Main Logo

Friday 27 January 2023

පඬි නැට්ටෝ ශිල්ප දක්වති

 පඬි නැට්ටෝ ශිල්ප දක්වති

 

ගෝඨාභය ගැන ලියන්න පටන් ගත් ලිපි පෙළ තාවකාලික නතර කරන්න වෙලා. විශ්වවිිද්‍යාල ආචාර්යවරුන් හා පොදුවේ මෙරට උගතුන් ගැන යමක් කියන්න ඕන නිසා. මා මෙයට පෙර කෙටි සටහනක් පළ කළා ආචාර්යවරුන් සම්බන්ධයෙන්. එයට ප්‍රතිචාර දැක්වීමට ඉඩ දුන්නා. මට ඉඳහිට පඬි නැට්ටන්ගේ තරම මතක් කර ගන්න ඕන. මේ පඬි නැට්ටන් දන්නේ ඔවුන්ගේ ආචාර්ය පඬි නැට්ටන් මා ගැන කියා ඇති කරුණු.

 

බටහිර විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් කියන්නේ මූලික වශයෙන් දැනුමක් සංස්කරණය කරන්නන්. ලංකාවේ  ඉන්නෙත් බටහිර විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු කියනවා. එහෙත් එවන් කිසිවකු පසුගිය අවුරුදු සියයක (1921 විශ්වවිද්‍යාල ආයතනය ඇරඹීමෙන් පසු) කාලයක මා දන්න තරමින් බිහි වෙලා නැහැ. විශ්වවිද්‍යාලවල පමණක් නො වෙයි ඉන් බාහිරවත් නැහැ. මා කියන්නේ නැහැ මා එවැන්නක් කර තිබෙනවා කියා. මට එහෙම කරන්න බැරි බව මා දැන ගත්තේ මෙයට අවුරුදු පනස් තුනකට පමණ ඉහත දී. විද්‍යාඥයකු වීමට එංගලන්තයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයට මා ගියේ 1969 ජනවාරි මාසයේ. මාස කිහිපයක් යන විට මට වැටහුණා මට විද්‍යාඥයකු වීමට බැරි බව. මා ආපසු ලංකාවට යෑමට තීරණය කළා.

 

එකල මට දැන ගන්න ලැබුණා විද්‍යාඥයන් ගැන. ඉන් දෙදෙනකු මා පෞද්ගලික දැන හිටියා. එක් අයකු මගේ උපදේශක මහාචාර්ය මැක්‍රේ. අනෙක් තැනැත්තා මහාචාර්ය ලින්ඩන් බෙල්. ඔහු සසෙක්ස් විශ්වවිද්‍යාලයට සම්බන්ධ අසළ පිහිටි ග්‍රීනිච් නිරීක්‍ෂණාගාරයේ වැඩ කෙළේ. ඒත් ඔහුත් නිරීක්‍ෂකයකු නොව ප්‍රවාදාත්මක විශ්වවේදියෙක්. මා සසෙක්ස් විශ්වවිද්‍යාලයට ගියේ වාරයක් පහුවෙලා. වන විට මහාචාර්ය මැක්‍රේ විශ්වවේදය පිළිබඳ තම දේශන මාලාව පවත්වා අවසන්. සසෙක්ස් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා මධ්‍යස්ථානයේ රෙගුලාසි අනුව මා විශ්වවේදය පිළිබඳ වාචික පරීක්‍ෂණයෙන් සමත් වෙන්න ඕන. පරීක්‍ෂණයේ පරීක්‍ෂකවරුන් මැක්‍රේ හා ලින්ඩන් බෙල් මහාචාර්යවරු. මහාචාර්ය මැක්‍රේ මගෙන් ඇහුවා පරීක්‍ෂණයට එවර පෙනී හිටිනවා නැත්නම් ඊළඟ වසරේ තම දේශනවලට සහාභාගි වීමෙන් පසුව පෙනී සිටිනවා කියා. මා එවර පෙනී සිටින්නම් කිවුවා. මා විශ්වවේදය පිළිබඳ යමක් ලංකාවේ දී දැනගෙන හිටියා.

