Main Logo

Wednesday 27 November 2019

නූතන බමුණන්ට විරුද්ධ අරගලය හා ගෝඨාභය

              සිංහල ලිත් ඉලක්කම්



නූතන බමුණන්ට විරුද්ධ අරගලය හා ගෝඨාභය



මහා සංඝ රත්නය ප්‍රකාශ කරල තිබුණ එක්සත් ජාතික පෙරමුණ, නව ප්‍රජාතන්තයවාදී පෙරමුණ පරාජයට පත්වුණෙ රන්ජන් රාමනායක, මංගල සමරවීර වැන්නන් සංඝ රත්නයට හා බුදු සසුනට අපහාස කළ නිසා කියලා. ආශු මාරසිංහත් අකිල විරාජ් කාරියවසමුත් ඒවැනි ප්‍රකාශ නම් සඳහන් නොකර කර තිබුණා. පරාජය ඒ නිසා ම පමණක් සිදු වුනා නම් ඒක භයානයකයි.


රන්ජන් රාමනායක කියන්නෙ කතෝලික පවුලක උපන් අයෙක්. ඔහු කතෝලික බැතිමතකු ද කියන්න මා දන්නෙ නැහැ. ඔහු කාලෝ ෆොන්සේකගෙ බෑණ කෙනෙක්. කාලෝට හිටිය එක ම නළු බෑණ රන්ජන් නො වෙයි. කාලෝ හීන් නූලෙ සිංහල බෞද්ධ විරෝධියෙක්. ඔහු නැවත ඉපදීමක් පිළිගත්තා. ඒත් සංසාරයක් පිළිගත්තෙ නැහැ. පසුගිය නොවැම්බර් විසිතුන්වැනි දා පළවුණු නිව් සයන්ටිස්ට් සඟරාවෙ ලිපියක තිබුණ ඉතා වැඩි දෙනක් නැවත ඉපදීමක් විශ්වාස කරනවා කියලා. ඒ නිසා ඒක නිවැරදි කියල මා කියන්නෙ නැහැ. ගුණදාස අමරසේකර මාටින් වික්‍රමසිංහ වැනි සිංහල බෞද්ධ පතාක යෝධයන්ට අනුව පුනබ්භවයක් නැහැ. කාලෝ පිළිගත්තෙ එක් ඉපදීමක් පමණයි. ඒ සවර්ගයෙ හරි අපායෙ හරි. අමරසේකරලා එහෙමවත් පිළිගන්නෙ නැහැ. මරණින් පස්සෙ සිරුර සමහර විට සුන්නත් දුලි වෙනවා ඇති.

මංගල සමරවීර ඉංගිරිසි ව්‍යවහාරය අනුව නම් දකුණු පලාතෙ වැදගත් සිංහල බෞද්ධ පවුලක උපන් අයෙක්. ඔහුගෙ පියා මහානාම සමරවීර ශ්‍රී ල නි පක්‍ෂ ප්‍රමුඛ ආණ්ඩුවක් කඩන්න එ ජා පක්‍ෂයට එකතු වුණා. ඔහුගෙ මව ඛෙමා (ඛෙමාගෙ කොල්ල පොතේ) රනිල් වික්‍රමසිංහගෙ තාත්තා එස්මන්ඩ් වික්‍රමසිංහ යටතෙ ලේක්හවුසියෙ වැඩ කළා. මංගල බෞද්ධයෙක් නම් නො වෙයි. බෞද්ධයා යන්නට දිය හැකි නිර්වචනය තිසරණ සරණ ගිය අයකු යන්නයි. පන්සිල් අවශ්‍ය නැහැ. අද සිංහල බෞද්ධයන් කී ලක්‍ෂයක් අර ඊනියා ප්‍රබුද්ධ එහෙත් පුහු කවියන් කියන විධියට මීවිත තොල  ගානවා ද? ඔවුන්ගේ දිව මොනව ගානවා ද කියල කියන්නෙ නැහැ. 

