Main Logo

Sunday 3 November 2019

හූ කීම, පොහොට්ටුව හා දෙ ජා සංධානය

      සිංහල ලිත් ඉලක්කම්

හූ කීම, පොහොට්ටුව හා දෙ ජා සංධානය



ගෝඨාභයගේ ජනාධිපතිවරණ වේදිකාවට එන ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට හූ කීම දිගින් දිගට ම කෙරෙනවා. ගෝඨාභයත් මහින්දත් එසේ නොකරන ලෙස කියා තිබුණත් එය නවතින පාටක් නැහැ. හූ කියන්නන්ට යම් පිරිසක් අනුබල දෙන බව පේන්න තියෙනවා. හූ කීමෙන් පොහොට්ටුවට වෙන වාසියක් නැහැ. හූ කීම පොහොට්ටුවේ අවසානය කරා යන ගමන විය හැකියි. 


හූ කියන්නන් දැන ගත යුතු කරුණක් නම් ගෝඨාභය රාජපක්‍ෂ පොහොට්ටුවේ අපේක්‍ෂකයා නොවන බවත් ඔහු ජාතික අපේක්‍ෂකයා බවත්. ඔහු මන්ත්‍රීවරයකු ව නොසිටි බැවින් ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන්න බැහැ. ඔහු පක්‍ෂයකින් ම ඉදිරිපත් වෙන්න ඕන. ඒ සඳහා පොදු ජන පෙරමුණ තෝරා ගෙන තියෙනවා. ඒ නිසා ඔහු පොදු ජන පෙරමුණේ අපේක්‍ෂකයා වන්නේ නැහැ. 

ගෝඨාභය ජාතික අපේක්‍ෂකයා වුවත් පොදු ජන පෙරමුණ ජාතිකත්වයේ පක්‍ෂයක් නො වෙයි. ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයේ පක්‍ෂයක්. එහි කොටසක් ඊනියා යහපාලන ආණ්ඩුවට එකතු වීමෙන් වරදක් කළා. ඒ සමග ශ්‍රී ල නි පක්‍ෂයට හිතවත් පක්‍ෂ හා ජනතාව  යහපාලන තීරණයට විරුද්ධව එකතු වන්න පටන් ගත්තා. 2015 පෙබරවාරියේ නුගේගොඩ රැස්වීම මගින් ඒ සංකේතවත් කෙරුණා. එය සංවිධානය කෙරුණේ දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිළ හා වාසුදේව නානායක්කාර විසින්. බැසිල් රාජපක්‍ෂ එකල සිටියේ පිටරට. නුගේගොඩ රැස්වීම සඳහා මහින්දගෙන් ප්‍රකාශයක් ගැනීමට මැදමූලන ගිය පිරිසකට ඇතැමුන්ගෙන් ලැබී ඇත්තේ යහපත් ප්‍රතිචාරයක් නො වෙයි. ලැබෙන තොරතුරු අනුව ප්‍රකාශය දීමට මුල් වී තියෙන්නෙ ශිරන්ති රාජපක්‍ෂ. 

ඒ ගෙනා ප්‍රකාශයත් කියවීමට අද පොදු ජන පෙරමුණේ ඉන්න කිසිවකු එදා හොයා ගන්න බැරි වෙලා. අවසානයේ දී ඔවුන් එදා තම වීරයකු වූ ද සිංහල බෞද්ධ විරෝධියකු වූ ද දයාන් ජයතිලක තෝරා ගෙන. අද දයාන් ජයතිලක රුසියාවේ ලංකා තානාපති. ඔහු සජිත් වෙනුවෙන් වැඩ කරනවා. දයාන්ලා වැනි පුද්ගලයන් ගැන නිවැරදි තීරණ ගැනීමට ජාතිකත්ව කඳවුරේ අයට බැරි වීම සැමදාමත් ප්‍රශ්නයක්. අද අනුරුද්ධ පාදෙණිය ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ දී වේදිකාවේ ගෝඨාභය ළඟින් ම වාඩි වෙලා. ඔහුට එසේ වාඩිවීමට සැලැස්සුවේ කවුද? පාදෙණිය ඊට සතියකට පසු සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ රැස්වීමටත් සහභාගි වෙලා. දැන් ඔහුට විරුද්ධ ව චෝදනාවක් තියෙනවා. ඔහු වැරදිකරුවකු වුවොත් ඔහු වීරයකු වේවි. සජිත්ගේ රැස්වීමට ගිය බවත් අමතක වේවි. ඔහු නව සංධානයෙන් (පුටුවෙන්) මැතිවරණයටත් ඉදිරිපත් වෙන්න පුළුවන්.

