Main Logo

Thursday 28 November 2019

ගෝඨාභය මෝදි හමුව

    සිංහල ලිත් ඉලක්කම්


ගෝඨාභය මෝදි හමුව



ජනාධිපති ගෝඨාභය අද රෑ ඉන්දියාව බලා පිටත්වෙනවා.  ඉන්දියාව හා චීනය අද ආසියාවෙ විතරක් නොවෙයි ලෝකෙ ම බලවත්තු. එතකොට ලංකාව. අපිත් බලවත්. මා හිතන්නේ අපට තිබෙන ලොකු ම ප්‍රශ්නයක් තමයි අප කුඩා රටක් කියල හිතීම. අප කුඩා කියා හිතන තාක් අප කුඩායි. අප අනුන් කියන දේ පමණක් කරන පිරිසක් හැටියට ඉන්න තාක් කිසිවකු අප  මායිම් කරන එකක් නැහැ. 


ටොලමිගේ සිතියමේ ලංකාව නිරූපණය වෙන්නෙ ලොකු රටක් හැටියට. ඒ අප ලොකුවට හිතපු නිසාත් ලොකු වැඩ කරපු නිසාත්. බටහිරයන් ලෝක සිතියම එක තලයකට ගත් විට (ප්‍රක්‍ෂේපණය කළ විට) ධ්‍රැවය ආසන්න රටවල් ලොකුවට පේනවා. නිරක්‍ෂය අසල රටවල් කුඩාවට පේනවා. නිවර්තන කලාපීය රටවලට අප කුඩා ය කියන හැඟීම එනවා.

දැන් ඉන්න උගතුන් කරන එක ම දේ බටහිර මතවාද නැවත කියන එක පමණයි. මෙරට විශ්වවිිද්‍යාලවලින් රටට අවශ්‍ය මතවාද බිහි කරන්නේ නැහැ. එහි ලබා දෙන දැනුම අද පරිගණකයෙන් ලබා ගන්න පුළුවන්. බන්දුල ඒ බව දන්නවා ඇති.  විශ්වවිද්‍යාලවලින් වැඩකට ඇති දෙයක් කෙරෙන්නේ අනාගත සහකරුවන් සහකාරියන් සොයා දීමෙන් පමණයි.

අද ලෝකය, එනම් පහළොස්වැනි සියවසෙන් පසු ඇරඹි ලෝකය, කඩා වැටෙමින් පවතිනවා. අද ඊනියා අධිරාජ්‍යවාදයක් නැහැ. බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තරවාදී සංස්ථාපනයක ආධිපත්‍යයක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා නිශ්චිත කාර්යාලයක් නැහැ. කාර්යාල හැම තැන ම තියෙනවා. මෙරට ඇති ඊනියා රාජ්‍ය නොවන සංවිධානත් ඒ සංස්ථාපනයේ කොටස්. ඒ සංවිධානවලට මුදල් ලැබෙන්නේ බටහිර රටවලින්. ඔය මැතිවරණ නිරීක්‍ෂකයන් කවුද? ඔවුන්ට මුදල් ගෙවන්නේ කවුද? අපේ ම රටේ ඇති විවිධ මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන වැඩ කරන්නේ කාගේ මුදලින් ද? ඔවුන් පෙනී සිටින්නේ කාගේ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් ද? 

බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තරවාදී සංස්ථාපනයට එරෙහි ව වැඩ කිරීමට මාක්ස්වාදයට බැහැ. මාක්ස්වාදය යනු කොන්ද කැඩුණු ජාත්‍යන්තරවාදයක ප්‍රකාශයක් පමණයි. එහි නායකයන්ට ආණ්ඩුකාර පදවි හැරෙන්න වෙනත් පදවියක් දෙන්න බැහැ. ජාත්‍යන්තරවාදී ආධිපත්‍යයට එරෙහිව ක්‍රියා කළ හැක්කේ ජාතිකවාදවලට පමණයි. ට්‍රම්ප් මෙන් ම පුටින් ද ජාතිකවාදීන්. 

එංගලන්තය බ්‍රෙක්සිට් අර්බුදයක ගිලිලා.  කම්කරු පක්‍ෂය මිය යන සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක අබලන් ප්‍රකාශයක් පමණයි. පාලක කොන්සර්වෙටිව් පක්‍ෂයට ශක්තිමත් ජාතිකවාදී නායකයකු නැහැ. අගමැති ජොන්සන් ශක්තිමත් පුද්ගලයකු නො වෙයි. ඉදිරි මැතිවණයේ දී ජොන්සන්ට විශාල බහුතරයක් ලබා දීමෙන් පමණක් ඔහු ශක්තිමත් කළ හැකියි. එංගලන්තය එයට සූදානම් ද?