ඒ කොහොම වුනත් මංගල දෙසරණ සරණ ගිය අයෙක්. ඒ නිසා ඔහු බෞද්ධයෙක් නො වෙයි. ඔහු හරියට සමහර විට කලින්  සහම්පති මහා බ්‍රහ්මයා වගේ වෙන්න ඇති. පස්වග තවුසන් පැවිදි වීමට කලින් සහම්පති බ්‍රහ්මයාට බුදුහාමුදුරුවන් මුණ ගැහුණා. එවිට තිසරණ තිබණෙ නැහැ. ඒත් සහම්පති මහා බ්‍රහ්මයා පසුව තිසරණ සරණ යන්න ඇති. මංගල එහෙම නො වෙයි. ඔහු මහා බ්‍රහ්මයාටත් උඩින් ඉන්නෙ. ඔහු තිසරණ සරණ යන්නෙ ම නැහැ. මහා බ්‍රහ්මයාට මංගල හමුවෙලා තියෙනව ද දන්නෙ නැහැ. 

ගෝඨාභය දිනුවෙ රන්ජන්ගෙ හරි මංගලගෙ හරි කියමන් නිසා කියල කීම ගෝඨාභයගේ ජයග්‍රහණය සැහැල්ලු කිරීමක්. දැන් එ ජා පක්‍ෂය සුදානම් වෙන්නෙ මංගලලාගෙ ප්‍රකාශ හරි ගස්සගෙන කරුණාරත්න ජයසූරිය හරි වෙනත් තරුණයකු (වසය පනස් දෙකට අඩු ද වැඩි ද) හරි නායකත්වයට පත් කරගෙන බෞද්ධ ඡන්ද හදා ගන්න ද? මොන නායකයා ආවත් එ ජා පක්‍ෂය සිංහල බෞද්ධ විරෝධියි. එහි ඇතැම් නායකයන් පාක්‍ෂිකයන් අනුගාමිකයන් සිංහල බෞද්ධයන් ද කියන ප්‍රශ්නය මෙහි දී වැදගත් වෙන්නෙ නැහැ. එ ජා පක්‍ෂය උපන්ගෙයි සිංහල බෞද්ධ විරෝධියි.

ලංකාවෙ පාසල් එකක්වත් සිංහල බෞද්ධ නොවෙයි. ඒත් ඒ පාසල්වල සිංහල බෞද්ධ සිසුන් ඉගෙන ගන්නවා. සිංහල බෞද්ධ ගුරුවරු ඉන්නවා. මෙත්තානන්ද මහතා සිංහල බෞද්ධයෙක්. ඒ මහතාගේ සමරු වැඩ සටහනකට  සිංහල බෞද්ධ ආදි ශිෂ්‍යයන් කී දෙනකු සහභාගි වෙනවා ද? සිංහල බෞද්ධකමට හැදුණ නම් ආදි ශිෂ්‍යයන් එවැනි සමරු වැඩ සටහනකට දහස් ගණනින් සහභාගි වෙන්න ඕන. ඒත්  ඩිනර් ඩාන්ස් එකකට ආදි ශිෂ්‍යයන් කී දෙනකු තම අඹුවන් පෙරදැරි කරගෙන  සහභාගි වෙනවා ද? දැන් අහන්න එපා සිංහල බෞද්ධකම මනින්නෙ ඩිනර් ඩාන්ස් එකෙන් ද කියල. 

