Main Logo

Saturday 7 January 2023

සෙනසුරා හා අපි

සෙනසුරා හා අපි


පඬි නැට්ටන්ට වීරයන් වීමට කළ යුතුව තිබුණේ සිංහල බෞද්ධ සංස්කෘතියට ගැරහීම පමණයි. මෙරට ඊනියා බුද්ධිමය නායකත්වය තවමත් තියෙන්නෙ සිංහල බෞද්ධ විරෝධීන්ට. එය ඉංගිරිසින් ඔවුන්ට උරුම කර දුන් එකක් මිසක් ඔවුන්ගේ දක්‍ෂතාවට ලැබුණක් නො වෙයි. ඉංගිරිසින්ගේ අධ්‍යාපන ක්‍රමයෙහි එය අංගයක් ව තිබුණා. සිංහල බෞද්ධ විරෝධීන් මුළුමනින් ම බටහිර උගතුන් බුද්ධිමතුන් මත යැපුනවුන්. බටහිර උගතකුගේ බුද්ධිමතකුගේ කතාවක් තමන්ට තේරෙන විධියට සිංහලෙන් කීම බුද්ධිමය කටයුත්ත ලෙස ඔවුන් දැන ගෙන හිටියෙ. ඔවුන් කියන්නෙත් තමන් අහවල් එක ලංකාවට ගෙනාවා කියලා. 


මේ බුද්ධිමය නායකත්වය විසිවැනි සියවසේ මුල ඉඳන් ඇති කෙරුණු එකක්. එහි දී භික්‍ෂූන් වහන්සේට උන්වහන්සේ අවුරුදු දහසකට වඩා ඉසිළු බුද්ධිමය  නායකත්වය නැති කෙරුණා. ඕල්කට්තුමාත් එහි දී යම් කාර්යභාරයක් ඉටු කළා. සිංහල බෞද්ධ විරෝධීන් ජනමාධ්‍ය මගින් මෙන් ම 1921න් පසු විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය විසින් ද පෝෂණය කෙරුණා. සිංහල බෞද්ධ විරෝධීන් මාක්ස්වාදීන්ට හා මාක්ස්වාදය අනුසාරයෙන් රඟදුන් සමාජවාදීන්ට ද වැදගත් කමක් ලබා දුන්නා. සිංහල සාහිත්‍යය බටහිර ඇසකින් බැලීම සිංහල බෞද්ධ විරෝධීන් අනුමත කළා. මාර්ටින් වික්‍රමසිංහ ජාතක කතාවේ ඊනියා යථාර්ථවාදයක් දැකීම පට්ටපල් බොරුවක් (සාමාන්‍ය අර්ථයෙන්) වුණත් එයට වැදගත් කමක් ලැබුණා. 


සිංහල බෞද්ධ විරෝධීන් තමන් දැනගත්තත් නැතත් බටහිර විද්‍යාවට තැනක් දුන්නා. අපේ දැනුම මිථ්‍යාවක් ලෙස හෙළා දැක්කා. තමන් අප්‍රසිද්ධියේ කේන්දර බැලුවත් ප්‍රසිද්ධියේ ජ්‍යොතිෂය බොරු යැයි කිවුවා. හෙට අනිද්දා මගේ දැනුම අනුව සෙනසුරු වක්‍රය අවසන් කර නැවතත් කුම්භයට යනවා. මා දන්නා තාරකා විද්‍යාව අනුව නම් ග්‍රහයකු වක්‍ර වීම අද දුරේක්‍ෂවලින් දැකගත හැකි සංසිද්ධියක්. මෙය සම්පූර්ණයෙන් ම සාපේක්‍ෂ කතාවක්. ග්‍රහයකු යම් ලග්නයක ඉන්නවා කියන්නේ පෘථිවිය හා අදාළ ග්‍රහයා යා කරන රේඛාව එකී ලග්නය (ප්‍රදේශය) ඡෙදනය කරන බවයි. අහස ලග්න දොළහකට නැත්නම් ප්‍රදේශ දොළහකට බෙදා තියෙනවා. ඒ ග්‍රහයන් පොළොවට සාපේක්‍ෂව චලනය වෙන වපසරිය නිරීක්‍ෂණය කර. 