 

ඔවුන් දෙදෙනා මගෙන් පැයක් පමණ ප්‍රශ්න ඇහුවා. මා උත්තර දුන්නා. ඔවුන් මා පරීක්‍ෂණයෙන් සමත් කළා. එහෙත් ඔවුන්ගේ ප්‍රශ්නවලින් ඔවුන් කවුද යන්න ගැන මට අවබෝධයක් ලැබුණා. පසු කලෙක මගේ මිත්‍රයකු වූ මහාචාර්ය රොබට් ස්මිත් (ඔහු එකල තාරකා විද්‍යා මධ්‍යස්ථානයේ ආචාර්යවරයෙක්. දැනට කේම්බ්‍රිජ්හි පදිංචි ඔහු තවමත් මා සමග ලිපි ගණුදෙනු කරනවා) මා සමග පැවසුවේ තමා ලින්ඩන් බෙල් සමග සමපරීක්‍ෂකයකු ලෙස එකට කටයුතු කිරීමට බිය වූ බවයි.

 

මගේ පරීක්‍ෂකවරුන්ට අවශ්‍ය වුණේ මා කෙතරම් දුරට සංකල්ප පිළිබඳ ගැඹුරින් දැන සිටියා යන්නයි. ඔවුන් දෙදෙනා විශ්වවේදයට යමක් අලුතෙන් එකතු කළ අය. මහාචාර්ය ලින්ඩන් බෙල්ගෙන් තමයි මා පළමුවරට කර් මිතිකය (Kerr Metric) ගැන දැන ගත්තේ. මා පිළිබඳ තනිව කරන ලද අධ්‍යයනයකින් පසුව තමයි  භ්‍රමණය වන මන්දාකිණියක පළමුවෙන් අනෙක් අතට කැරකෙන වස්තුවක් යම් යම් අවශ්‍යතා සම්පූර්ණ කළහොත් එක්තරා අවස්ථාවක දී මන්දාකිණිය භ්‍රමණය වන පැත්තට කැරකෙන්න පටන් ගන්න බව දැන ගත්තෙ.

 

එහෙත් මට මහාචාර්ය ලින්ඩන් බෙල්ගේ මට්ටමට එන්නට බැරි බව වැටහුණා. මහාචාර්ය මැක්‍රේ නම් එයටත් ඉහළ මට්ටමක හිටියෙ. මා දැනට ඉන්නෙ සිලිකන් මිටියාවතෙ. ටිකක් ඈතින් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ බර්ක්ලි මණ්ඩපයේ පර්ල්මටර් කියා විශ්වවේදියෙක් ඉන්නවා. ඔහු නිරීක්‍ෂකයෙක්. ඔහු දැනට අවුරුදු විසිපහකට පමණ පෙර විශ්වය ත්වරණයක් සහිත ප්‍රසාරණය වන බව දැනගත් කණ්ඩායම් දෙකෙන් එකක ප්‍රධානියා. ඔහුට කලකට පෙර නොබෙල් ත්‍යාගය ලැබුණා.

 

මා කියන්නේ නැහැ අපි මට්ටමට එන්න ඕන කියා. එහෙත් අප පහුගිය අවුරුදු සීයෙ මොනව කරල තියෙන්නෙ. ප්‍රතිචාර දැක් වූ පඬි නැට්ටන් දන්නෙ ඔවුන් බටහිර විද්‍යාඥයන් නේ ? බටහිර විද්‍යාව පට්ටපල් බොරු නම් ඔවුන් ගැන කියන්නෙ මොකට ? ඔවුන්ට නාථ දෙවියන් දැනුම දෙනවා වගේ බුද්ධිමත් ප්‍රශ්න අහන්න පමණයි. ඔවුන් ලින්ඩන් බෙල් අහපු ප්‍රශ්නවලින් කෙතරම් වෙනස් ප්‍රශ්න අහනවා ?          

 

පඬි නැට්ටන් අහන ප්‍රශ්වල මුල ඇත්තෙ කොළඹ විශ්වවිද්‍යාලයේ අසූවේ දශකයේ ශාස්ත්‍ර පීඨයේ බිත්තිවල විශාල රතු අකුරෙන් ලියා තිබූ දෙයක්. බරකරත්තෙන් ආපහු අනුරාධපුරයට යනවා ? ලියූ අයගේ කණ්ඩායමේ ඇතැමුන් අද අචාර්ය මහාචාර්යවරුන්. පඬි නැට්ටන් ජාතිකත්වය හා චින්තනය (මා ජතික චින්තනය කියන්නේ නැහැ. එය ගුණදාස අමරසේකර කියන දෙයක්. කලක් මා එයට සම්බන්ධ හිටියා. එහෙත් අමරසේකර කිසි දිනෙක චින්තන පර්ෂදයේ සාමාජිකයකු සිටියේ නැහැ. ඔහු බුද්ධිමතෙක්. පඬි නැට්ටන් ඔහුගෙන් ප්‍රශ්න කරන්නෙ නැහැ) ගැන දැන හිටියේ එපමණයි. පසුව නාථ දෙවියන් ගැන පට්ටපල් බොරු ගැන කතා දැන ගත්තා.

