Main Logo

Monday 4 November 2019

ගිවිසුම හා වෙල්ලාල නායකයන් පරාද කරමු

    සිංහල ලිත් ඉලක්කම්


ගිවිසුම හා වෙල්ලාල නායකයන් පරාද කරමු



බලාපොරොත්තු වූ පරිදි ම ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය සජිත්ට ආධාර කිරීමට තීරණය කරලා. එහෙත් දෙමළ ජාතික සංධානය තවමත් එවැනි තීරණයක් අරගෙන නැහැ. ඒ සංධානයේ තවත් පක්‍ෂ හතරක් තියෙනවා. එයට අමතර ව විග්නේෂ්වරන්ගේ පක්‍ෂය තියෙනවා. ශිවාජිලිංගම් දැන් ටෙලෝ සංවිධානයෙනුත් අස් වී වෙන ම ජනාධිපතිධුරාපේක්‍ෂකයකු වෙලා. 


දෙමළ වෙල්ලාල පක්‍ෂ මුලින් හිතාගෙන හිටියේ ජනාධිපතිවරණයේ දී කිසිවකුට ඡන්දය නො දෙන්න.  සජිත්ටවත් ගෝඨාභයටවත් ඡන්දය නොදෙන්නයි ඔවුන් හිටියේ. බටහිර රටවල සිටින විසුරුණු දෙමළ කතා කරන ජනයාට අවශ්‍ය වූයේ එයයි. ශිවාජිලිංගම් ඉදිරිපත් වුණෙත් ඔවුන් වෙනුවෙන්. දෙමළ ජාතික සංධානය ඉල්ලීම් දහතුන ඉදිරිපත් කෙළේත් ඒවාට කිසිවකු එකඟ නොවන බැවින් එය හේතුවක් ලෙස සලකා ඡන්දය දීමෙන් වැළකී ඉන්න. එහෙත් දැන් ඉන්දියාව තීරණය කරලා තියෙනවා තරමක් ප්‍රමාද වී නමුත් සජිත්ට ආධාර කරන්න. 

ඉන්දියාව හා බටහිරයන්ට අවශ්‍ය සජිත් දිනවන්න. රනිල්ටත් අකමැත්තෙන් නමුත් තම ස්වාමීන් කියන අන්දමට වැඩ කරන්න සිද්ධ වෙලා. සුමන්තිරන්ට හා සම්බන්ධන්ට සිදු වී ඇත්තේත් එයයි. ඔවුන් දෙමළ රාජ්‍ය පක්‍ෂයේ හදිසි රැස්වීමක් ඊයේ වවුනියාවේ කැඳවා සජිත්ට ආධාර කිරීමට තීරණය කර ඇත්තේ එබැවිනුයි. එහෙත් ශිවාජිලිංගම්වත් ඇතැම් විසිරුණු දෙමළ කතා කරන ජනයාවත් එයට කැමති වන්නේ නැහැ. දෙමළ ජාතික සංධානයේ අනෙක් පක්‍ෂ කීයක් සුමන්තිරන් සමග එකඟ වේවි ද? අද වන විට දෙමළ ජාතිවාදය කැඩී වෙන්වෙමින් දුර්වල වෙනවා. අපට දැන් දෙමළ ජාතිවාදය මුලිනුපුටා දාන්න පුළුවන්.

සුමන්තිරන් දැන් කියන්නේ ඔවුන් සජිත්ට ආධාර කරන්නේ ඉල්ලීම් දහතුන මත පදනම් ව නොවෙයි කියා. එය එසේ වන්නට පුළුවන්. ඉල්ලීම් දහතුන කොහොමටවත් නොකෙරෙන වැඩක්. සුමන්තිරන්ලා සජිත්ට ආධාර කරන්නේ ගෝඨාභයට විරුද්ධ ව. එය ඔවුන්ගේ අතීතය හා සම්බන්ධයි. බටහිරයන්ගේ හා ඉන්දියාවේ අවශ්‍යතා අනුවයි. සජිත් මගින් අඩුම තරමෙන් පොලිස් බලතල හා ඉඩම් බලතල ලබා ගන්න පුළුවන්. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමෙන් මූලික වශයෙන් වෙන්නේ කොළඹ හා ත්‍රිකුණාමලය අතර තීරුවක් වෙන් කර ඉඩම් සිංහලයන්ට අහිමි කිරීමක්. ලංකා පොලීසිය (හා හමුදාව) උතුරේ අක්‍රීය කිරීමත්. අවසානයේ රට බෙදීමත්.  

