Main Logo

Wednesday 13 November 2019

සජිත්ගේ හා ගෝලයන්ගේ වික්‍රමයක්

   සිංහල ලිත් ඉලක්කම්

සජිත්ගේ හා ගෝලයන්ගේ වික්‍රමයක්


සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහලෙන් හා ඉංගිරිසියෙන් ඇත්තේ එක ම දෙයක් නො වේ. විශේෂයෙන් ම ඒකීය රාජ්‍යය පිළිබඳ ව කියා නොකියා ඇති දේ අපි සලකා බලමු. සිංහල ප්‍රකාශයේ තියෙන්නෙ මෙහෙමයි. අපි පළමු ව සිංහලෙන් ඇති දේ සලකා බලමු. එහි  මේ කොටස් තියෙනවා.  


“සංවර්ධිත රටක් ලෙස ලෝකයේ නිසි ස්ථානය අත්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව හා එයට අවස්ථාව උදා වී ඇති බව අපට විශ්වාස ය. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් දේශයේ බහු වාර්ගිකත්වය, බහු සංස්කෘතිකභාවය, බහු භාෂිකත්වය හා බහුත්වවාදී ස්වභාවය නිරූපණය කළ යුතු ය. එමගින් අප එක්සත් කළ යුත්තේ  නීතියෙන් පමණක් නො වේ. අප සැම හදවතින්ද එක්සත් කළ යුතු ය.”

මෙය බැලූ බැල්මට හොඳයි. සිවල් සමාජයට අවශ්‍ය ආකාරයට ලියැවී තියෙනවා. මෙරට ඊනියා බහු සංස්කෘතිය ගැන අප කොතෙකුත් ලියා තියෙනවා. බොහෝ රටවල විවිධ සංස්කෘති තියෙනවා. එහෙත් ඒ ඒ රටවල තිබෙන සංස්කෘති සමාන වන්නේ නැහැ. බටහිර යුරෝපයේ ඒ ඒ රටවල ඒ ඒ ක්‍රිස්තියානි සංස්කෘති අධිපති සංස්කෘතීන් වෙනවා. එංගලන්තයේ කිසිම දාක සිංහල බෞද්ධ සංස්කෘතියට ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට හිමි තැන ලැබෙන්නේ නැහැ. එංගලන්තයේ අධිපති සංස්කෘතිය වන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියයි. සිවල් සමාජය අප රට බහුසංස්කෘතික රටක් කියන්නේ සියලු සංස්කෘති සමානය යන අරුතින්. එ ජා පක්‍ෂය ද කියන්නේ ඒ අරුතින්. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂිත තැන සජිත් ප්‍රේමදාසට කාදිනල්තුමාගෙන් දැන ගන්න පුළුවන්. 
  
“අපගේ මව්බිමේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ දේශපාලන ස්වාධීනත්වය අප විසින් ආරක්‍ෂා කරන්නෙමු.  රජයේ තීරණ ගැනීම අපි ජනතාවට සමීප කරවන්නෙමු. නොබෙදුණු හා වෙන් කළ නොහැකි ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදා හැරීමක් ක්‍රියාත්මක කෙරේ. එහි දී බලය බෙදා හැරීම අර්ථවත් වනුඇති අතර කාර්යක්‍ෂමතාව වැඩි වී නාස්තිය ද අඩු වේ. බලය බෙදා හැරීම නිසා නීතියෙන් හා ප්‍රායෝගික ව පමණක් නොව හදවතින්ම ද සියලු ශ්‍රී ලාංකිකයන් අතර සැබෑ සමගිය ඇති කිරීම අප විසින් සහතික කෙරෙනු ඇත.” 

