Main Logo

Wednesday 25 January 2023

ආර්ථික අර්බුදයට මා වග කියන්න ඕන

 ආර්ථික අර්බුදයට මා වග කියන්න ඕන

 

මගේ පාසල් වියේ දී බටහිර වෛද්‍යවරයකු ඉංජිනේරුවරයකු නීිතිඥවරයකු වීමට තමයි ප්‍රමුඛතාව ලැබුණේ. අද ලැයිස්තුවට තොරතුරු තාක්‍ෂණය කළමනාකරණය  එකතු වෙලා තියෙනවා. මානව ශාස්ත්‍ර ගණිතය විද්‍යාව සමාජයීය විද්‍යා ආදිය ගැඹුරින් හැදෑරීමට සිසුන් වුවමනාවෙන් පෙළඹෙන්නේ කලාතුරකින්. විද්‍යාව හැදෑරුවේ විද්‍යාඥයන් වීමට නොව බටහිර වෙදමහතුන් ඉංජිනේරුවන් වීමටයි. විද්‍යා විෂය හැදෑරීමට නොහැකි වී කලා ධාරාව තෝරා ගත් අය  විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේත් දකින්න පුළුවන්.  වියුක්තය (අමුර්තය) කොහොමටවත් බැරිවීම නිසා හරි පාසලේ විද්‍යා විෂය ධාරා නැතිවීම නිසා හරි වෙන්න පුළුවන්.

 

මා කිසිවකුගේ ජීවිතයට කිසිම බලපෑමක් කර නැහැ. මගේ අදහස් නිසා වෙනස් වූවකු නැහැ. බොහෝ දෙනා කියන්නේ මගේ කියා අදහස් නැති බව. ඉතින් මගේ අදහස් නිසා වෙනස් වෙන්න බැහැ. හැරත් මා විද්‍යාඥයකු වීමට ගොස් බැරුව ආපසු අයෙක්. මට අවශ්‍ය තිබුණේ ගුරුවරයකු හා විද්‍යාඥයකු වීමට. මට දෙකෙන් එකක්වත් කර ගන්න බැරි වුණා. මා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු සිටි බව ඇත්ත. එහෙත් මා ඉගැන්වූ දෙයක් නැහැ.

 

කොළඹ විශ්වවිද්‍යාලයේ දී මා ගවේෂකයෝ සංවිධානයේ සාකච්ඡා මෙහෙය වූ බවත් ඇත්ත. එහෙත් එයට සහභාගි වුවන්ගෙන් අති විශාල බහුතරය අද මට විරුද්ධයි. මට ගැන කළකිරීමක් නැහැ. මට කළකිරීමක් ඇත්තේ මිනිසුන් හිතන්නෙ නැති එක ගැන. මට විරුද්ධ අය සාම්ප්‍රදායික දිගට හිතනවා. මට ඉගැන්වීමට අවශ්‍ය වුණේ ගණිතයවත් භෞතික විද්‍යාවවත් නො වෙයි. අළුතෙන් හිතන්න. එහෙත් මා උගන්වලා නැහැ.

 

අපේ ගමේ මිනිහා ජී එල් පිරිස් මගෙන් ඇහුවෙ ජාතික චින්තනය උගන්වන්නෙ ඇයි කියා. ඔහුට අවශ්‍ය වුණෙ අර බටහිරයන් අපට කියා දුන් ගණිතය හා භෞතික විද්‍යාව සිසුන්ට ඉගැන්වීමට. ඔහූ ඉගැන්වීම දැක්කේ සාමාන්‍යය ලෙස. එහෙත් මා එය දුටුවේ විජාතික චින්තනය ලෙස. නිසා මා ඔහුට කිවුවේ අනෙක් අයට විජාතික චින්තනය උගන්වන්න පුළුවන් නම් මට ජාතික චින්තනය උගන්වන්න පුළුවන් කියා. මා හිතන්නෙ නැහැ මා කී දේ ඔහුට අදවත් තේරෙනවා කියා. මා එසේ කියා සති කිහිපයකට පසු ඔහු මගේ වැඩ තහනම් කළා. අවුරුදු තිහකට උඩ දි. අර රනිල් වගේ ඔහු කියයි ඔහු නොවෙයි වැඩ තහනම් කෙළෙ පාලක මණ්ඩලය කියා. ඒ්වා හොඳයි නීතිඥයන්ට. වැඩියෙන් උසාවි නොයන නීතිඥයන්ට.

 

අද මෙරට දේශපාලනය එක තැන පල්වෙනවා. සාම්ප්‍රදායික පක්‍ෂ හැම එකක් වටේ යනවා මිසක් පැහැදිලි දෙයක් කියන්නෙ නැහැ. සාම්ප්‍රදායික පක්‍ෂ කියන්නෙ පොහොට්ටුව අලියා හා දුරකථනය පමණක් නොවෙයි. මාලිමාවත් හෙලිකොප්ටරයත්. අද රටේ ආර්ථික අර්බුදය ඇති වෙලා තියෙන්නෙ මූලික වශයෙන් දේශපාලනය එක තැන පල්වෙන නිසා. අප දන්නේ එක එක දෙයයි. එය අපේ ජාතියේ ලක්‍ෂණයක්. මා හිතන්නේ දකුණු ආසියාවේ ලක්‍ෂණයක් කියා. අපට පුළුවන් අනෙකාට දොස් කියන්න පමණයි. ජවිපෙ නම් දොස් කියන්නෙ නැහැ. ඔවුන් අනෙකා මරණවා. ඔවුන්ට අනෙක් අය තරමටවත් වැඩත් බැහැ. හිතන්නත් බැහැ. වැවු දහසක් හදන්න පරාක්‍රමබාහු රජුට භාර දීලා. එතුමාගෙ තමයි වැරැද්ද. එතුමාගෙ වාසනාවට එතුමා මැරිලා.

