Main Logo

Sunday 15 January 2023

අප ඉන්දියාවෙන් පැමිණි අය ද?

 අප ඉන්දියාවෙන් පැමිණි අය ?

 

පසුගිය දා ඉංගිරිසින් මෙරටට වතු කම්කරුවන් ගෙනැවිත් අවුරුදු දෙසීයයක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයක දී එක් දෙමළ ජනකොටසකට අයත් එක් දේශපාලනඥයකු කියා තිබුණා මෙරට සියලු දෙනා ඉන්දියාවෙන් පැමිණි අයගෙන් පැවත එන්නන් බව. ඔහු සමහර විට මහාවංසයේ විජය පුවත අනුව එසේ කියනවා වෙන්න පුළුවන්. විජය පුවත සිංහල ජාතිය බිහි වීම පිළිබඳ කතාවක් කියනවා. සෙනරත් පරණවිතාන මහතාත් තවත් කතාවක් කියනවා. කතා සියල්ලේ යම් යම් තොරතුරු තිබෙන බව පැහැදිලියි. එහෙත් විජය පැමිණීමට පෙර මෙරට ජනාවාස නොතිබු බවක් හරි මෙරට ජනයා වාසය නොකළ බවක් හරි කියන්න බැහැ.

 

ඇතැමුන් කියන විධියට ලංකාව ඉන්දියාවෙන් නැත්නම් භාරත භූමියෙන් වෙන් වෙලා තවම අවුරුදු හත්දාහයි. බටහිර විද්‍යා මතයක්. එයත් පිළිගන්න අමාරුයි. බටහිර විද්‍යාව පට්ටපල් බොරු නිසා නො වෙයි. මුසාවක් වීමට ඇති ඉඩකඩ වැඩි නිසා. මුසාව හා බොරුව අතර වෙනසක් තියෙනවා. අප කියන්නෙ බොරු. අප කිසිවකුටවත් බොරු නොකියා ඉන්න බැහැ. අප දැනුම යැයි සලකන සියල්ල බොරු නැත්නම් මායාවන්. බුදු බණ අනුවත් එහෙමයි. මට සූත්‍ර දේශනා උපුටා දක්වන්න බැහැ. එහෙත් මේ සියල්ල අවිද්‍යාව නිසා සංස්කරණය කෙරෙන දේ බව ධර්මයට එකඟයි. පන්සිල් ගන්න විට අප කියන්නේ මුසාබස් කීමෙන් වළකින බවයි. මා කලකට පෙර මේ සියල්ල පැහැදිලි කරල තියෙනවා.

 

ලංකාව භාරත භූමියෙන් වෙන් චලනය වීමේ වේගය කිසිවකු ගණනය කර තියෙනවා කියා මා දන්නේ නැහැ. එය නියත වේගයක් ත්වරණයක් සහිත වේගයක් මන්දනයක් සහිත වේෆයක් කියා දන්නේ නැහැ. තවමත් ලංකාව භාරත භූමියෙන් ඇතට යනවාද? පහුගිය අවුරුදු දෙදහස් පන්සීයක පමණ කාලයෙහි ලංකාව කොපමණ  දුරක් භාරත භූමියෙන් ඈතට ගොස් තියෙනවා ? මා පිළිතුරු බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මගේ අදහස් නිරවුල් කර ගැනීම සඳහා මා ප්‍රශ්න අසනවා.

 

කොහොම වුණත් මහාවංසයේ කතාවෙන් හා සෙනරත් පරණවිතාන මහතාගේ කතාවෙන් කියැවෙන එක් කරුණක් නම් මෙරටට අවුරුදු දෙදහස් පන්සීයකට පමණ ඉහත වත්මන් ඉන්දියාවේ නැගෙනහිර වෙරළෙන් මෙන් බටහිර වෙරළෙන් පන්ජාබය හා හර්යානා ප්‍රාන්තයේ පුණ්ඩ්‍ර ප්‍රදේශයෙන් මෙරටට ජනයා සංක්‍රමණය වී තිබෙන බවයි. ඔවුන් ඇතැමකුට සිංහ කතාවක් තියෙනවා. ගැන විස්තරයක් මා ලියු සිංහබාහු ප්‍රවාදයේ සඳහන් වෙනවා.

