Main Logo

Tuesday 26 November 2019

ගෝඨාභය බැසිල්ගෙන් ආරක්‍ෂා කරමු

         සිංහල ලිත් ඉලක්කම් 

ගෝඨාභය බැසිල්ගෙන් ආරක්‍ෂා කරමු



මා නොවැදගත් මිනිසකු බව ඇත්ත. මා ලියන ලිපිවලින් සත පහක වැඩක් වෙන්නෙ නැති බවත් ඇත්ත. ඒ නිසා දිනපතා ලිපි නොලියන්නත් මා තීරණය කරගෙන හිටියා. ඒත් මා අද තීරණය කළා අනාගත ඉතිහාසඥයන්ගෙ (ජී සි මැන්දිස්ගේ ගෝලයන් නොවෙයි) දැන ගැනීම සඳහාවත් දිනපතා නැති වුවත් යම් යම් දේ ලියා තැබිය යුතු ය කියා. ඒ ලිපි ඉතා කෙටි වෙන්නත් පුළුවන්. 


අද දි අයිලන්ඩ් පත්තරේ කළුතර දිස්ත්‍රික්ක මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියල තිබුණ මැතිවරණයේ දි පොහොට්ටුව තනිව ඉල්ලුවොත් මන්ත්‍රීධුර 150ක් ලබා ගන්න පුළුවන් කියල. එය ඔහුගෙ පෞද්ගලික මතය බවත් කියල තිබුණ. ඒත් පෞද්ගලික මත කියන්න නෙළුම් මාවතේ පොහොට්ටුවෙ කාර්යාලයට යන්න ඕන නැහැ. ඒ සම්බන්ධයෙන් පොහොට්ටුවෙ සභාපති ජී එල් පීරිස්ගෙන් ඇහුව ම ඔහු කියා තිබුණෙ පක්‍ෂය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැති නමුත් පොහොට්ටුවෙ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනකුගෙ මතය එය බව. දී කිරට බළල්ලුත් සාක්‍ෂි කීවාළු. 

මෙය බැසිල් රාජපක්‍ෂගෙ අදහසක් බව කියන්න පේන බලන්න ඕන නැහැ. මේක මුට්ටිය දැමීමක්.  බැසිල්ටවත් ජී එල් පීරිස්ටවත් ජාතිකත්වයක් නැහැ. බැසිල් කියන්නෙ ගාමිණී දිසානායකගෙන් වැඩ ඉගෙන ගත්ත අයෙක්. ඔහුගෙ ශ්‍රී ල නි පක්‍ෂයට ඇති ඇල්මක් නැහැ. අද දයාසිරිගෙ ගිවිසුම් මොනව වුවත් පොහොට්ටවෙ ලොක්කන් ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ ව වැඩ කරන බවක් පේනවා. ශ්‍රී ල නි පක්‍ෂය තමයි තවමත් ජාතිකත්වයෙ ප්‍රධාන පක්‍ෂය. 

ශ්‍රී ල නි පක්‍ෂය යහපාලනයට යෑමෙන් වරදක් කළා. ඒත් මෛත්‍රිපාල යහපාලනයට යැවුවෙ බැසිල්. ඒ බව එස් බීලාත් දන්නවා. මෛත්‍රිපාල ආප්ප කාලා ගියා නොවෙයි. ඊට දින කිහිපයකට උඩ දි එස් බීලාත් දැන හිටියා මෛත්‍රිපාල යන බව. එත් අද එස් බී ඒ බව කියන එකක් නැහැ. බැසිල්ගෙ ක්‍රියා කලාපය හා අරමුණ තේරුම් නොගත්තොත් ගෝඨාභය අමාරුවෙ වැටෙනවා.  මා මේ කරුණු කියන්නෙ ආණ්ඩුව අමාරුවෙ දාන්නවත් භේද ඇති කරන්නවත් නොවෙයි. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ කඩා නොදැම්මොත් වෙන විපත ගැන අවබෝධයක් තියෙන නිසා. 

ඇමති ධුර බෙදීමේදීත් ශ්‍රී ල නි පක්‍ෂයට වරදක් වුනා. හතරක්වත් දිය යුතු තැන දෙකයි ලැබුණෙ. රාජ්‍ය ඇමති කියල තනතුරු ව්‍යවස්ථාවෙ නැහැ. ඇත්තෙ නියෝජ්‍ය ඇමති ධුර. නියෝජ්‍ය ඇමති ධුර දීමෙදිවත් ඒ වරද හරි ගස්සන්න ඕන. ගිවිසුම අනුව 32%ක් ශ්‍රී ල නි පක්‍ෂයට හිමි වෙන්න ඕන. පොහොට්ටුවට පනහක් දෙන විට ශ්‍රී ල නි පක්‍ෂයට තිස්දෙකක් දෙන්න ඕන. ඇමති ධුර ඇත්තෙ දහසය නිසා හරියට ගණන් බලන්න බැරි බව මට තේරෙනවා. 

