Main Logo

Sunday 24 November 2019

චන්ද්‍රප්‍රේමගේ වික්‍රමය හා සුමන්තිරන්

 සිංහල ලිත් ඉලක්කම්

චන්ද්‍රප්‍රේමගේ වික්‍රමය හා සුමන්තිරන්



කොළපාට සමාජය ලියූ සී ඒ චන්ද්‍රප්‍රේම අද ඉරිදා අයිලන්ඩ් පුවත්පතට හොඳ ලිපියක් ලියා තියෙනවා. ඔහු කියනවා ජනාධිපතිවරණ ප්‍රතිඵලය පීඩාවට පත් වූ සිංහල බහුතරයෙහි ප්‍රතික්‍රියාව කියා. සමාජයේ සිදුවන ප්‍රතික්‍රියාව නිව්ටන්ගේ තුන්වැනි නියමය සමග කිසිම සම්බන්ධයක් නැති බව මා දන්නවා. ඒත් මට මේ චන්ද්‍රප්‍රේම කියන ප්‍රතික්‍රියාව ගැන ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රතික්‍රියාව අහඹු සිද්ධියක් ද? අර ඇමරිකාවේ සංඝනායක වල්පොල පියනන්ද හාමුදුරුවන් කියනව වගේ රංජන්ට හා මංගලට සිංහල බෞද්ධයන් දැක් වූ ප්‍රතිචාරයක් ද? එහෙම නැත්නම් එ ජා ප ඊනියා යහපාලනයට දැක් වු ප්‍රතික්‍රියාවක් ද? සිංහලයන් පීඩාවට ලක් වූයේ 2015න් පසුව ද? 


මේ අතර පෘතුගාලයේ ඉන්න පඬියකු කියා තිබුණා 2015 මහින්ද පැරදුණේ සිරිසේනගේ බොරු නිසා කියලා. ඔහු භෞතික විද්‍යාව හැදෑරූ අයකු නිසා නිව්ටන්ගේ නියමය ගැන දන්නවා ඇති. එහෙත් මා නිකමට වගේ ඇහුවොත් සිරිසේන ගියේ ඇයි ද කියා අප අමාරු මාතෘකාවක සිරවෙනවා. මා ගෝඨාභයට පක්‍ෂයි. එහෙත් මා රාජපක්‍ෂවාදියකු නො වෙයි. 2015 දී මහින්ද පැරදුණෙ අසිංහල ඡන්ද නොලැබීම නිසා නොව සිංහල ඡන්ද නොලැබීම නිසයි. කොළඹ අවට කෝට්ටේ, මහරගම, කැස්බෑව ආදී බල ප්‍රදේශ හා ගම්පහ දිස්ත්‍රික්කය සලකා බැලීමෙන් පමණක් වුවත් ඒ තේරුම් ගත හැකියි.

2010 පමණ සිට මහින්ද සිංහලයන්, විශේෂයෙන් සිංහල බෞද්ධයන් නොසලකා හැරියා. සිංහලයන්ගේ හඬට කන් දුන්නේ නැහැ. ඔහු ඉන්දියාවට යට වුනා. සිංහලයන්ගේ අයිතිවාසිකම් නැති වුණේ 2015න් පසුව පමණක් නො වෙයි. සිංහලයන්ට යටත්විජිත යුගවල නැති වු දේ නැවත ලැබී නැති බවත් ඒ ආපසු දිනා ගත යුතු බවත් මා කියා ඇති දේ අද අයිලන්ඩ් පුවත්පතේ ඉන්න චන්ද්‍රප්‍රේමට පැරණි දිවයින පුවත්පත් කියවීමෙන් දැන ගන්න පුළුවන්. ඔහු එකල කොළපාට සමාජයේ. ඒ ගෝඨාගෙ යුද්ධය ලියන්න බොහෝ කලකට පෙර.

ජනාධිපතිවරණ ඊනියා ප්‍රතික්‍රියාව මෙතරම් බලවත් වූයේ කෙසේ ද? බහුතරයට තම ඡන්දවලින් පමණක් ගෝඨාභය දිනවීමට හැකියාවක් තිබිණි ද? චන්ද්‍රප්‍රේම දැනට ටික කලකට පෙරත් තර්ක කෙළේ එහෙම බැහැ කියා. ඔහු මාස කිහිපයකට පමණ පෙර ඊනියා සංඛ්‍යාන (සංඛ්‍යා ලේඛන) සමග අප නිවසට පැමිණ පෙන්නීමට උත්සාහ කෙළේ සිංහලයන්ගේ ඡන්දවලින් පමණක් දිනන්න බැහැ කියල. චන්ද්‍රප්‍රේමට තරම් සංඛ්‍යාන පිළිබඳ දැනුමක් මට නැතත් මා ඒ සංඛ්‍යානවත් 2014 තරම් කාලයකදි ඉන්දියන් ඒජන්තයකු ඉදිරිපත් කළ තර්කවත්  පිළිගත්තේ නැහැ. 