මෙහි ඒකීය රාජ්‍යය යන්න නැහැ. ඒකීයත්වය කියන්නේ එක්සත් කම මිසක් වෙනත් දෙයක් නො වෙයි. ඒ කොළේ වහලා ගැහීමක්. එක්සත් කියන්නේ ස්වාධීන ව පැවති රාජ්‍ය එකතුවීමක්. බිරිතානිය එවැනි එකතුවක් ප්‍රතිඵලයක්. එයට ඒකීය රාජ්‍යයක් කියා කියන්න බැහැ. ඒ ඊනියා ඒකීය රාජ්‍යයෙන් අද ස්කොට්ලන්තය වෙන් වීමට අර අඳිනවා. නොබෙදුණු හා බෙදිය නොහැකි යන්න හිස් වචන. ස්කොට්ලන්තය වෙන් වූ දිනක බෙදිය නොහැකිය යන්න තේම්ස් නදියේ පා කර හරින්න පුළුවන්.   මෙහි උපරිම බලය බෙදීමක් ගැන කියනවා. ඒකීය රාජ්‍යයක උපරිම තියා අවම බලය බෙදීමක්වත් තියෙන්න බැහැ. සුළු වශයෙන් වුවත් බලය බෙදුවොත් එහි ඒකීය රාජ්‍යයක් නැහැ. බලය බෙදා හැරෙන්නේ නැති ප්‍රශ්නයකට විසඳුමක් ලෙසයි. බලය බෙදා විසඳන්න යන ප්‍රශ්නය කුමක් ද? මේ ප්‍රශ්නය විවිධ ස්වරුපවලින් අප අවුරුදු විසිපහකට වැඩි කාලයක් අහනවා. එහෙත් එයට කිසිවකු පිළිතුරක් දී නැහැ. බලය බෙදා හැරීමෙන් නාස්තිය අඩු වෙන්නේ නැහැ වැඩි වෙනවා මිසක්. පළාත් සභා පවත්වා ගෙන යෑමට ම යන වියදම කොතෙක් ද? 

“එනිසා රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපතිවරුන් යටතේ ඉදිරිපත් කර ඇති යෝජනා සැලකිල්ලට ගනිමින් පළාත් වල බලතල, කාර්යයන් හා වගවීම තීරණය කරනු ලැබේ. කේන්ද්‍රයේ බලය බෙදා හැරීම සහතික කිරීම සහ පළාත් සභා සහ පළාත් වලට ඔවුන්ගේ හැකියාවන් මත පදනම්ව ඔවුන්ගේ බලතල ක්‍රියාත්මක කිරීමට හැකිවීම සහතික කිරීම වෙනුවෙන් පළාත් සභා නියෝජිතයන්ගෙන් සමන්විත දෙවන සභාවක්, එනම් සෙනේට් සභාවක් ද පැවැත්වෙනු ඇත.”

මේ දෙවැනි මන්ත්‍රී මණ්ඩලය තව තවත් බලය බෙදා හැරීමට නොව බලය බෙදා ගැනීමටයි. බලය බෙදා හදා ගැනීමටයි. ඉංගිරිසියෙන් නම් sharing of power.ඒ විමධ්‍යගත කිරීම, devolution නො වෙයි. බලය බෙදා හැරීම (විමධ්‍යගත කිරීම) හා බලය බෙදා ගැනීම කියන්නේ එකක් නොව දෙකක්. බලය විමධ්‍යගත වන්නේත් සන්ධීය රාජ්‍යයක මිස ඒකීය රාජ්‍යයක නො වෙයි. බලය බෙදා ගන්නේ සහසන්ධීය රාජ්‍යයක. එය සන්ධීය රාජ්‍යකටත් එහා යන්නක්. ඉංගිරිසි පිටපතෙහි  දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවන්නේ බලය බෙදා ගැනීමට sharing කියන වචනය පැහැදිලි ව තියෙනවා. එයට අමතර ව සිංහල පිටපතෙහි ද  පහත සඳහන් ඡෙදයෙහි අවසාන වාක්‍යයෙහි බලය බෙදා ගැනීම වඩා අර්ථවත් කිරීමක් ගැන කියනවා.

“පළාත්වලට අවශ්‍ය මුදල් රැස් කිරීමට සහ බෙදාහරින ලද බලතල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ද ලැබෙනු ඇත. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මධ්‍යම බලතල ක්‍රියාත්මක කිරීමේදී කේන්ද්‍රයේ නියෝජිතයන් ලෙස කටයුතු කරන අතර පළාත් බලතල ක්‍රියාත්මක කිරීමේදී පළාතේ නියෝජිතයන් ලෙස ද කටයුතු කරනු ඇත. බලය බෙදා හැරීමේ ඒකක සම්බන්ධයෙන්, එකඟ විය හැකි පරිදි අවශ්‍ය වෙනස්කම් කිරීමෙන් අපි බලය බෙදාගැනීම වඩා අර්ථවත් හා පිරිවැය-කාර්යක්‍ෂම කරන්නෙමු.” 

දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මධ්‍යම බලතල ක්‍රියාත්මක කිරීමේ දී ද පළාත් බලතල ක්‍රියාත්මක කිරීමේ දී ද නියෝජිතයන් ලෙස සහභාගි වෙනවා. මෙය අවුලක්. ලේකම්වරුන්ට එකගෙයි කෑමට සිදු වෙනවා. මේ බලය බෙදා ගැනීමක් මිස බලය බෙදා හැරීමක් (විමධ්‍යගත කිරීමක්) නො වෙයි. මෙහි කියන්නේ බලය බෙදා ගැනීම වඩා අර්ථවත් කරන බවක්!

ඉංගිරිසියෙන් පැහැදිලිව ම බලය බෙදා ගැනීමක් sharing of power ගැන කියනවා. සිංහලෙන් දිව බොරු නොකිව් එක තැනක දී හැරෙන්න අනෙක් තැන්වල කියන්නේ බලය විමධ්‍යගත කිරීමක්. ඒත් මේ කරන්න යන්නේ බලය බෙදා ගැනීමක් මගින් සහසන්ධීය රාජ්‍යයක් ඇති කිරීමයි.
ඊනියා සෙනේට් සභාවකින් නැත්නම් දෙවැනි මන්ත්‍රී මණ්ඩලයකින් සිදු සිදු වන්නේ ඊනියා මධ්‍යයෙත් බලය බෙදා ගැනීමක්. පාර්ලිමේන්තුවේ බලය අඩුවීමක්. දෙවැනි මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් වන්නේ පළාත් සභා මන්ත්‍රීවරුන්. එයින් සිදු වන්නේ පළත් සභා මන්ත්‍රීවරුන් මධ්‍යයෙත් බලවත් වීම පමණයි. කලකට ඉහත තිබූ සෙනේට් සභාව අහෝසි කෙළේ එය විවිධ ආකාරයෙන් ව්‍යවස්ථාදායක මණ්ඩලයේ බලය අඩු කළ නිසයි.
බලය බෙදා ගැනීම (power sharing) ගැන ඉංගිරිසියෙන් තියෙන වගන්ති කියවමු.    

“There will be a second chamber, the Senate consisting of representatives of the Provincial Councils to ensure power sharing at the centre and to ensure that the Centre and the provinces are able to exercise their respective powers on the basis of their competencies.”

“In regard to the units of devolution we will make power sharing more meaningful and cost efficient by making necessary arrangements as may be agreed upon.” 

සජිත් දන්නවා එහෙමත් නැත්නම් වර්තමානයේ සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණය මෙහෙයවන්නන් දන්නවා ජනතාව ඉංගිරිසි සිංහල පිටපත්වල දෙකක් තිබෙන බවත් ඒ කිසිවක ඒකීය රාජ්‍යයක් යන්න නැති බවත් දන්න බව. ඒ නිසා ඔවුන් ජනතාව රැවටීමට සජිත්ගේ ඊනියා සමාජ විප්ලවය නමින් පොත් පිංචක් ගෙවල්වලට බෙදා හිනවා. එහි මේ වාක්‍ය තියෙනවා.

“ඒකීය රාජ්‍ය සංකල්පය තුළ ප්‍රාදේශීයව උපරිම බලය බෙදා හැරීමට කටයුතු කරන්නෙමු.” 

ප්‍රතිපත්ති ප්‍රකාශයේ නැති ඒකීය රාජ්‍යය කියන වචන ගෙන් ගෙට ගොස් බෙදා හරින පොත් පිංචක සඳහන් කරන්නේ ජනතාව රැවටීමටයි. වැදගත් වන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශය මිස ගෙන් ගෙට ගොස් බෙදන පත්‍රිකා පොත් පිංච ආදිය නො වෙයි. ජනතාව සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටිය යුත්තේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමන් අතට පත් කරන ලෙසයි. ඉංගිරිසියෙන් එකක් කියා සිංහලෙන් තව එකක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉංගිරිසියෙන්වත් සිංහලෙන්වත් නැති දෙයක් පත්‍රිකාවක් හරි පොත් පිිංචක් හරි මගින්  ජනතාවට බෙදා හැරීම ජනතාව රැවටීමක්.