ග්‍රහයන් කියන්නෙ ග්‍රහ වස්තුවලට නොවුණත් අපි මෙහි දී ග්‍රහවස්තුවල චලනය සලකමු. පොළොවේ සහ ග්‍රහවස්තුවේ චලනය අනුව ඇතැම් අවස්ථාවල ග්‍රහවස්තුව පොළොවට සාපේක්‍ෂව සාමාන්‍යයෙන් චලනය වෙන දිශාවට නොව විරුද්ධ දිශාවට චලනය වෙනවා. එසේ විරුද්ධ දිශාවට චලනය වීමේ දී ග්‍රහවස්තුව කලින් සිටි ලග්නයට යනවා. වෙනත් වචනවලින් කියනවා නම් පොළොව සහ ග්‍රහවස්තුව යා කරන රේඛාව කලින් ලග්නය නැවත ඡෙදනය කරනවා. එහෙමත් නැත්නම් ඒ රේඛාව ඒ කලින් ලග්නය ඇති ප්‍රදේශයට වැටෙනවා. ග්‍රහයකු වක්‍ර වීම කියන්නේ ඒ ආපසු යෑමටයි. ඒ සාපේක්‍ෂයි. නිරපේක්‍ෂ චලිත විශ්වයේ කොහේවත් නැහැ.  මා අහන්නෙ පැරණි සෘෂිවරුන් ඒ දැන ගත්තේ කෙසේ ද කියා. සෘෂි කියන වචනයේ තේරුම දකින්නා කියන එක. සෘෂිවරුන්ට දෙඇස්වලින් (දුරේක්‍ෂවලින්) පමණක් නොව වෙනත් ආකාරයකටත් දැක ගන්න පුළුවන්කම තිබී තියෙන බව පැහැදිලියි. පඬි නැට්ටන්ට කරන්න පුළුවන් බටහිරයන්ට දකින්න බැරි දේට කරන්න බැරි දේට හිනහවීම පමණයි. 


මා නම් බලන් ඉන්නෙ තව ටික දවසකින් සෙනසුරා ආපසු කුම්භයට එනකම්. සෙනසුරා මගේ හොඳ ග්‍රහයෙක්. සෙනසුරා මගේ කේන්දරේ  හතේ ඉන්නෙ. මා දැන් විවාහ වෙලා අවුරුදු පනස් දෙකක් වෙනවා. සෙනසුරාගෙ පිහිටෙන් මට වරදක් වෙලා නැහැ. මගේ කේන්දරේ පඬි නැට්ටන්ට සිංහල බෞද්ධ විරෝධීන්ට අපලයි කියන එක නම් අමුතුවෙන් කියන්න ඕන නැහැ. කුම්භෙ මගේ ලග්නෙ නූණත් රටේ ලග්නෙ කියනවා. 


ඉංගිරිසින් බ්‍රවුන්රිග් යටතෙ පටන් ගත්ත ව්‍යාපෘතිය වුණෙ සිංහල බෞදධ සංස්කෘතිය නැති කරන එක. බ්‍රවුන්රිග්ගෙ ලග්නෙ මොකක් ද කියල දන්න කෙනෙක් ඉන්නවා ද? සුනක්ගෙ ලග්නෙ වුණත් කමක් නැහැ. අර හැත්තැපහ සමරන්න රනිල් කාවද එක්ක එන්නෙ. ඉංගිරිසින් රනිල් දා ගත්තෙත් තම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න. සිංහල බෞද්ධ විරෝධීන් මොන බොරු කිවුවත් රනිල්ට කැමතියි. ඔවුන් රනිල්දාසට නම් ප්‍රසිද්ධියේ ම කැමතියි. රනිල් මොකෝ රනිල්දාස මොකෝ.  


