Main Logo

Tuesday 19 November 2019

රුවන්වැලි සෑය සම්බන්ධවයි

    සිංහල ලිත් ඉලක්කම්


රුවන්වැලි සෑය සම්බන්ධවයි

ජනාධිපතිවරණ විශ්ලේෂණය ඉවර නැහැ. මා විශ්ලේෂණය කියන්නේ ගියවර ප්‍රතිඵල සමග සන්සන්දනය කිරීමට නො වෙයි. අදත් හෙටත් මා කතා කරන්නෙ ජනාධිපතිවරණයට අදාළ වෙනත් දේ ගැන. ඇතැම් ජාතිකවාදීනට මා තවමත් සිරිජාතිකවාදියෙක්. ඔවුන්ගේ මෛත්‍රිපාල වෛරී ඇස නිසා ඔවුන්ට නොපෙනෙන දේ බොහෝයි. 


සිරිසේනට ශක්තිය නොදී හිටියා නම් මෛත්‍රිපාල මහින්ද දිගට ම විරුද්ධ ව සිටියා නම් තවමත් ජනාධිපති මෛත්‍රිපාල අගමැති රනිල්. එහෙමත් නැත්නම් ජනාධිපති සජිත් අගමැති මෛත්‍රිපාල. ඒක එහෙම වෙන්නේ කොහොමද කියල අහන්න එපා. ඇහුවත් මා වෛරීන්ට තේරුම් කරල දෙන්නෙ නැහැ. මා මෛත්‍රිපාලට ශක්තිය නොදෙන තැනක හිටියා නම් වෛරීන්වත් පාලනය වන්නේ මහාරාජාලාගේ සිරසෙන්. අද යන්තම් දෙරණ මත පයගහන්න පුළුවන් වෙලා තියෙන්නේ සිරිජාතිකවාදය නිසා බව වෛරීන්ට තේරුම් ගන්න වුවමනාවක් නැහැ. 

අද ගෝඨාභයට නව ඇමති මඬුල්ලක් පත් කිරීමට අවහිර කරන්නේ කවු ද? 2015 දී මහින්ද හා ඇමති මඬුල්ල රනිල්ට අගමැති වීමට ඉඩ දී ඉවත් වූ අන්දමට රනිල් හා ඇමතිවරු ඉවත් නොවන්නේ ඇයි? මරික්කාර්ලා කාගේ කවු ද? පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනතාව ජනාධිපතිවරණය  මගින් තීරණය කර ඇති බව මතක් කරන්න ඕන. ගෝඨාභයගේ ජනාධිපතිවරණ ප්‍රකාශය කියවන්න. 

ඊයේ රුවන්වැලි සෑයෙ මළුවෙ ගැමුණු රජුගේ පිළිමය අබියස ගෝඨාභය දිවුරුම් දුන්න. ඒක අති විශිෂ්ට සිදු වීමක්. ගෝඨාභය ඒ අවස්ථාවෙ කළ කතාව ඉතිහාසයෙ විශිෂ්ට කතා අතරට එක් වෙන්න ඕන. ඔහු 1815න් පසු සිංහලයන් වෙනුවෙන් අභීතව පෙනී සිටි රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසගත වෙන්න ඕන. 

ඒ්ත් පඬියන් එහි සිදු වූ  සිද්ධියක් අරගෙන මහා මානව හිතවාදීන් වෙන්න හදනවා. තමන්ගෙ ඊනියා විවෘත මනස පෙන්නන්න හදනවා. මේ පඬියන් කරන්නෙ තමන්ගෙ වැඩ පෙන්නන්න හදන එක පමණයි. එහෙත් පෙන්නන්න තරම් දෙයක් නැහැ. ඒ සිද්ධිය තමයි අර එ ජා ප මැති ඇමති පිරිසකට හූ කීම. හූ කියන එක නරක වැඩක්. ඒත් අප හූ කියන්න පටන් ගත්තෙ කවද ද? ගැමුණු රජුගෙ කාලෙත් හූ කිව්ව ද?

ඊයේ උත්සවය එතරම් හොඳින් සංවිධානය කරල තිබුණෙ නැහැ. ඇතැම් මැති ඇමතිවරුන්ට හිටගෙන ඉන්න වුනා. ඒක නම් හොඳ වැඩක්. මැති ඇමතිවරුන් හැම තැන ම කියන්නෙ තමන් ජනතා සේවකයන් කියල. ඒ නිසා ජනතාව ඉඳගෙන ඉන්න විට මැති ඇමතිවරුන් හිටගෙන ඉන්න එකෙ වරදක් නැහැ. ඒත් ඒක හිතල කරපු දෙයක් වෙන්න බැහැ. ඒ කොහොම වුනත් ඉඳ හිට හරි ජනතාව මැති ඇමතිවරුන්ට ඉහළින් ඉන්න එක හොඳයි. 

