Main Logo

Sunday 8 January 2023

කවුද ෆේල් හෙවත් ගෝඨාභයගෙන් පසු

 කවුද ෆේල්  හෙවත් ගෝඨාභයගෙන් පසු

 

බොහෝ දෙනා මා කියන දේ පිළිගන්නා එකක් නැහැ. කොහොමත් මා ලියන්නේ කාගේවත් පිළිගැනීම සඳහා නො වෙයි. මගේ අදහස් මා ලියනවා. මා දිනෙන් දින නිරවුල් වෙනවා. පඬි නැට්ටන් නම් කියා තිබුණේ තමන්ට නිරවුල් වීමට දෙයක් නොමැති බවයි. ඔවුන් එතරම් අවුල්.

 

දැන් පුංචි ඡන්දෙට නාම යෝජනා පිළියෙළ කරන කාලෙ. ඡන්දෙට කොහෙන් හරි සල්ලි හොයා ගන්න වේවි කියා හිතෙනවා. සල්ලි අච්චු ගහන්න හරි වෙයි. ජාමූල සල්ලි අච්චු ගහන්න එපා කියාවිද? ප්‍රශ්නයක් නැහැ. රනිල් වගේ රනිල්දාසත් ජාමූල සමග හොඳයි. දැන් කාට කාටත් ජාමූල නැතුව බැහැ. ජාමූල යන්නෙ නැතුව වෙනත් විකල්පයක් නැහැ කියල හැමෝම වගේ කියනවා. වෙනත් විකල්ප තියෙනවා. ඒත් මධ්‍යම පංතිය ඒවාට කැමති නැහැ. දේශපාලනඥයන් විකල්ප ගැන කතා කරනවටත් බයයි.  මධ්‍යම පංතිය නැතුව ඡන්ද දිනන්නත් බැහැ. ඡන්ද නැතුව බලයට එන්නත් බැහැ. දේශපාලනය කරන්නෙ බලයට එන්න. නැත්නම් අප කැමති අය බලයට පත් කරන්න.

 

ඔය මොන කතා කිවුවත් බලයට ඒමට ජාතිකත්වයත් ඕන. මධ්‍යම පංතිය ජාතිකත්වය වඩා වැදගත්. මධ්‍යම පංතියෙත් බහුතරය  ජාතිකත්වය වටා  රොක් වෙනවා. වගේ ඔවුන් රොක් මියුසික් වටාත් රොක් වෙනවා. රොක් දැනගෙන නො වෙයි. නොරොක් වෙන්න බැරි නිසා. මා මෙහි දී රොක් සංගීතය ගැන කියන්නෙ සංකේතයක් හැටියට පමණයි. මේ තමයි මධ්‍යම පංතියෙ ප්‍රශ්නය. ඔවුන් කැමති විධියට නම් කියන්න ඕන කේක් එක තියාගෙන කන්නේ කොහොමද කියල. ඒත් ඔවුන්ට තේරෙන විධියට නම් කියන්න ඕන රැවුලයි කැඳයි දෙක බේරා ගන්නෙ කොහොමද කියන එක. කවද කාපු කේක් කියලත් කියමනක් තියෙනවා. මා නම් කැඳත් බොනවා කේකුත් කනවා, රැවුල කපනවා. 

 

ජාමුලට නම් ඕන ජාතිකත්වයක් නැති මධ්‍යම පංතියක්. සඳහා ඔවුනට ඉන්නෙ සුළුතරයක්. අර පඬි නැට්ටන්. ඒත් ඔවුන්ට ජනමාධ්‍ය තියෙනවා. ජනමාධ්‍ය හිතන්නෙ අප මෝඩයන් මිථ්‍යා මතධාරීන් පසුගාමී දැක්මක් ඇතියවුන් කියා. ජනමාධ්‍යට අනුව පඬි නැට්ටන් විද්වතුන් ඉදිරි දැක්මක් ඇතියවුන් බුද්ධිමතුන් තාර්කිකයන්.  දැන් පඬි නැට්ටන්ට මෙටාව යූටියුබ් සහ තවත් දේ තියෙනවා. ජාමූලට කිවුවට මෙහි දී ඉන් බටහිරයන් නියෝජනය වෙනවා. ජාමුල ඡන්දෙට සල්ලි අච්චු ගහන්න ඉඩ දෙන්න පුළුවන්. ඔවුන් හිතනවා ඔවුන්ගෙ අනුගාමික රනිල්දාසට ඡන්ද ටිකක් ලැබෙයි කියල. පඬි නැට්ටන් රනිල්දාස වෙනුවෙන් නිදි මරාගෙන වැඩ. රනිල්ට ඡන්ද නැති වුණාට ජාමූලට ප්‍රශ්නයක් නැහැ. ඔහු ජනාධිපති. ඡන්ද නැති ජනාධිපති. ජාමුලෙ ජනාධිපති.