එ ජා පක්‍ෂයෙ සිංහල බෞද්ධ විරෝධය ඩී එස් සේනානායකගෙ කාලෙ ඉඳන් එන එකක්. ජනමාධ්‍යවේදියකු වූ ඩී බී ධනපාල මහතා කියා තියෙනවා ඩී එස්ගෙ ටොප්හැට් ටයිකෝට් ඇතුළෙ සිංහලයකු හිටිය බවත් බණ්ඩාරනායකගෙ රෙදි බැනියම් ඇතුළෙ ඉංගිරිසි කාරයකු හිටිය බවත්. ඒක එහෙම වෙන්න ඇති. ඒත් ඩී එස් පක්‍ෂය හැදුවෙ සිංහල බෞද්ධ ආකෘතියක නො වෙයි. පක්‍ෂය සම්පුර්ණයෙන් ම මෙරට පාසල් හා විශ්වවිද්‍යාල වගේ ම ඉංගිරිසි ඇංග්ලිකන් ක්‍රිස්තියානි. එය එංගලන්ත කොන්සර්වෙටිව් පක්‍ෂ අච්චුවෙ එකක්. රනිල් ඒ ආකෘතිය තවත් තර කළා. ඔහු දකුණු ආසියා ශාන්තිකර කලාපයෙ එවැනි පක්‍ෂවල සම්මේලනයෙ සභාපති වෙලත් හිටියා.  බණ්ඩාරනායකත් 1951 දී ශ්‍රී ල නි පක්‍ෂය හැදුවෙ කොන්සර්වෙටිව් නොවුනත් එංගලන්තෙ ලිබරල් පක්‍ෂ ආකෘතියක.

බණ්ඩාරනායක මහින්ද රාජපක්‍ෂ වගේ ම ජනතා හඬට කන්දුන් අයෙක්. බණ්ඩාරනායක මහජන හඬට කන්දීලා පක්‍ෂය ජාතිකත්වයෙ පක්‍ෂයක් කළා. ඒ සිද්ධ වුනෙ 1952 මින්නේරිය අතුරු මැතිවරණ කාලෙ දි. ශ්‍රී ල නි පක්‍ෂය තවමත් රටේ ජාතිකත්වයෙ ප්‍රධාන පක්‍ෂය.  පොහොට්ටුවෙ නායකයන් ඒ බව දැන ගන්නව නම් හොඳයි. ආශු මාරසිංහලට එ ජා පක්‍ෂය ජාතිකත්වයෙ පක්‍ෂයක් කරන්න බැහැ. ලිබරල් පක්‍ෂයක් ජාතිකත්ව පක්‍ෂයක් කරන්න පුළුවන් වුනාට කොන්සර්වෙටිව් පක්‍ෂයක් ආසියාවෙ ජාතිකත්ව පක්‍ෂයක් කරන්න බැහැ. මෙය ආකෘතිය පිළිබඳ ප්‍රශ්නයක් මිස පුද්ගලයන්ගෙ ප්‍රශ්නයක් නො වෙයි. 

ගෝඨාභය දිනුවෙ ජනතාව රන්ජන්ගෙ මංගලගෙ කියුම්වලට විරෝධය පළ කරල කියන එක සිංහල බෞද්ධ ජනමතයක් ඇති කරන්න දරපු උත්සාහය සුළු කොට තැකීමක්. මා කලින් සතියෙ කී ආකාරයට මෙරට මේ සිංහල අපගෙ රටයි ගීතය ගායනා කිරීමට නොදුන් රටක්. මා දන්නේ නැහැ වෙන ගායිකාවකට ඒ ගීතය ගායනා කිරීමට නීතියෙන් අවසරයක් ගන්න පුළුවන් ද කියා. 

සිංහල බෞද්ධ ප්‍රබෝධයක් ඇති වීම සිංහල ජනතාවගේ ඡන්දවලින් පමණක් ගෝඨාභයට ජනාධිපතිවරණය ජය ගැනීමට හැකි වීම රන්ජන්ට හා මංගලට පැවරීම මගින් පැවසෙන්නේ සිංහලයාගේ දුර්වලකමක්. සිංහලයන්ට තවමත් හිතන්න බැහැ. මතවාද පිළිබඳ අවබෝධයක් නැහැ. මතවාද ගැටීම් ගැන සිතන්නෙ නැහැ. බුදුහාමුදුරුවන් බමුණන්ට විරුද්ධව කළ මතවාදී ප්‍රහාර අපට සුළුකොට තකන්න බැහැ. බුදදහම මතවාදී නොවන එක වෙනත් කාරණයක්. අද ඉන්න බමුණන්ට විරුද්ධවත් සටන් කරන්න ඕන. මා කියන්නෙ සහම්පති මහා බ්‍රහ්මයා ගැන නොවෙයි. මහා බ්‍රහ්මයා පසුව තෙරුවන් සරණ ගියා.