ඒත් මැතිවරණයෙදි තරග කරන්න තීරණය කරලා තියෙන්නෙ පුටුවෙන් මිස පොහොට්ටුවෙන් නොවෙයි. දැන් බැසිල් රෝහිත කියන මුට්ටිය දාලා බලන්නෙ ගිවිසුම මොනව වුනත් පොහොට්ටුවෙන් තරග කරන්න. බැසිල්ට අනාගත ජනාධිපතිධුර අපේක්‍ෂාවක් ඇති. ඒ නිසා ගෝඨාභය යවා  පොහොට්ටුව ශක්තිමත් කරන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඔහුට අද හොඳ ම තැන එ ජා පක්‍ෂය කියල මා හිතන්නෙ. එහි නායකත්ව අර්බුදයක් තියෙනවා. ගිහින් එතන නායකයා වෙලා ජනාධිපති වෙන්න, ශ්‍රී ල නි පක්‍ෂය සමග ඇති කරගත් ගිවිසුම් කඩල ගෝඨාභයවත් අමාරුවෙ දාන්නෙ නැතිව.

බැසිල් ගෝඨාභයගෙ ජනාධිපතිධුර අපේක්‍ෂකත්වයට විරුද්ධ ව හිටියෙ. ඒත් පස්සෙ කපන්න බැරි අත ඉම්බ. ඒ සඳහා ප්‍රකාශත් කළා. දිනන්න නම් ශ්‍රී ල නි ප සමග එකතු වෙන්න ඕන කියලත් කිව්ව. ඒ ප්‍රකාශය හොඳයි.  හිතන්න එපා ගෝඨාභයට 52.25%ක් ලැබුණෙ පොහොට්ටුව හින්ද කියල. මා මුල ඉඳන් කිවුවෙ ගෝඨාභය වෙනින් ලකුණකින්, වෙනින් පක්‍ෂයකින් ඉදිරිපත් වුනා නම් හොඳය කියල. පස්සෙ සියල්ලන් ම තීරණය කළා පොහොට්ටුවෙන් තරග කරන්න.  ඒත් හිතන්න එපා මා ඡන්දය දුන්නෙ පොහොට්ටූවට කියා. මා ඡන්දය දුන්නෙ ගෝඨාභයට මිස පොහොට්ටුවකට නොවෙයි. මා හිතන්නෙ එලෙස ඡන්දය දීපු අය තවත් ඉන්නව කියා.  

මැතිවරණයෙදි අපේක්‍ෂකයන් තුන්සිය දෙනකු ඉදිරිපත් කරනවා නම් ඉන් පොහොට්ටුවට ලැබෙන්න ඕන එකසිය පනස්දෙනකු පමණයි.  ශ්‍රී ල නි පක්‍ෂයට අනූහය දෙනකු ලැබෙන්න ඕන. ජී එල් පීරිස්ට මේ ගිවිසුම් කඩන්න බැහැ. ගිවිසුම් අත්සන් කෙරුවෙ ගෝඨාභයගෙ නායකත්වයෙන්. පුටුවෙ නායකයා ගෝඨාභය. බැසිල්ට අවශ්‍ය පොහොට්ටුවෙන් තරග කරල ගෝඨාභයගෙ නායකත්වය නැති කරන්න ද? 

ගිවිසුම කැඩුවෙත් සිද්ධ වෙන්න ගෝඨාභයගෙ ආණ්ඩුව දුර්වල කිරීමක්. බැසිල්ටයි ජී එල්ටයි ඕන ගෝඨාභය ඉක්මණින් ගෙදර යවන්න ද? මැතිවරණයක දි දිනේෂ් විමල් ගම්මන්පිල වාසුදේව වැන්නන් ඉදිරිපත් වෙන්න ඕන පොහොට්ටුවෙන් ද?  මතක තියා ගන්න මහින්ද සුළඟ එහෙමත් නැත්නම් ගෝඨා සුළඟ ආරම්භ කෙළෙ බැසිල් නොවන බව. 

අද කියන්න තියෙන්නෙ එක කරුණක් පමණයි. ගෝඨාභය බැසිල්ගෙන් ආරක්‍ෂා කර ගනිමු. මේ කියමනට පොහොට්ටුවෙ අනුගාමිකයන් විරුද්ධ වේවි. මට එය ප්‍රශ්නයක් නොවෙයි. මා බැසිල්ගෙන්වත් ගෝඨාභයගෙන්වත් කිසිවක් බලාපොරෙත්තු වන්නෙ නැහැ. මට අවශ්‍ය මේ අවස්ථාවෙ ගෝඨාභය හා ආණ්ඩුව ආරක්‍ෂා කිරීම පමණයි.