ඊයේ ගෝඨාභයගෙ කතාවට මිනිසුන් අත්පුඩි ගැහුව. ඒ ගැන නම් පඬියන් කතා කරල තිබුණ බවක් මා දන්නෙ නැහැ. රුවන්වැලි සෑයෙ හරි වෙනත් බෞද්ධ සිද්ධස්ථානයක දි හරි මිනිසුන් එහෙම අත්පුඩි ගහන්නෙ නැහැ. කළ යුතුව තිබුණෙ සාධුකාර දීමයි. සංවිධායකයන්ටත් ඒ ගැන කල්පනාවක් තිබිල නැහැ. එහෙත් නිවේදකයන් කලින් මතක් කරල තිබුණ නම් අත්පුඩි ගහන්න එපා කියල ඒ හොඳක් වෙන්න තිබුණා. ගෝඨාභයගෙ ආරක්‍ෂාව ගැනත් සැලකිලිමත් වුනා නම් හොඳයි. මා සංවිධායකයන්ට දොස් පවරනව නෙවෙයි. ඔවුන් එකා රැයකින් උත්සවය සංවිධානය කරල තිබුණෙ. ඒ කළ ටිකට ඔවුන්ට පිං දෙන්න ඕන.

මේ හූ කීම හා අත්පුඩි ගැහීම දෙක ම වැරදියි. ඒකෙන් පැහැදිලි වන්නෙ එක ම එක දෙයයි. අද සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් තම සංස්කෘතියෙන් කොතරම් ඈත් වෙලා ද කියන එක. ගෝඨාභය දිවුරුම් දීම සඳහා සුදූුසු ම තැන තෝරා ගෙන. එක් පඬිනියක් කියල තිබුණ බෞද්ධ සිද්ධස්ථානයක් තෝරා ගන්නෙ නැතිව ඊනියා "න්‍යුට්‍රල්" තැනක් තෝරා ගන්න තිබුණ කියල. ඇය එක්සත් රාජ්‍යවල ජනාධිපති දිවුරුම් දෙන්නෙ වොෂිංටන්හි කැපිටල් හිල් නමින් හැඳින්වෙන තැන කියලත් තිබුණ. ඒත් එහි ජනාධිපති දිවුරුම් දෙන්නෙ බයිබලය මත අත තබාගෙන බව ඇයට අමතක වෙලා.

අනෙක් අතට ඊනියා න්‍යුට්‍රල්  තැන් ලෝකයෙ ඔය මිනිසුන් නිර්මාණය කළ ගොඩනැගිලිවල, ඒ අසල නැහැ. කිසිම මිනිස් නිර්මාණයක් න්‍යුට්‍රල් නැහැ. ඒ සෑම නිර්මාණයක් ම බිහි වන්නෙ යම් සංස්කෘතියක. මෙරට ජනාධිපති කාර්යාලය පිහිටල තියෙන පරණ පාර්ලිමේන්තුව න්‍යුට්‍රල් ද? ඒකෙ තියෙන්නෙ මොන ගොඩනැගිලි සම්ප්‍රදායක් ද? පඬිනියන්ට යටත්විජිතවාදී ගොඩනැගිලි න්‍යුට්‍රල්. රුවන්වැලි සෑය න්‍යුට්‍රල් නැහැ. මොවුන්ගෙ බටහිර ගැති මනස ගැන මොනව කියන්න ද?   

අප දන්න විධියට පාණදුරා වාදය ඉවර වෙලා මිනිසුන් අර විරුද්ධවාදීන්ට හූ කියල නැහැ. ඔවුන් සාධුකාර දීල තියෙනවා. සාධුකාර දීමෙන් හූ කීමට අප ගියේ කවදා ද? බටහිර රටවල මිනිසුන් තමන්ට රුචි නොවූ දේට සමහර විට බූ කියනවා. අපට හූව ලැබුණේ බටහිරයන්ගෙ බූවෙන් ද? 

අප සිංහල බෞද්ධ සංස්කෘතියෙ නම් හූ කියන්නෙ නැහැ. රුවන්වැලියෙදි අත්පුඩි ගහන්නෙත් නැහැ. අප සිංහල බෞද්ධ වුනත් බොහෝ විට ඉන්නෙ වෙනත් සංස්කෘතියක. ඒ අධ්‍යාපනය හා දැන් ජනමාධ්‍ය නිසා වෙන දේ. බටහිරයන් ජනමාධ්‍ය හා අධ්‍යාපනය  යොදා ගෙන අප සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඈත් කරල ඔවුන්ගෙ දාස පඬියන් ලවා අපේ වැරදි හැටියට ඇතැම් දේ පෙන්නනවා. මා කියන්නෙ නැහැ පඬියන්ට හූ කියන්න කියා.