නුගේගොඩ රැස්වීමෙන් ආරම්භ වුනු මහින්ද සුළඟ සංවිධානය කිරීමක් පමණයි පොදු ජන පෙරමුණෙන් වෙලා තියෙන්නෙ. එය තාවකාලික පක්‍ෂයක්, නවාතැන්පොළක් පමණයි. දැනට එය තරමක් බලවත්. එහෙත් එයට තනිවම මැතිවරණයක් ජනාධිපතිවරණයක් දිනන්න බැහැ. පහුගිය පෙබරවාරි පළාත් පාලන මැතිවරණයෙන් පෙන්නුම් කරනු ලැබුයේ එයයි. එදාට පෙර සිටමත් මා කියා සිටියේ පොදු ජන පෙරමුණ ශ්‍රී ල නි පක්‍ෂය සමග සංධානයක් ඇති කර ගත යුතු ය කියලා. රනිල් ඉවත් කර මහින්ද අගමැති කරන්න කියා මා කිව්වේ එයටත් කලින්. එදා අපත් සමග සිටි බොහෝ දෙනා මට විරුද්ධ වුනා. ඒ විරුද්ධ වූ අය ජනමාධ්‍යයේ වීරයන් වෙලා. ගෝඨාභයට මුල දී විරුද්ධ වූ අයත් අද වීරයන් වෙලා. 

වේදිකාව කවුරුන් සකස් කළත් එය ගෝඨාභයගේ. ඔහු ජාතික අපේක්‍ෂකයා. ඊයේ පෙරේදා එකතු වූ පක්‍ෂ හා සංවිධාන දහහතේ ම අපේක්‍ෂකයා. ඔහු තම අපේක්‍ෂකයා කර ගන්න පොදු ජන පෙරමුණ උත්සාහ කරනවා නම් එය වැරදියි. පොදු ජන පෙරමුණේ ඇතැම් බලවතුන් ගෝඨාභයට මුල දී විරුද්ධ වූ බවත් අමතක කරන්න එපා.

ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට හූ කියන්නන් හා ඒ අයට අනුබල දෙන්නන් හූ කියන්නේ වේදිකාවට. ගෝඨාභයගේ වේදිකාවට. මේ අනුබල දෙන්නන්ට ඇත්තේ මැතිවරණ බලාපොරොත්තු. මනාප අපේක්‍ෂා. එහෙත් ඔවුන්ට නිසි උපදෙස් දීම පොදු ජන පෙරමුණේ සභාපතිගේ ලේකම්ගේ ජාතික සංවිධායකගේ වගකීම. මගෙන් අහන්න එපා හූ කියන්නට අනුබල දෙන්නන් පොදු ජන පෙරමුණේ කියා මා දන්නේ කෙසේ ද කියා. ගෝඨාභය අපේක්‍ෂකයා කළ යුතු යැයි මා දැන ගත් විධියටමයි ඒ බවත් දැන ගන්නේ. 

පොදු ජන පෙරමුණ ශක්තිමත් වගේ පෙනූනට දුර්වලයි. එය තාවකාලික පක්‍ෂයක් පමණයි. අද ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ හා ජාතික අපේක්‍ෂක ගෝඨාභයයි. මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ ඒ නව පෙරමුණෙන්. පුටුව ලකුණෙන්. එහි ශ්‍රී ල නි පක්‍ෂයටත් වැදගත් තැනක් හිමි වෙනවා. ඒ පක්‍ෂයේ අය පාර්ලිමේන්තුවට පත් වෙන එක වළක්වන්න පොදු ජන පෙරමුණේ ඇතැමුන් හිතනවා නම් එය හීනයක් පමණයි. ඊනියා සංහිඳියාවක් ගැන කතා කරන අය තම කඳවුරේ සමගිය වෙනුවෙන් කැප වෙන්නේ නැහැ. 

