙන්න පුළුවන්. පිළිම වහන්සේ නමක් තනනවා වෙන්න පුළුවන්. මහා සෑයක් ගොඩ නගනවා වෙන්න පුළුවන්.

 

පෙර කතාවක් තිබුණා කොල්වින් ආර් සිල්වා රුවන්වැලි සෑය ගඩොල් ගොඩක් පමණයි කී බවට. මා හිතන්නේ නැහැ ඔහු එවැනි කතාවක් කීවා කියා. ඔහු සමසමාජ පක්‍ෂයේ ඉන්න විට බෞද්ධයෙක් නො වෙන්න ඇති. එහෙත් ඔහු පෞද්ගලික බෞද්ධයෙක්. විජය වික්‍රමරත්න (පොල් වික්කා) මට කියා ඇති කරුණක් නම් තමා කොල්වින් ආර් සිල්වා සමග දකුණට යන විට කොල්වින් කළුතර බෝ සමිඳුන් අසළ රථය නවත්වා වැඳ පුදා ගිය බව.

 

සෑයක් කියන්නෙ ගඩොල් ගොඩක් බව ඇත්ත (සම්මුති අර්ථයෙන්). එහෙත් හැම ගඩොල් ගොඩක් සෑයක් වෙන්නෙ නැහැ. මිනිසුන් විරුවන් වෙනුවෙන් පිළිම තනනවා. විරුවන් කියන්නෙත් සාපේක්‍ෂ සංකල්පයක්. මගේ විරුවන් ඔබේ විරුවන් නොවෙයි. නන්දා මාලිනී පිළිම නෙළා නැති විරුවන් ගැන කෑ ගැහුවත් ඊනියා විරුවන් අද සමාජයේ විරුවන් නොවෙයි. අර සිස්ටම් චේන්ජ් කාරයන් බැරි වෙලාවත් වෙනත් සමාජයක් ඇති කළහොත්  (මේ සම්ම ජාතියේ එසේ වන්නේ නැහැ) නන්දා මාලිනීට ගීීය නවත්වන්න පුළුවන්. කෙසේ නමුත් ඇය බුද්ධිමත්. ඇය මේ සිංහල අපගෙ රටයි ගීතය සංශෝධනය කරලා. ඇරත් ඇය පරගලයේ ගී රැජන වුණා. රනිල් පරගලයේ දරුවා වුණා.

 

අප සෑයක් හැදුව වසර දහසක් තිස්සේ මිනිසුන් වැඳ පුදා ගන්නවා. ඔවුන්ගේ සැදැහැ සිතින්. සෑයේ බුදුහාමදුරුවන්ගෙ ධාතුන් වහන්සේ නිධාන් කර ඇත් නැත් යන්න ප්‍රශ්නයක් නො වෙයි. සැදැහැ සිතක් පඬි සිතක් වෙන්නෙ නැහැ. පඬියකුට විශේෂයෙන් පඬි නැට්ටකුට බුදුහාමුදුරුවන් ගැන  සැදැහැ සිතක් ඇති වෙන්නෙ නැහැ. සැදැහැ සිතක් ඇත්තකුට පමණයි නිවන සම්මාබෝධ කර ගත හැක්කේ. මට සැදැහැ සිතක් තියෙනවා. එහෙත මට ව්‍යාපාදයත් තියෙනවා. මට නිවන බොහෝ ඈතයි.

 

ධර්ම දේශනය අවසන් වීගෙන යනවා. බණ නිවන් මග පිළිබඳ ඕඝ සූත්‍රය ඇසුරෙන්. සුත්‍රය මත පදනම් වෙලා නො වෙයි. බණ පිළිබඳ මට ප්‍රශ්න තියෙනවා. ධර්මදේශකයාණන් වහන්සේ තරමක් තාර්කික වුණා කියා මට හිතුණා.

 

උන්වහන්සේ කෙසේ වෙතත් පඬි නැට්ටන් නම් අති විශිෂ්ට තාර්කිකයන්. එහෙත් කාළාම සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ තර්කානුකූල වූ නිසා න්‍යායාත්මක වූ නිසා පිළිගන්න එපා කියා. මා දන්නවා එය පඬි නැට්ටන්ට අදාළ නැති බව. ඔවුන් බෞද්ධයන් නො වෙයි. ඔවුන් බුදුහාමුදුරුවන්ගෙ වැරදි හොයනවා. ඔවුන් පුනබ්භවයක් විශ්වාස නොකළත් සසර පුරා හොයන්න වේවි. 

 

පඬි නැට්ටන් තර්කය විශ්වාස කරනවා. එය භක්තියෙන් කෙරෙන්නක්. ඔවුන් තර්කය හදාරලා නැහැ. තර්කයේ මූලික වැරදි තුනක් තියෙනවා. එකක් එය ඇරිස්ටෝටලීය න්‍යාය මත පදනම් වීම. ලොවෙහි ඇත්තේ ඇරිස්ටෝටලීය ද්විකෝටික රේඛීය න්‍යාය පමණක් නො වෙයි. දෙවැන්න තර්කයෙහි මුල ඊනියා සත්‍යයක් නැද්ද කියා නොදන්නාකම. මුලට අහම්බයක් කිවුවා කියා වෙනසක් නැහැ. රේඛීය න්‍යායෙහි දුර්වලකමක්. තුන්වැන්න තර්කයෙහි යොදා ගන්නා අනුමිත නියම ඔවුන්ට අනුව තාර්කික ලබාගත් දේ නොවීම. නියම හුදු උද්ගමන පමණයි.

 

තෙරුවන් සරණින් මා තාර්කියකු නො වෙයි. මට ඇරිස්ටෝටල් ගැන කිසිම පැහැදීමක් නැහැ. ඔහුගේ නමින් ඇති න්‍යාය නිසා තමයි අද ලෝකය එක අවුලක් වෙලා තියෙන්නෙ. මුල ඇත්ත කියා දන්නෙ නැති තැනකින් පටන් අරන ඊනියා ඇත්ත නිගමනය කරන්න හදනවා. ඇරිස්ටෝටල්ගෙන් තරම් හානියක් බුද්ධපූජාව තියන උපාසම්මාකෙනකුගෙන් වෙන්නෙ නැහැ.