Main Logo

Friday 29 November 2019

ස්විස් හුටපටේ

                  සිංහල ලිත් ඉලක්කම්





ස්විස්  හුටපටේ



මේ කෙටි ලිපිය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් ඊනියා පැහැර ගැනීමකට ලක් වීම සම්බන්ධවයි. මෙරට බටහිර තානාපති කාර්යාලවල සේවය කරන්නන්ගේ දෙමළ අනුපාතය ලංකාවේ ජනගහනයේ දෙමළ අනුපාතයට වැඩි යැයි මා විශ්වාස කරනවා. එබැවින් අදාළ කාන්තාව දෙමළ ද යන සැකය මතුවෙනවා. මෙය තාවකාලික පැහැර ගැනීමක්. පැය දෙකක් පමණ කාලයකට පැහැර ගෙන තියෙන්නෙ.




පැහැර ගැනීම සිදු වෙලා තියෙන්නෙ මහා දවල්. සුදු වෑන් එකකින් කියනවා. වෙලාව හරියට ම පැහැදිලි නැහැ. තානාපති කාර්යාලය පිහිටල තියෙන්නෙ ඩී එස් සේනානායක විදුහල අසළ. එතැනට සිසුන් ගෙන යෑමට බැස්සීමට සුදු වෑන් එනවා. මේ කාන්තාව සුදු වෑන් හොඳට දන්නවා ඇති.



ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය කියා ඇත්තේ පැහැර ගැනීමක් සිදු වූ බව පමණයි. පසුව එයට ආරළු බීරළු එකතු වී තියෙන බව පැහැදිලියි. ඒ කොහොම වුනත් තානාපති කාර්යාලය ඊයේ (විසිඅට වැනි දා) වන තුරු පැමිණිල්ලක් කර නැහැ. ඒ කාන්තාවත් පැමිණිල්ලක් කර නැහැ.



ආණ්ඩුව පැමිණිල්ලක් ඇතත් නැතත් මේ ගැන විධිමත් පරීක්‍ෂණයක් කළ යුතුයි. මේ පැහැර ගැනීම සමග ඇතැම් නාම පුවරුවල දෙමළ අකුරු මකා දැමීමක් ද සිදු වී තිබෙනවා.



අකිල විරාජ් කාරියවසම් ජාත්‍යන්තර සම්බන්ධකම් ගැන දොඩවනවා. ඔහු කියන්නේ ආණ්ඩුව දැනටමත් ජාත්‍යන්තර සම්බන්ධකම් පිළිබඳ ව අසාර්ථක වී ඇති බවයි.



බටහිර රටවල්වත් ඉන්දියාවවත් මේ ආණ්ඩුවට කැමති නැහැ. ඊයේ දිල්ලියේ දී ගෝඨාභයට ලැබී ඇති සැලකිල්ල ප්‍රමාණවත් නැහැ. මෝදි ලංකාවට පැමිණි විට දුන් සැලකිල්ල සමග සන්සන්දනය කරන්න. බටහිර රටවල් හා  ඉන්දියාවට අවශ්‍ය වුනෙ සජිත් බලයට ගෙන ඒමට. අද වන විට මැතිවරණ කොමිසමේ හූල් සිංහල බෞද්ධ විරෝධී වෙබ් අඩවිවලට මැතිවරණ නිලධාරීන් සජිත්ට විරුද්ධ වූ බවට චෝදනා කරනවා.



සජිත් පැරදවීමට රනිල්ට අවශ්‍යතාවක් තිබුණ නමුත් ජනාධිපතිවරණ ව්‍යාපාරය අතරතුර විදේශීය බලවේග තීරණය කළා සජිත්ට සහාය දෙන්න. දෙමළ ජාතික සංධානය තම ස්ථාවරය වෙනස් කර සජිත්ට සහාය දුන්නේ ඉන් පසුවයි. මා කලින් ලියා ඇති ලිපි කියවන්න. ඔවුන් මුල දී තීරණය කර තිබුණේ  ඡන්දය දීමෙන් වැළකීමටයි. වැඩි කල් නොගොස් ජනාධිපතිවරණ ප්‍රතිඵලය ප්‍රශ්න කෙරේවි.



බටහිර රටවල් හා ඉන්දියාව කටයුතු කරනු ඇත්තේ හැකි නම් මේ ආණ්ඩුව වැට්ටවීමටයි. ස්විස් පැහැර ගැනීම කවුරුන් කළත් එය ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමේ වැයමක්. මේ සිද්ධිය ඒඩ්‍රීයන් නිශාන්ත ද සිල්වා කන්දප්පා සිය පවුලත් සමග ස්විට්සර්ලන්තයට පැන යෑමට පසුව සිදු වීම ම  අපූරුයි. ඔහුට හා පවුලට ස්විට්ස්ර්ලන්තයේ ඊනියා දේශපාලන රැකවල් ලැබෙනවා ද?



අපට සටන් කිරීමට සිදු වත ඇත්තේ බලවතුන් සමග. අපේ සමගිය අත්‍යවශ්‍ය වන්නේ එවැනි වටපිටාවක. ලබන මැතිවරණයේ දී හැකි නම් පුටුව පැරදවීමට බලවතුන් ක්‍රියා කරනු ඇති. පුටුවෙන් හැරෙන්න පොහොට්ටුවෙන් ඉල්ලුවොත් ජය ගන්න බැහැ. ඒ බව අද ශ්‍රී ල නි පක්‍ෂය නැතිව තනිව ම යෑමට අදහස් කරන උද්ධච්ඡයන්ට තේරෙන එකක් නැහැ.



අපි පුටුවෙන් තරග කර හැකිතාක් ජාතිකවාදී මතධාරීන් දිනවා තුනෙන් දෙකක බහුතරයක් ලබා ගෙන මේ විදේශීය බලවතුන්ට පාඩමක් උගන්නමු. අප තනි යැයි හිතන්න එපා. ඊනියා ජාත්‍යන්තරය යනු බටහිර රටවල් හා ඉන්දියාව පමණක් නො වේ. අද සමහර විට මෝදි අප මෝඩ කිරීමට ප්‍රකාශයක් නිකුත් කරාවි. ඒ ගණන් ගන්න එපා.