ඉන්දියාවෙ මෝදි  ශක්තිමත් ජාතිකවාදී නායකයෙක්. අපට ජාතිකත්ව මතවාද තියෙනවා. සමහර විට ඉන්දියාවට වඩා ශක්තිමත් මතවාද තියෙනවා. අපට නැතිව හිටියෙ ජාතිකවාදී නායකයෙක්. මහින්ද රාජපක්‍ෂ ජනතාවට ඇහුම්කන් දීමෙන් පමණක් ජාතිකවාදයට නැඹුරු වූවෙක්. එහෙත් ඔහු ජාතිකවාදියකු වූයේ නැහැ. ඔහු 2015 දී පරාජය වුණෙත් ජාතිකවාදී නොවන බැසිල් වැන්නන්ට සවන් දීමෙන්. 

මෙවර ගෝඨාභය ජය ගත්තේ ජාතිකවාදයට පැමිණීමෙන්. ඔහු බැසිල් කී දේ අනුව සිංහල ඡන්ද නොතකා අසිංහල ඡන්ද සොයා ගියා නම් පරදිනවා. ජනාධිපතිවරණයෙන් සජිත්ටත් වඩා පැරදුනේ බැසිල්. ගෝඨාභය බැසිල්ගේ බසට සවන් නොදිය යුතුයි. මාස කිහිපයකින් පැවැත්වෙන මැතිවරණයේ දී බැසිල්ගේ අපේක්‍ෂකයන් නොව ජාතිකවාදී අපේක්‍ෂකයන් ඉදිරිපත් කළ යුතුයි. ජනතාව හැකි තාක් ජාතිකවාදී අපේක්‍ෂකයන්ට මනාප දිය යුතුයි. බැසිල්ගේ හා ජී එල්ගේ විජාතික මතවාද තවදුරටත් පරාජය කළ යුතුයි. ජී එල් මා විශ්වවිද්‍යාලයෙන් අස් කෙළේ ජාතික චින්තනය උගන්වන්නේ යැයි කියමින්. එහෙත් ඔහු වෙනත් චෝදනා ඉදිරිපත් කිරීමට පරෙස්සම් වුනා. ඒ චෝදනා වලින් දෙකකින් හැරෙන්න අනෙක් ඒවායින් මා නිදහස් වුනා. උසස් අධ්‍යාපන ඇමති හමීඩ් බොරු කියන්නේ යැයි මා ප්‍රකාශ දෙකක් කළාය යන්න පමණයි අවසානයේ දී ඔප්පු වුනේ. මා එය අදත් කියනවා.

මා මේ සියල්ල කියන්නේ අපේ කඳවුරේ ජාතිකත්වය ශක්තිමත් කරන්නයි. කාට හරි පේන්න පුළුවන් මා කඳවුර අසමගි කරන්න හදනවා කියා. කඳවුර අසමගි කරන්නේ ශ්‍රී ල නි පක්‍ෂය ඉන් ඉවත් කිරීමට කැස කවන බැසිල් හා බැසිල්ගේ අනුගාමිකයන් පමණයි.  පොළොන්නරුවේ ඡන්ද ප්‍රතිශතය අඩු වනේ එහි සංවිධායකයන් ශ්‍රී ල නි පක්‍ෂය රැස්වීම්වලින් ඈත් කර තැබීම නිසා. 

ගෝඨාභය ඉන්දියාවට යා යුත්තේ කුඩා රටක ජනාධිපති කෙනකු ලෙස නොව ජාතිකවාදී අගමැතිවරයකු හමුවීමට යන ජාතිකවාදී ශක්තිමත් ජනාධිපතිවරයකු ලෙස. අපට ඉන්දියාව සමග ඥාති සම්බන්ධයක් තියෙනවා. ඒත් අපට අපේ ම වූ අනන්‍යතාවක් ද තියෙනවා. අපේ ඉතිහාසය අනවශ්‍ය විධියට උතුරු ඉන්දියාවට (භාරතයට) හා ආර්ය සංස්කෘතියට යට කරලා. මතක තබා ගන්න බුදුදහම බිහි වී ඇත්තේ අනාර්ය සංස්කෘතියක බව. අපට තවමත් ඉන්දියාවෙනුත් නිදහස් වෙන්න බැරි වෙලා. අපට ඉන්දියාව සමග ඥාති සම්බන්ධයක් ඇති (ලොකු අයියා පොඩි මල්ලී නොවෙයි, එක මට්ටමේ ඥාතින්) නමුත් අප ස්වෛරී රාජ්‍යයක්.  

ගෝඨාභයටත් ඔහු සමග යන කණ්ඩායමටත් සුබ පතනවා. අපි අපේ ස්වෛරිභාවය රැක ගෙන ජාතිකත්ව මතවාද සමග එකතු වෙමු.