අද ගෝඨාභය දිනා ඇත්තේ චන්ද්‍රප්‍රේමලා පරාජය කරමින්. මා හිතන්නේ අවුරුදු තිස්පහක පමණ කාලයක හැමදාමත් එක ම දේ කියන විට ජනමාධ්‍යයට පේන්නෙ නැහැ. අර නිතර දකින කුකුළාගේ කරමලය වගේ සුදට පේන්නෙ. ගෝඨාභය වටා සිංහලයන් එකතු වුනේ 1956ත් පරාද කරමින්. මා කලිනුත් කියා ඇති පසුගිය අවුරුදු එකසිය පනහක පමණ කාලයක සිංහලයන් මේ ආකාරයෙන් එකතු නොවූ බව. මේ සඳහා මතවාදයක් සකස් කෙරුණු බව බොහෝ දෙනා අමතක කරනවා.  දේශපාලනඥයන් සෘජුව සිංහලයන්ට කතා කෙළේ නම් මේ තත්වය කල් ඇතිව ම උදා වෙන්න තිබුණා. 

පොළොන්නරුවේ ශ්‍රී ල නි පක්‍ෂ අනුගාමිකයන්ගේ ඡන්ද යම් ප්‍රමාණයක් සජිත්ට දී ඇති බව පේනවා. එය වරදක්. ඒත් එයටත් හේතුවක් තියෙනවා. පොළොන්නරුවේ ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට අනුගාමිකයන්ට ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලටත් අඩු සැලකිල්ලක්. ශ්‍රී ල නි පක්‍ෂයට එසේ සැලකුවේ කවුද කාගේ වුවමනාවට ද කියන එක හොයා බැලුවොත් හොඳයි. පොළොන්නරුවෙන් අද මෙසේ පැමිණිළි ලැබෙන්නේ ඇයි? ඔවුන් කියා සිටියේ පොහොට්ටුවට ශ්‍රී ල නි පක්‍ෂය අවශ්‍ය නැහැ කියා. 

කෙසේ වෙතත් අද සුමන්තිරන් හා පිරිස තවත් පොටකට එන්න හදනවා. ඔවුන් කියන්නේ ගෝඨාභය පත් වී ඇත්තේ සිංහල ඡන්දවලින් පමණක් කියා. අසිංහලයන් සමස්තයක් ලෙස ගෝඨාභයට විරුද්ධ ව ඡන්දය දී ඇති බව ඔවුන් කියනවා. ඔවුන් කියන්නේ ගෝඨාභය අසිංහලයන්ගේ ජනාධිපති නොවන බව ද? ඒත් ගෝඨාභය එසේ හිතන්නේ නැති බව පැහැදිලියි. ගෝඨාභය තමන්ට ඡන්දය දුන් නොදුන් සියල්ලන්ගේ ම ජනාධිපති ලෙස හිතනවා.

මෙරට දෙමළ කතා කරන ජනයාට ඇති විශේෂිත ප්‍රශ්නයක් නැහැ. ඒත් ඔවුන් සිංහලයන් මෙන් නොවෙයි. සිංහලයන් දේශපාලනඥයන් මෙහෙයවනවා. ඒත් දේශපාලනඥයන් දෙමළ කතා කරන ජනයා මෙහෙයවනවා. දෙමළ වෙල්ලාල නායකයන්ට තමයි ප්‍රශ්නය තියෙන්නෙ. ඔවුන්ගේ ප්‍රශ්නය රටේ ම නායකයන් බවට පත් වීමට නොහැකි වීම. ඒ නිසා හතළිහේ දශකයේ සිට ඔවුන් වෙන ම රාජ්‍යයක නායකයන් වීමට හදනවා. දෙමළ වෙල්ලාලයන්ට තමයි ගෝඨාභය ජනාධිපති නොවනවා ඇත්තෙ. අනෙක් කුලවල අය වෙල්ලාලයන්ගෙන් මුදා ගත යුතුයි. දෙමළ කතාකරන ජනයා ගෝඨාභයට ඡන්දය නොදුන්නේ වෙල්ලාලයන්ගේ කීමට. දැන් වෙල්ලාලයන් ම කියනවා දෙමළ කතා කරන ජනයා ගෝඨාභයට ඡන්දය දී නැතය කියා. සුමන්තිරන්ලාට අප රවටන්න බැහැ. 