 

රනිල්දාස කැලේ මාරු කළාට පුල්ලි මාරු කරල නැහැ කියා මා කියන්නෙ නැහැ. අද වි පෙරමුණක් නැහැ. ඒක මැරිලා. ඕන නම් ටිල්වින් සහෝදරයට ඒක කරේ තියන් රට වටේ යන්න පුළුවන්. පැරණි මාක්ස්වාදී පක්‍ෂවලට සිද්ධ වෙච්ච දේ වි පෙරමුණටත් සිද්ධ වෙලා. මාක්ස්වාදී සමාජවාදය වැඩ කරන්නෙ නැහැ. වි පෙ හැව ඇරල ජනතා ජන බලවේගය වෙලා. ඒක කැලේ මාරු කිරීමක් නො වෙයි. පුල්ලි මාරු කිරීමකුත්. අද ධනවාදය ලිබරල්වාදය සමාජවාදය කතා හරියන්නෙ නැහැ. මා නම් එය දැක්කෙ අවුරුදු හතළිහකටත් පෙර.  ජනතා ජන බලවේගයෙ ඇති සමාජවාදයක් නැහැ. නිකමටවත් සමාජවාදී ජන බලවේගය කියා එය නම් කරල නැහැ. අද සමාජවාදය, විමුක්තිය, සමසමාජය වගේ වචන හරියන්නෙ නැහැ.

 

ජාමූල (බටහිර) මොනව කරන්න බලන් හිටියත් කර ගන්න බැරි වුණා. ඔවුන් ගෝඨාභය අයින් කළා. ඒත් ජාතිකත්වය අයින් කරන්න බැරි වුණා. මා හිතන්නෙ කලිසම ඇන්දත් කුරහන් සාටකය පැළඳ ගත්තෙ නැතත් ඔහුට බොහෝ දේශපාලනඥයන්ට වඩා ජාතිකත්වයක් තිබුණා. මහින්දටත් යම් ජාතිකත්වයක් තිබුණා. එහෙත් ජාතිකත්වය අතින් ගෝඨාභයට කිට්ටු කරන්න බැහැ. නාමල් ගැන කියන්නවත් වටින්නෙ නැහැ. මෙරට හා පිටරට ජීවත්වන සිංහලයන් ගෝඨාභයගෙ ජාතිකත්වය ඉවෙන් දැක්කා. හැටනව ලක්‍ෂයක් ඡන්දෙ දුන්නෙ ජනමාධ්‍ය හින්ද නො වෙයි. බටහිරයන් ඔහු ඉවත් කළෙ බයටත් එක්ක. සර් ෆේල්, පාස්කු මොළේ ආදිය පටන් ගත්තෙ කොවිඩ් එන්න ඉස්සර. කොවිඩ් නිසා අවුරුදු හැත්තෑවක පමණ ආර්ථික අර්බුදය ඉස්මත්තට පැමිණියා. බටහිරයන් එය යොදා ගත්තා. හොරා ව්‍යාපෘතිය දියත් කළා. ගෝඨාභය එදා අර රූපවාහිනිය නැරඹීම හොඳට ගියා. නැත්නම් ඔහු පාර දිගේ ඇද ගෙන යන්නෙ. බටහිරයන්ගෙ වසන්ත උදා එහෙමයි.

 

ඒත් අද ෆේල් සර් නො වෙයි. බටහිරයන් ෆේල්. සෙනසුරා වැඩ අවුල් කරලා. අද හැමෝ වගේ නැවතත් ජාතිකත්වය ගැන කතා කරනවා. සෙනසුරා ජාතිකත්වයේ ?  අපි පරෙස්සම් වෙන්න ඕන. පුංචි ඡන්දෙන් එච්චර දෙයක් තීරණය වෙන්නෙ නැහැ. වුණත් අද බොහෝ දෙනා ජාතික සළු පිළි පැළඳ ගන්න හදනවා. රනිල්දාසට නම් කොහොමටත් ජාතිකත්වයක් නැහැ. රනිල්ට තියෙනවැයි. සජිත්ට තාත්තට තරම්වත් ජාතිකත්වයක් නැහැ.

 

පොහොට්ටුව දේශපාලන පක්‍ෂයක් නො වෙයි. එය පෞද්ගලික ව්‍යාපාරයක්. ගෝඨාභය නිසා එයට එළියක් වැටුණා. අද එළිය නැහැ. අද සංධානයක් හැදිලා. හෙට එය ප්‍රසිද්ධියට පත් කරනවා කියනවා. එහි පක්‍ෂ තුනක් තියෙනවා. ඔවුන් සියල්ලන්ම විවිධ කාලවල මහින්දත් සමග එකට හිටිය අය. ඔවුන් වෙන්වීම ජාතිකත්වය අඩ පණ කිරීමට සමත් වුණා. ඔවුන්ට යම් යම් කෙණහිළිකම් සිදුවුණු නිසයි වෙන් වුණෙ. ඒත් ඔවුන් වෙන් වීමෙන් බටහිරයන්ට ආයුධ සැපයුණා. රනිල් බලයට පත් වුණා. අද ඔවුන්ට  තම වරද නිවැරදි කර ගන්න අවස්ථාව ඇවිල්ල.