Main Logo

Saturday 9 November 2019

බැසිල්ට අනුව එකතුවේ වැදගත්කම

   සිංහල ලිත් ඉලක්කම්


බැසිල්ට අනුව එකතුවේ වැදගත්කම



බැසිල් රාජපක්‍ෂ ඉතා හොඳ ප්‍රකාශයක් කරල තිබුණා. ගෝඨාභයගෙ ජනාධිපතිවරණ රැස්වීමක දි ඔහු කියා තිබුණ ජනාධිපතිවරණ ජයග්‍රහණයට වැඩියෙන් ම බලපාන්නෙ ශ්‍රී ල නි පක්‍ෂය කියලා. පොහොට්ටුවෙ අය ඒකට එතරම් කැමති වෙන එකක් නැති වුනත් ඒක කියන්න ඕන කියලත් බැසිල් කියා තිබුණ. ඒ වගේ ම ඔහු කියල තිබුණ එකතු නූණ නම් දෙගොල්ල ම පරදින්න තිබුණ කියලා.


බැසිල් යොදා ගත්තෙ මේ වචන ම කියල මා කියන්නෙ නැහැ. ඒත් අදහස ඒකයි. කොහොම වුණත් ඒ කතාව හොඳයි. මහින්ද කොහේදි හරි කියල තිබුණ ශ්‍රී ල නි පක්‍ෂයත් පොදු ජන පෙරමුණත් නිවුන් සහෝදරයන් කියලා. ඒ මොකක් වුණත් පොදුජන පෙරමුණේ ඉන්නෙ ශ්‍රී ල නි පාක්‍ෂිකයන්. ශ්‍රී ල නි පක්‍ෂය තවමත් මෙරට ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය. මා හිතන විධියට මහින්ද තවමත් ශ්‍රී ල නි පක්‍ෂයේ අනුශාසකයෙක්. චන්ද්‍රිකා නම් දැන් සජිත්ගෙ හා රනිල්ගෙ අනුශාසකයෙක්. 

ජනාධිපතිවරණය මහා මැතිවරණයක් පැවැත්වීම සඳහා පවත්වන ජනමත විචාරණයක් බවට පත් කර ගත යුතු බව ගෝඨාභයගෙ ජනාධිපතිවරණ ප්‍රකාශයෙ තියෙනවා. එදා නෙළුම් පොකුණෙ පැවති රැස්වීමෙ දි මහින්ද ඒ බව අවධාරණය කළා. මහා මැතිවරණයක් පැවැත්වීමට නම් ව්‍යවස්ථාව අනුව 2020 පෙබරවාරිය පහුවෙන්න ඕන. ඒකට හේතුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිට පුළුවන් වෙන්නෙ පෙබරවාරි මාසෙ නිසා. 

ජනතා පරමාධිපත්‍යය තියෙන්නෙ ජනතාවට. පාර්ලිමේන්තුව හා විධායක ජනාධිපති කියන්නෙ මැතිවරණ දෙකක් හරි ජනාධිපතිවරණ දෙකක් හරි අතර කාලෙ ජනතාවගෙ පරමාධිපත්‍යය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන ආයතන. ඒ අතර අවශ්‍ය පරිදි ජනමත විචාරණ පවත්වන්නත් පුළුවන්. ඒ අධිකරණයට හරි ජනාධිපතිට හරි තියෙන බලතල අනුව. 

මහා මැතිවරණයක් හරි ජනාධිපතිවරණයක් හරි ජනතා පරමාධිපත්‍යය සෘජුව ම ක්‍රියාත්මක වන අවස්ථා දෙකක් නිසා කලින් දැනුම් දීමක් කර ඒ ජනමත විචාරණයක් ලෙසත් යෙදා ගන්න පුළුවන්. මහින්ද අවධාරණය කළ පරිදි ගෝාඨාභය තම ජනාධිපතිවරණ ප්‍රකාශයෙන් කෙළෙ ජනාධිපතිවරණය මහා මැතිවරණයක් පැවැත්වීම සඳහා බලය ලබා දෙන ජනමත විචාරණයක් බවට පත් කිරීම. 

