Main Logo

Thursday 5 January 2023

පළාත් පාලන මැතිවරණ සූදානම

 පළාත් පාලන මැතිවරණ සූදානම

 

පළාත් පාලන ආයතනවල මැතිවරණ තියන්න යන්නෙ. රනිල් ඉදිරිපත් වෙන්නෙ නැහැ කියනවා. ඔහු කියන්නෙ රටේ සල්ලි නැහැ කියල. ඒක ඇත්ත. වගේ රනිල්ට රටේ ඡන්දත් නැහැ. රටේ ඡන්ද නැති අයකු රටේ ජනාධිපති. රටේ හැටි එහෙමයි. මේ ඡන්දෙන් කිසිම දෙයක් බලා ගන්න බැහැ කියන එක වැරදියි. මිනිසුන් ඡන්දෙ දෙන්න තියෙන උනන්දුව යම් ප්‍රමාණයකට බලන්න පුළුවන්. මේ ඡන්දෙන් ජනාධිපතිවත් පාර්ලිමේන්තුවවත් වෙනස් වෙන්නෙ නැහැ. ඉදිරියේ දි වෙනස් වෙන හැටි ගැන හෝඩුවාවක් හම්බවෙන්නෙත් නැහැ.

 

අද රටේ පළාත් පාලන ආයතන වැඩකට නැති ආයතන වෙලා. පළාත් සභා කිසිම වැඩක් නැති රැකියා ලබාදෙන ආයතන පමණක් බවට පත්වෙලා. අද රනිල් සොල්හයිම් ආදීන් ඉන්දීය ඒජන්තයනුත් එක්ක දහතුන ගැන කතා කරනවා. තව තවත් බලතල පළාත් සභාවලට දෙන්න කතා කරනවා. දීල තියෙන බලතලවලින් මොනවා කෙරිල තියෙන්නෙ. වෙන් කරන මුදලවත් වියදම් කරන්නෙ නැහැ. උතුරෙ විග්නේස්වරනුත් එහෙමයි. ඒකෙන් එකක් තේරෙනවා. ඔවුන්ට පළාත් සභා ඕන වුණෙ පළාතට සේවයක් කරන්න නොවෙයි. බලය අතට ගන්න පමණයි. තව තවත් බලය ඉල්ලන්නෙ වෙන රාජ්‍යයක් හදාගෙන රාමනාදන් අරණාශලම් සිහිනය සැබෑ කරගන්න පමණයි. පළාත් සභා පිහිටෙවුවෙ ඉන්දියාවට තමිල්නාඩු ප්‍රශ්නය විසඳගන්න මිසක් වෙන එහෙකට නොවෙයි.

 

තමිල්නාඩු නායකයන් තවමත් හිතන්නෙ මෙරට ජීවත්වන දෙමළ ජනකොටස් කොහොම වෙතත් උතුරෙ වෙල්ලලායන් තමන්ගෙ කියලා. පරණ නෑකම් තවමත් ගෙනි යන්න හදනවා. මෙරට වෙල්ලාලයන්ට අසාධාරණයක් වෙනව කියල තමිල්නාඩු නායකයන් කෑ ගහන විට ඉන්දියාවට යම් යම් පියවර ගන්න වෙනවා. ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවෙ ප්‍රතිපත්තිය තීරණය වෙන්නෙ සාධක දෙකක් මත. එකක් තමිල්නාඩු සාධකය. අනෙක ලංකාව තම අණසක යටතෙ තබා ගැනීමට ඇති වුවමනාව හා මුසු වූ බෞද්ධ විරෝධය. අද වන විට මේ කලාපයේ (දකුණු ආසියාවෙ)  මහා ඉන්දියාවක් බිහි වෙමින් තියෙනවා. මහා ඉන්දියාවෙ අණසක යටතෙ තමයි භූතානය නේපාලය වගේ රටවල් ක්‍රියාත්මක වෙන්නෙ. ඇසෑමය කියා රටක් නැහැ. හින්දු රටවල්. ඉන්දියාවට කලාපයේ මුස්ලිම් රටවල් ආකාරයට යටත් කර ගන්න බැහැ. කොහොමටත් ඉන්දියාවෙ බෞද්ධ විරෝධයක් තියෙනවා. නරක බිහාර් ප්‍රාන්තයට තව පහසුකම් සැපයුව නම්.