අද කළ යුත්තේ සිංහල විරෝධී අසිංහල නායකයන් සමග සාකච්ඡා දිගින් දිගට පැවැත්වීම නො වෙයි. ඔවුන් සමග කිසිම සංධානයක් අවශ්‍ය නැහැ. ඉදිරි මැතිවරණයේ දී පුටුව ලකුණෙන් තරග කරන සංධානයට තුනෙන් දෙකක බහුතරයක් ලබා ගන්න පුළුවන් නිර්භය ව නොසැලී වැඩ කළොත්. ගෝඨාභයට ඒ ශක්තිය තියෙනවා. නායකයන් සමග සාකච්ඡා වෙනුවට අදාළ ජනතාව සමග සෘජුව දේශපාලනය කරන්න ඕන. දෙමළ කතා කරන නව සංධාන සාමාජිකයන් හැකි ඉක්මණින්  බිහි කර ගන්න ඕන. අප හැමදාමත් කී කරුණක් නම් හාමුදුරුවරුන් කිහිප නමක් දෙමළ ඉගෙන ගත යුතු ය කියන එක. 

අසිංහලයන් හා සිංහලයන් මිශ්‍ර කරන්න ඕන. යාපනයේ පදිංචි ව සිටි සිංහලයන් නැවත එහි පදිංචි කරන්න ඕන. යාපනය කොළඹ, යාපනය මහනුවර අධිවේගී මාර්ග තනන්න ඕන. සිංහල සිසුන් යාපනය විශ්වවිද්‍යාලයට, නැගෙනහිර විශ්වවිද්‍යාලයට, අග්නිදිග විශ්වවිද්‍යාලයට යවන්න ඕන. හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය රජයට පවරා ගෙන නව ආකාරයක විවෘත විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්න ඕන. නාවල ඇති විවෘත විශ්වවිද්‍යාලය සමග එය සම්බන්ධ කරන්න ඕන. 

අසිංහල ශිෂ්‍යයන් උතුරු හා නැගෙනහිර පළාත්වල නොවන විශ්වවිද්‍යාලවලට යවන්න ඕන. යාපනය විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය විද්‍යාව දියුණු කරන්න ඒ සඳහා ඇති අධ්‍යන අංශය ක්‍රමයෙන් යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආයතනයක් බවට පත්කරන්න ඕන. ත්‍රිකුණාමල මණ්ඩපයේ ඇති යුනානි ඒකකය දියුණ කර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත් කරන්න ඕන. 

යාපනය හා අනෙක් පළාත්වල ගොවීන් වෙනුවෙන් සහන වැඩ පිළිවෙළක් සකස් කරන්න ඕන. ඔවුන් දේශීය පොහොර යොදා ගැනීමට හුරු කරන්න ඕන. සිද්ධ වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කරන්න වැඩ පිළිවෙළක් සකස් කරන්න ඕන. දෙමළ හින්දු අධ්‍යාපනයක් දීමට ආයතන ඇති කරන්න ඕන. දෙමළ හින්දු සංස්කෘතිය නගා සිටුවීමටත් සිංහල බෞද්ධ සංස්කෘතිය සමග ඇති සමාන අසමානකම් අධ්‍යයන කිරීමටත් ආයතනයක් ඇති කරන්න ඕන.

මැදවච්චිය ප්‍රදේශයට හරි ඒ කිට්ටුවට හරි උප පරිපාලන ආයතන ගෙන යන්න ඕන. හැකි නම් යම් දිනෙක මැදවච්චිය රටේ පරිපාලන අගනුවර බවට පත් කරන්න ඕන. මූලික වශයෙන් දෙමළ කතා කරන හා අනෙක් අසිංහල ජනයාට සෘජුව වග කියන වෙල්ලාල නොවන දේශපාලනඥයන් (සිංහල ද විය හැකියි) ඇති කරන්න ඕන. දෙමළ කතාකරන ජනයා වෙල්ලාල ආධිපත්‍යයෙන් මුදා ගන්න ඕන. 

ඒත් මේ යෝජනා අමාත්‍ය මණ්ඩලයේ කණට යන එකක් නැහැ. ජනමාධ්‍ය ඒ අදහස්වලට සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අරුණ පුවත්පතෙහි විතරයි සතියකට වතාවක්වත් මගේ ලිපියක් පළ කරන්නෙ. විද්‍යුත් ජනමාධ්‍ය අපට කිසිම ඉඩක් දෙන්නේ නැහැ. එහි වාර්තාකරුවන් ප්‍රවෘත්ති සංස්කාරකවරුන්ට අප වැදගත් දෙයක් කියන බවක් හිතෙන්නෙ නැහැ. ඔවුන් පඬියන් වෙන්නැති.