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීමෙන් පසු ඒ ජනමත විචාරණය යොදා ගෙන පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. පෙබරවාරි වෙනකන් බලා ඉන්න ඕන නැහැ. එවිට මහා මැතිවරණයක් ඉක්මණින් පවත්වන්න පුළුවන්. 

මහා මැතිවරණයට ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරේ නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණෙන් තමයි ඉදිරිපත් වෙන්න තියෙන්නෙ. ඒ සඳහා අවශ්‍ය ගිවිසුම් දැනටමත් අත්සන් කර අවසානයි. ඒ නිසා ගැටළු පැන නගින්න විධියක් නැහැ. මහා මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ පුටුව ලකුණෙන්. ඒකත් හොඳයි. 

අද අවශ්‍ය වෙන්නෙ නොබිඳෙන සමගියක්. ඒ සමගියෙන් පමණයි මෙරට ජාතිකත්වය තව තවත් පෝෂණය කර ගන්න පුළුවන්. අධිරාජ්‍යවාදය, නව යටත්විජිතවාදය වගේ සංකල්පවලින් අපි ජාතිකත්ව සංකල්පවලට මාරු වෙන්න ඕන. අද ලෝකයේ තියෙන්නෙ මධ්‍යස්ථානයක් නැති ජාත්‍යන්තර ආධිපත්‍යයක්. එය බකිංහම් මාළිගාවෙවත් ධවල මන්දිරයෙවත් දකින්න නැහැ. එය හැම තැන ම තියෙනවා. ලංකාවෙ පාසල්වල පමණක් නොව දහම් පාසල්වලත් තියෙනවා. එය එක්තරා ආකාරයකට ගත්තොත් විමධ්‍යගත ජාත්‍යන්තරවාදයක්. 

ජාතිකත්වයට අවශ්‍ය මේ අධිපතිවාදී ජාත්‍යන්තර සංස්ථාපනයෙන් මිදෙන්න. මේ ලිං මැඩි චින්තනයක් කියල බටහිර ආධිපත්‍යයට යට වුණු  පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් කියාවි. අපට අවශ්‍ය බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මිදෙන්න. ඒ කියන්නෙ අප බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප කරණවා කියන එක නො වෙයි. බටහිර දැනුම අපට අවශ්‍ය තැන අවශ්‍ය ආකාරයට අපේ කර ගැනීම. දැනුම කියන්නෙ එක පද්ධතියක් නො වෙයි. ලෝකයේ දැනුම් පද්ධති රාශියක් තියෙනවා. සිංහල දැනුමත් ඉන් එකක්.

බටහිර දේශපාලන විද්‍යා දැනුමකින්වත් ස්මාට් ජාතිකවාදයකින්වත් නොවෙයි අප සිංහල ජාතිකත්ව දැනුමෙන් තමයි ශ්‍රී ල නි පක්‍ෂයත් පොදු ජන පෙරමුණත් එකතු විය යුතු ය සංධානගත විය යුතු ය කියා කිව්වෙ. ඒ පක්‍ෂ දෙකේ ම ඉන්නෙ එක වගේ අය. එක ම සිතුම් පැතුම් තියෙන අය. ඒ අයට එකතු වෙන්න බැරි කමක් නැහැ. අද එය ඉටු වී තියෙනවා. 

බැසිල් රාජපක්‍ෂ එකතු ව අගය කිරීම වැදගත්. ඔහුට ඒ පිළිබඳ ව ගරු කරන්න ඕන. ඇති කර ගත් සමගිය තව තවත් වර්ධනය කර ගැනීම ඒ පක්‍ෂ දෙකේ සාමාජිකයන්ගේත් හිතවතුන්ගේත් වග කීම වෙන්න ඕන. මහා මැතිවරණයෙන් පසු තව දුරටත් මේ සමගිය වර්ධනය කිරීම ගැන හිතන්න ඕන. දැනට ජාතික අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම අප සියල්ලන්ගේ ම වගකීම වෙනවා. අප උත්සාහ ගත යුත්තේ ගෝඨාභයගේ ඡන්ද ප්‍රමාණය 60% ඉක්මවා යන තැනකට පත් කිරීමයි. එය මහා මැතිවරණයක දී  නව සංධානයට වැදගත් වේවි.