 

රනිල් පළාත් පාලන ඡන්දෙන් ඉවත් වෙන කොට බොරු පඬි කතාවකුත් කියල. පඬි කතා තියෙන්නෙ මෙටාවෙ විතරක් නො වෙයි. ජනමාධ්‍යවේදියො පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. ඔවුනුත් හොඳ කතා කියනවා. ඒත් නීතිඥයන් ආර්ථික විද්‍යාඥයන් කියන පඬි කතාවලට තරමක් පහළින්. රනිල් කියල තමන්ට බලය දුන්නෙ රටේ ආර්ථික අර්බුදය විසඳන්න මිසක් මැතිවරණ  තියන්න නො වෙයි කියල. කියන්නෙ 2024 හා 2025 ඡන්ද තියෙනකම් ඔහු ආර්ථික අර්බුදය විසඳන්න කටයුතු කරන බව.

 

ඔය ආර්ථික අර්බුදය රනිල්ට විසඳන්න බැරි බව රනිලුත් දන්නවා. පරගලයෙන් ඔහු බලයට පත් කෙළෙ එක එක කාරණයකට, සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන්න බැරි නම් හැකි තාක් දුර්වල කරන්න. පරගලය බටහිරයන්ගෙ සැලසුමකට අනුව ක්‍රියාත්මක වුණෙ. ඔවුන්ට ඉන්දියාවෙ සහායත් ලැබුණ. ගෝඨාභය ඉවත් කරන්න. පරගලය හදිසියේ ඇති වුණු එකක් නො වෙයි. සර් ෆේල් ව්‍යාපාරය ආරම්භ වුණෙ ගෝඨාභය පත් වෙලා මාස දෙකක් යන්න කලින්. කාදිනල්තුමාගෙ මහා මොළ ව්‍යපෘතිය ඊට ටික කාලෙකට පස්සෙ ඇති වුණෙ. රනිල් අවුරුද්දක් විතර පාර්ලිමේන්තු එන්නෙ නැතුව ඉඳලා ආවා. කොවිඩ් වසංගතය, සංචාරක ව්‍යාපාරය කඩා වැටීම, උන්ඩියල් මගෝඩිය, අපනයන මගින් රටට එන්න තියෙන මුදල් පිටරට නැවැත්තීම, හොරා ව්‍යාපෘතිය එක දවසකින් ඇති වූ දේ නො වෙයි. බටහිරයන්ටත් ඉන්දියානුවන්ටත් ක්‍ෂණික   අවශ්‍ය නන්දිකඩාල් පරාජයෙ පලිය ගන්න. ජාතික ව්‍යාපාරය කඩා කප්පල් කරන්න. පඬි නැට්ටන්ට තමන් වශයෙන් කිසිවක් කරන්න බැරි වුණත් බටහිරයන්ට හෝයියා කියනවා.

 

රනිල් ආර්ථික අර්බුදය විසඳීම පැත්තකට දාල දහතුනට එහා යන්න හදනවා. රනිල් හරියට නම් කරන්න ඕනෙ පළාත් පාලන ආයතන ඡන්දෙන් ඉවත් වෙන එක නොවෙයි. දහතුනට එහා යෑමට මහජන කැමැත්තක් තියෙනවා කියා බැලීමට එය ඉදිරියට  දමා ඡන්දෙට ඉදිරිපත් වීමයි. රනිල් වෙනුවට රනිල්දාස ඉදිරිපත් කරනවා ජාතික ව්‍යාපාරය කඩා කප්පල් කිරීමට. රනිල්දාසටවත් ඊනියා ජන බලවේගවලටවත් ජාතිකත්වයක් නැහැ. පඬි නැට්ටන් මේ වෙලාවෙ බොරු කතා හදාගෙන වි පෙරමුණට හෝයියා කියන්නෙ එහි කිසිම ජාතිකත්වයක් මේ වන විට නැති නිසා. අසු ගණන්වල වි පෙරමුණට යම් ජාතිකත්වයක් තිබුණා. බොරු සමාජවාදයත් එක්ක මිශ්‍ර වෙච්ච එකක්. සෝමවංශ අමරසිංහ පක්‍ෂයෙන් ගියාට පස්සෙ රනිල්දාස යටතෙ වි පෙරමුණට කිසිම ජාතිකත්වයක් නැහැ. ඔවුන් අද ජාතිකත්වයට විරුද්ධ ක්‍රියා කරන්නෙ.

 

පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පැවැත්වෙන්න එවැනි පසුබිමක. අද ඇත්තේ යම් ජාතිකත්වයක් ඇති සංධානයක් බිහි කර ගැනීමේ අවශ්‍යතාවයයි. එහි දී ජාතිකත්වය ගසා කා බලයට ඒමට උත්සාහ දරණ සර්පයන්ට රිංගා ගැනීමට කිසිම ඉඩක් නොදෙන්න වග බලා ගන්න ඕන.