පොදු ජන පෙරමුණ තරමක් දෙමළ ජාතික සංධානය වගේ. මේ ජනාධිපතිවරණයේ දී ඔවුන් මුලින් බලාපොරෙත්තු වූ දේ සිදු වන්නේ නැහැ. පොදු ජන පෙරමුණට අද ගෝඨාභයට පක්‍ෂ වීමට සිදු වෙලා. දෙමළ ජාතික සංධානයට සජිත්ට සහාය දෙන්න සිදුවෙලා. දෙමළ ජාතික සංධානයට මුලින් අවශ්‍ය වුනේ සජිත් පරදවන්න. ඔවුන් අර ඉල්ලීම් දහතුන ඉදිරිපත් කෙළේ කිසිම අපේක්‍ෂකයකු ඒ නොපිළිගනීවි යන බලාපොරොත්තුවෙන්. ඔවුන් සිතා සිටියේ කිසිවකු තම ඉල්ලීම්වලට එකඟ නැති නිසා ජනාධිපතිවරණයේ දී ඡන්දය දීමෙන් වැළකී සිටීමට. එවිට සජිත් පරදීවි කියා ඔවුන් හිතුවා.

එහෙත් මැතිවරණ ව්‍යාපාරයේ දී ඔවුන් ද රනිල් ද වෙනස් වෙලා. අද ඔවුන්ට සජිත් දිනවන්න අවශ්‍යයයි. ඒ පසුපස ඉන්දියාව ඉන්නවා. බටහිරයන් ද ඉන්නවා. ගෝඨාභයට පක්‍ෂ නොවී පොදු ජන පෙරමුණට පැවැත්මක් නැතිවාක් මෙන් සජිත්ට සහාය නොදී දෙමළ ජාතික සංධානයට පැවැත්මක් නැහැ. සුමන්තිරන් හා සම්බන්ධන් අනෙක් වෙල්ලාල නායකයන්ට වඩා සජිත් වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ නිසා දෙමළ ජාතික සංධානය කැඩෙන්නත් ඉඩ තියෙනවා. කොහොමටත් සුමන්තිරන්ලා බලාපොරොත්තු වෙන ප්‍රමාණයට උතුරු පළාතේ ජනතාව සජිත්ට ඡන්දය දෙන එකක් නැහැ. ඡන්දය දුන්නත් සිංහල ජනතාවගේ අතිමහත් බහුතරය ගෝඨාභය සමග. අර ඉන්දීය ඔත්තුකාර ඊනියා විශ්ලේෂකයන්ගේ සංඛ්‍යාන විසිවෙලා. සුමන්තිරන්ට  ගෝඨාභයගේ ජයග්‍රහණය වළක්වන්න බැහැ. 

සජිත් දැන් ඉල්ලීම් දහතුන ගැන හොරගල් අහුලනවා. ගෝඨාභය සාකච්ඡාවකින් තොරව ම ඒ ඉල්ලීම් ප්‍රතික්‍ෂෙප කරලා. සජිත් ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒ බවක් සඳහන් වෙන්නේ නැහැ. ගෝඨාභය ඒකීය රාජ්‍යය වෙනුවෙන් සියලු ත්‍රස්තවාද නැති කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. ගෝඨාභය ජාතික අපේක්‍ෂකයා, සජිත් විජාතික අපේක්‍ෂකයා, රනිල්ගේ හා සුමන්තිරන්ගේ උරුමක්කාරයා. 

පොදු ජන පෙරමුණ වහාම ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට හූ කියන එක නවත්තන්න ඕන. කාගෙ කාගෙ අතිනුත් වැරදි සිද්ධ වෙලා තියෙනවා. කොටසකගේ වැරදිවලට පමණක් දඬුවම් කරන්න බැහැ. හූ කීමෙන් ශ්‍රී ල නි පක්‍ෂය දුර්වල කරන්න බැහැ. ඉන් දුර්වල වන්නේ පොදු ජන පෙරමුණයි.