 

ඔවුන්ට අනුව මා පට්ටපල් මෝඩයෙක්, පිස්සෙක්, ජාතිවාදියෙක්, ආගම්වාදියෙක්, මිථ්‍යාමත ධාරියෙක්, පසුගාමී අදහස් ඇත්තෙක්, නාකියෙක්, රාජපක්‍ෂලාගේ රෙදි හෝදන්නෙක්, කියන දේ නොකරන වංචාකාරයෙක් සහ තවත් දේ.  එක් පඬි නැට්ටකු කියා තිබුණා මා රාජපක්‍ෂලාට සහාය වීම සඳහා බටහිර විද්‍යාඥයන් ගැන වුණත් කියන අයෙක් කියා. තවත් අය අසා තිබුණා පෙරදිගින් උදාහරණයක් ගෙනාවෙ නැත්තෙ ඇයි කියලා.  බටහිර විද්‍යාව පට්ටපල් බොරු නම් බටහිර විද්‍යාඥයන් ගැන කියන්නෙ මොක කියාත් අසා තිබුණා.

 

ඔවුන් හිතන්නෙ තමන් මා මෙන් නොව විශ්වාසය මත පදනම් නොවන තාර්කික බුද්ධිමත් හිතන පිරිසක් කියා. මා කෙතරම් කිවුවත් තර්කය තරම් විශ්වාසය මත පදනම් වෙන තවත් දෙයක් නැහැ කියා ඔවුන්ට එය තේරෙන පාටක් නැහැ. සියල්ල පැත්තක තියා A=B හා B =C නම් A=C බව තාර්කික සාධනය කරන්න. මා මිය යන තුරු කල් දෙන්නම්.

 

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ට අද බදු නිසා වැටුප අඩු වෙලා ජීවත් වෙන්න බැරි තත්වයකට ඇවිත් කියනවා. අර කෙටි සටහනෙන් මා කිවුවෙ මොකක් කියන එක පඬි නැට්ටන්ට තේරිලා නැහැ. මේ ආණ්ඩුවේ දැනට කතා කරන රාජපක්‍ෂලා ඉන්නෙ බැසිල් හා නාමල් පමණයි. අනෙක් රාජපක්‍ෂලා තරම් කතා නැහැ. මා කිසි දා බැසිල් හා නාමල් වෙනුවෙන් පෙනී සිට නැහැ. ඒත් පඬි නැට්ටන්ට අනුව මා රාජපක්‍ෂලා වෙනුවෙන් බටහිර විද්‍යාඥයන් ඇද ගන්නවා. එක් පඬි නැට්ටකුට අනුව මා බයිඩ්න්ගෙ කොල්ලට බුලත් දීල! ඔවුන් මේ නිගමනවලට එන්න ඇත්තෙ තාර්කික .

 

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් ගැන මගේ ශාස්ත්‍රීය වශයෙන් ගෞරවයක් නැහැ. කියන්නෙ විශ්වවිද්‍යාලවලින් පිට ඉන්න බුද්ධිමතුන් ගැන මගේ ගෞරවයක් තියෙනවා කියන එක නො වෙයි. ඔවුන් බොහෝ විට විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න බැරි වෙච්ච අය. එහෙම නැත්නම් ආචාර්යවරයකු වෙන්න සුදුසුකම් නැති අය. ඇතැමුන් ආචාර්යවරුන් වීමට ඔය රාජපක්‍ෂලාගෙන් ලියුම් අරගෙනත් බැරි වෙච්ච අය.

 

අපි තව ටිකක් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය ගැන, එහි ආරම්භය හා සටන් ගැන,  ආචාර්යවරුන්ගෙ මධ්‍යම පාංතික ජීවන රටාව ගැන, අපේ ගෙදර වටේ ඇති සර්පයාගේ අඩි දොළහේ තාප්පය ගැන, සර්පයන් ගැන, තර්කය ගැන ඉදිරියේ දී කතා කරමු.