ගිවිසුම වෙන කිිසිවකටත් වඩා රට බෙදීමට කරන උප්පරවැට්ටියක්. ගිිවිසුම අත්සන් කිරීම අති භයානයකයි. එහෙත් අවාසනාවකට පොදු ජන පෙරමුණවත් ශ්‍රී ල නි පක්‍ෂයවත් ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරේ වෙනත් පක්‍ෂයක්වත් ගිවිසුම අත්සන් කළත් තමන් එය අහෝසි කරන බවක් කියන්නේ නැහැ. එය නිල වශයෙන් ප්‍රකාශ විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පදනම අප සකස් කර තියෙනවා. ගිවිසුම අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරණය ජනමත විචාරණයක් ලෙස යොදා ගැනීම එකක්. අනෙක ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු තිබෙන්නේ භාරකාර ආණ්ඩුවක් ය කියන තරකය. පසුගිය සතියේ ලිපි කියවන්න. පොදු ජන පෙරමුණේ හා ශ්‍රී ල නි පක්‍ෂයේ නායකයන්ට ඒ බව දන්වන්න. අපට අවාසනාවකට ජනමාධ්‍ය ආධාර කරන්නේ නැහැ. 

සුමන්තිරන්ලා දැන් කියන්නේ කුමක් වුවත් ඔවුන්ට සජිත්ට ආධාර කිරීමට බටහිරයන් හා ඉන්දියාව බල කරනවා. සිංහල ජනතාව මේ තත්වය හොඳින් තේරුම් ගත යුතුයි. දෙමළ වෙල්ලාලයන් බලගතු පිරිසක් සජිත්ට ආධාර කරන්නේත් මංගල සමරවීර වැනි සිංහල විරෝධීන් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම වෙනුවෙන් මෙතරම් ඕනෑකමකින් පෙනී සිටින්නේත් ඇයි ද යන්න වටහා ගත යුතුයි. මේ අනතුර අවබෝධ කරවීමට අපට මගක් නැහැ. දෙරණවත් මගේ මාධ්‍ය සාකච්ඡාවකට ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ නැහැ. ජාතික ව්‍යාපාරයේ ම ඇතැමුන් මගේ කතා ප්‍රචාරය කිරීම නවත්වනවා.    

ජනමාධ්‍ය හිතන්නේ මා අන්තවාදියකු බවයි. එහෙමත් නැත්නම් විද්‍යාවට විරුද්ධ දෙවියන් පසුපස යන මුග්ධ මිධ්‍යාමත පතුරවන්නකු බවයි. ඒ අතර ඉන්දිය රෝ ඔත්තුකරුවන් ඊනියා විශ්ලේෂකයන් ලෙස පෙනී ඉඳිමින් සිංහල දේශපාලනඥයන්ගේ සිත් අවුල් කරනවා. 

මේ ඊනියා විශ්ලේෂකයන්ට අනුව සිංහල ජනතාවගේ ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණය දිනන්න බැහැ. එහෙත් අප පෙන්නුම් කර දී ඇත්තේ සිංහල ජනතාවගේ ඡන්දවලින් 67%ක් ලබා ගන්න පුළුවන් නම් වෙන කිසිම ඡන්දයක් නැති වුවත් ජනාධිපතිවරණයක් ජය ගන්න පුළුවන් බවයි (අප වෙනත් ඡන්ද ප්‍රතික්‍ෂෙප කරන බවක් ඉන් කියැවෙන්නේ නැහැ). මිලේනියම් කෝපරේෂන් ගිවිසුම නැතිව ද සුමන්තිරන්ලා සජිත්ට ආධාර නොකර සිටිය දී ද ඇල්පිටිය ප්‍රාදේශීය සභාමැතිවරණයේ දී සිංහල ජනතාවගෙන් 70%ක් පමණ පොදු ජන පෙරමුණට හා ශ්‍රී ල නි පක්‍ෂයට ඡන්දය දුන්නා. 

දැන් මතු වී තියෙන තත්වයන් යටතේ ගිවිසුම අත්සන් කළත් එය අහෝසි කරන බවට හා කිසිම ආකාරයකින් සුමන්තිරන්ලාගේ කිසිම යෝජනාවකට එකඟ නොවන බවට  ප්‍රතිඥා දෙමින් සිංහල ජනතාවගෙන් 75%කට වැඩි ඡන්දයක් ලබා ගන්න පුළුවන්. ජනාධිපතිවරණය ජනමත විචාරණයක් ලෙස ද සලකමින් ඉක්මණින් ම මැතිවරණයක් පවත්වා තුනෙන් දෙකක බහුතරයක් ලබා ගන්නත් පුළුවන්. එහෙත් පොදු ජන පෙරමුණේ හා ශ්‍රී ල නි පක්‍ෂයේ නායකයන් ඒ සඳහා ඉදිරිපත් වෙන්න ඕන.