ඉංගිරිසින් ප්‍රධාන බටහිරයන් ගෝඨාභයවත් මහින්දවත් පැන්නුව. පඬි නැට්ටන් ඒක තමන්ගෙ වැඩක් කියන්නෙ අර අලින්නෙ අපේ වැඩ කියන්න වගේ. බටහිරයන් නන්දිකඩාල් පරාජයෙ පළිය ගත්තෙ. සීතාවක රාජසිංහ පෘතුගීසීන්ට ගැහැවුවට පස්සෙ බටහිරයන්ට හොඳම පහර දුන්නෙ මහින්ද රාජපක්‍ෂ. සරත් ෆොන්සේකා හමුදාව මෙහෙයෙවුවා. ගුවන් හමුදාවෙනුත් විශේෂයෙන් නාවික හමුදාවෙනුත් ඔහුට අනගි සහායක් ලැබුණා. එහෙත් අමතක කරන්න එපා මෙහෙයුමට දේශපාලන නායකත්වය දුන්නෙ මහින්ද කියන එක. මහින්ද නැත්නම් අදත් කොටි කොළඹ බෝම්බ පුපුරවනවා, නැත්නම් උතුරෙ වෙන ම රාජ්‍යයක් හදාගෙන. කොටි වෙනුවෙන් අන්තිම මොහොතෙත් එංගලන්ත ප්‍රංශ විදේශ ඇමතිවරු මහින්ද හම්බවෙන්න ඇඹිලිපිටි ගියා. 


ඒත් බටහිරයන් රාජපක්‍ෂලාට හොරු කියලා මතයක් හැදුවා. ඔවුන් හොරකම් කරයි කියමු. මූල්‍ය පරිපාලනය අනාගත්ත කියමු. ඒත් ආර්ථික අර්බුදය කොවිඩ් වසංගතය හරහා ආවෙ ඒ නිසා නොවෙයි. අපි අඩු තරමෙන් 1953 ඉඳන් ණයට කාපු නිසා. අපි අපේ තරමට වඩා පිම්බුණ නිසා. ඊනියා සමාජවාදි අදහස් නිසා. ඔය සමාජවාදී අදහස් නිසා දියුණු වෙච්ච රටක් කියන්න. මා කියන්නෙ අද දියුණුව කියන තේරුමෙන්. 


මා පොඩි කාරණයක් කියන්නම්. එකල පෞද්ගලික බස් සමාගම් තිබුණ. අපි ඒව සමාජවාදයක් නාමයෙන් ජනසතු කළා. කවුරු හරි කියාවි ඒක සමාජවාදය නොවෙයි කියල. කමක් නැහැ. දැන් අද නැවතත් පෞද්ගලික බස් තියෙනවා. අර බස් සමාගම් තිබුණ නම් මොකක් ද වෙන්න තිබුණෙ. අද ඔය තියෙන පෞද්ගලික බස් ජනසතු කරන්න කියල කවුරුන්වත් ඉල්ලන්නෙ නැත්තෙ මොක ද? දැන් ජනසතු සටන් පාඨය ඇහෙන්නෙ නැහැ. සෙනසුරා මොනව කරනවා ද දන්නෙ නැහැ. 


රනිල් තමන්ට භාර දුන්න ප්‍රශ්නෙ විසඳන්නෙ නැතුව දහතුන ගැනයි ඊනියා ඩයස්පොරාව ගැනයි කියවනවා. ඒ අතර සිංහල බෞද්ධ විරෝධීන් දිගට හරහට බුදුදහමට සංඝයා වහන්සේට සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙන්න පටන ගත්ත. සිංහල බෞද්ධ සංස්කෘතිය නැති වෙන්න අවස්ථාව ආවා. කිසිම ජාතිකත්වයක් නැති රනිල්දාසවත් කරළියට ගෙනාවා. විජේදාස වගේ බහුශ්‍රැතයන් සිංහල බෞද්ධ රාජ්‍යය කොහේ ද කියල ඇහුවා. රනිල් මහානායක හාමුදුරුවන්ට මහානායක කිවුව. සිංහල බෞද්ධ සංස්කෘතියට කිසිම ශක්තියක් නැහැ කියල පඬි නැට්ටන් කිවුව. සෙනසුරා රනිල්දාසට ඉස්සෙල්ල සේපාල් එවුවා. දැන් පුංචි ඡන්දෙ තියෙනවා. රනිල්දාසයි විජේදාසයි සේපාල්ට විරුද්ධ වෙලා. සෙනසුරා රවටන්නෙක් ද? මා හිතන්නෙ 2025 මුල වෙනකම් සෙනසුරා කුම්භයේ. වැරදි නම් මට සකර්බර්ග් මගින් පණිවුඩයක් එවන්න.