 

අපේ පරම්පරාවේ අයත් රාජස්ථානය පැත්තේ මුලින් හිටපු අය. ඨකුර්ලා අදත් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල දකින්න පුළුවන්. එහෙත් අපට ඔවුන් සමග ඥාති සම්බන්ධකම් පවත්වන්න බැහැ. අපේ පරම්පරාව ලංකාවට පැමිණ අවුරුදු දාහකට ආසන්නයි. පරම්පරා තිහකට වැඩියි. මහාවංසය අපේ ආදිම මුත්තා ගැනත් කියනවා. අපට පසුවත් විවිධ පුද්ගලයන් වත්මන් කේරළ කර්ණාටක තමිල්නාඩු  සීමාවෙන් මෙරටට පැමිණ තියෙනවා. දහතුන්වැනි දහහතරවැනි සියවස්වල.

 

එයට අමතර ස්වර්ණභූමි ප්‍රදේශයෙන් නැත්නම් මලයාව ආදී ප්‍රදේශවලින් ලංකාවට පිරිස් පැමිණ තියෙනවා. කලක් මලයාව අග්නිදිග ආසියාවේ ප්‍රධාන ප්‍රදේශයක්. වෙළඳාම සඳහා ලංකාව ඉන්දියාවේ කාලිංගය මලයාව එකට සම්බන්ධ වී තියෙනවා. පරණවිතාන මහතා මතයක් ඉදිරිපත් කරනවා ගුරුළුගෝමි පඬිවරයාණන් සිංහල වෙළෙන්දෙකුගේ හා මැලේ මවකගේ පුතකු කියා. අදත් අපේ ප්‍රධාන ගායිකාවන් ඉන්නවා මැලේ පියකුගේ හා සිංහල මවකගේ දරුවන් වූ.

 

මෙරට දෙමළ ජනයා ගැන මා අමුතුවෙන් කියන්නේ නැහැ. ඔවුන් සිංහලයන් මෙන් නොව තාමත් ඉන්දියාව සමග සම්බන්ධකම් පවත්වනවා. මා ඉන්දියාවට කිහිප වතාවක් ගොස් ඇති නමුත් රාජස්ථානයට ගිහින් නැහැ. අද ඨකුරල හම්බවෙන්න නම් උතුරේ හිමාචල් ප්‍රදේශයට යන්න ඕන. ගියත් ඔවුන් මා පන්න ගනීවි. කවුරු හරි සිංහ කෙනකු කාලිගයට (ඔඩෙස්සා) ගියත් වැඩි වෙනසක් වෙන එකක් නැහැ. එහෙත් මෙරට දෙමළ ජන කොටස්වලට තවමත් තමිල්නාඩුවත් එක්ක මලබාරයත් එක්ක සම්බන්ධකම් පවත්වන්න පුළුවන්. එයින් කියැවෙන්නේ ඔවුන් මෙරටට පැමිණ වැඩි කලක් නැති බවයි.

 

කුමක් වුවත් මෙරටට අවුරුදු දහස් ගණනක් තිස්සේ පැමිණි අයට සිදු වුණේ කුමක් ? සිංහයන් හරි ඨකුර්ලා හරි වෙනත් කවුරු හරි ඉන්දියාවේ හිටියත් ඔවුන් කතාකරන්නේ සිංහල නම් නො වෙයි. මාගධී භාෂාව මගධයේ කතා කළ භාෂාව ලෙස ගත්තත් අද සිංහල හා මගධයේ භාෂාව අතර සමීපකම් හොයා ගන්න එක අමාරු වැඩක්. මෙරට උතුරු පළාතේ කතාකරන දෙමළ තමිල්නාඩුවේ කතා කරන දෙමළෙන් වෙනස් වන්නේ මලයාලම් වචන නිසා බව මගේ දෙමළ කතාකරන මිතුරන් කියා තියෙනවා. මෙරට මුස්ලිමුන් කතා කරන දෙමළ භාෂාවෙත් මලයාලම් හුරුව තියෙනවා. අර කර්ණාටක කේරළ තමිල්නාඩු සීමා එවිට යමක් කියනවා.

 

සිංහලයන්ට අනන්‍ය වූ භාෂාවක් ලැබුණේ කොහොමද? සිංහල හා මාලදිවයිනේ දිවෙහි බස අතර ඇති සමීප බව සිංහල හා ඉන්දීය භාෂා අතර නැත්තේ ඇයි? අපි පසුව ගැන කතා කරමු.