 

මට මතක් වෙනවා එක්තරා භික්‍ෂුන් වහන්සේ නමක් කී කතාවක්. ගෙදර ළමයකු නරක් වුණොත් (පඬි නැට්ටකු අහන්න පුළුවන් නරක් වෙනවා කියන්නෙ මොකක් කියා, මට කියන්න වෙන්නෙ පැහෙන්න හදන්න එපා කියලා) අප කියන්නේ අල්ලපු ගෙදර ළමයා ආශ්‍රය කිරීමෙන් අපේ ළමයා නරක් වුණා කියා. අද පවතින ආර්ථික අර්බුදයට අපි එක එකාට දොස් කියනවා. රාජපක්‍ෂලා හොරකම් කළාය කියන එක තමයි ජනප්‍රිය කතාව. අතර අපනයනවල ඩොලර රටට නොඒම, කොමිස් ටෙන්ඩර් වංචා ආදිය හා තවත් දේ කියැවෙනවා.

 

මේ ආර්ථික අරබුදයට හේතුව මා. මගේ නිසරු මධ්‍යම පාංතික ජීවිතය සඳහා මා කොපමණ ඩොලර් පිටරට යවලා තියෙනවා ? මට ලැබුණු අධ්‍යාපනය සඳහා ඩොලර් කීයක් ගියා කියා මා දන්නෙ නැහැ. විද්‍යාව හා ගණිතය අප පාසලේත් ඉගෙන ගත්තෙ ඉංගිරිසියෙන්. සඳහා අවශ්‍ය පාඨ ග්‍රන්ථ සඳහා ඩොලර් යන්න ඇති. තවත් උපකරණ හා රසායන ද්‍රව්‍ය සඳහා ඩොලර් ගියා. ඉන්පසු විශ්වවිිද්‍යාලයේ දී. පසුව පශ්චාත් උපාධිය සඳහා රජයේ ශිෂ්‍යත්වය වෙනුවෙන් වසරකට පවුම් 520ක්, ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර, ශීතලට අඳින ඇඳුම් මිළ දී ගැනීම සඳහා දීමනාව. මගේ උපාධියෙන් රටට සිදු වූ සේවයක් නැහැ. මට අද ඇති එක් සතුටක් මා අවුරුදු තුනක් ඉන්නෙ නැතුව අවුරුද්දයි මාස අටෙන් සියල්ල නිම කර ආපසු පැමිණීම නිසා රටට පවුම් 700ක් පමණ ඉතිරි කිරීම. අනෙක් සතුට බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව පසුව හරි තේරුම් ගැනීමට හැකි වීම.

 

මා බටහිර බෙහෙත් ගැනීම නිසාත් ඩොලර් වියදම් කරලා තියෙනවා. අර සුවාදීනයන් හා ජෙප්පන් කී විධියට මගේ අලුත් ජපන් මෝටර් රථයට ඉන්ධන හා වෙනත් දේ සැපයීමට අවුරුදු හතළිහක් පමණ ඩොලර් පිටරට යැවීම සහ තවත් දේ. මා ඇතැම් විද්‍යා සඟරා මිළ දී ගැනීමට හා ජාත්‍යන්තර විද්‍යා සංගම්වල සාමාජිකත්වය තබා ගැනීමට අවුරුදු පතා ඩොලර් ගෙවීම. පරිගණකය මිළ දී ගැනීමට හා එයට වයිරස ඇතුළු වීම වැළැක්වීමට අදාළ සංගම්වලට ගෙවීමට හා තවත් දේ.

 

මා පළමු වර හෘදයාබාධය වැළඳුණු විට නම් ගියේ නාථ දේව මඬුල්ලෙන් ප්‍රතිකාර ගැනීමට. දෙවැනි වර මට එහි යන්න බැරි වුණේ මා දේවදුතිකාව සමග ඇති කරගත් මතභේදයක් නිසා. දෙවැනි වර මගේ සැත්කම සඳහා හා බෙහෙත් හේත් සඳහාත් ඩොලර් යන්න ඇති. මා ජීවත් කරවීමට එතරම් ඩොලර් ප්‍රමාණයක් වැය කිරීමෙන් රටට වූ යහපත මොකක් කියා අහන්න පුළුවන්. පඬි නැට්ටන්ට කිව යුත්තේ මගේ ළමයින් ප්‍රථම උපාධියට ඉගෙනීමට පිටරට නොයෑවූ බැවින් ඩොලර් යම් ප්‍රමාණයක් ඉතිරි වූ බවයි.

 

මා කිසිම දෙයක් නිෂ්පාදනය කර නැහැ. කැලණි සිසුන්ගේ වී වගාවේ අස්වැන්න අපට පිටරට යවන්න බෑරි වුණා. මේ ආර්ථික අර්බූදය ඇති කිරීම ගැන මා කණගාටු වෙනවා. පඬි නැට්ටන්ට අහන්න පුළුවන් අප ලෝකයෙන් වෙන් වෙලා ඉන්න ඕන කියා. අපොයි නැහැ. අපට එහෙම කරන්නත් බැහැ. අපට හිතන්නත් බැහැ. ජෙප්පන්ටත් බැහැ. ඕන නම් ඡන්දෙ දීල බලන්න.