Main Logo

Friday 2 March 2018

ඒකාබද්ධයේ චුන් දේශපාලනය



ඒකාබද්ධයේ චුන් දේශපාලනය


ඊයේ ලිපියේ අවසාන ඡෙදයේ සඳහන් වූ ඒකාබද්ධ විපක්‍ෂයෙ බලවතා කවුද කියා කිහිප දෙනකු අසා තිබුණා. ඒ ඩලස් අලහප්පෙරුමයි. ඔහු කියා තිබුණා පළාත් පාලන මැතිවරණයේ දී මනාප ක්‍රමයට මන්ත්‍රීන් තෝරා ගෙන ඇත්තේ වැරදියට කියා. ඔහු ස්මාට් ජාතිකවාදීන්ට අනුව නම් බුද්ධිමතෙක්. මා ටිකක් විපරම් කර බැලුවා ඔහු කියන්නේ ඇත්ත ද කියා. ඔහු මේ කතාව කියා ඇත්තේ අද මහින්දවාදීන් (බැසිල්වාදීන්) ගිලි සිටින චූන් දේශපාලනය අනුව බව පැහැදිලියි. ඔහුට යම් කිසිවකු මේ වැරදි තොරතුර ලබා දෙන්න ඇති. ඔහු මහින්දවාදීන් චූන් කිරීම සඳහා ඒ කතාව ඊනියා මාධ්‍ය සාකච්ඡාවක දී කියා තිබෙනවා. එහි දී ඔහු මුහුණු පොතේ තරුණයකු රනිල්ගේ පරණකම ගැන කීමට යොදාගත් උදාහරණ රාශියක් තමාගේ මෙන් කිව්වා. අද දයාන් ජයතිලක දි අයිලන්ඩ් පුවත්පතින් ඩලස් බුද්ධිමතාට ඒ උදාහරණ දීම පිළිබඳ තම ප්‍රසාදය පළ කරනවා. මා මුහුණු පොතේ මුහුණක් නැති තරුණයාට ස්තුති කරනවා.

ඩලස්ට උපදෙස් දුන් විද්වතා 2017 අංක 20 දරණ ප්‍රාදේශීය සභා සංශෝධිත පනත අනුව මනාප ක්‍රමයට මන්ත්‍රී සංඛ්‍යාව ගණනය කරන ආකාරය මනාප ක්‍රමයට මන්ත්‍රීන් තෝරා ගන්නා ආකාරය සමග පටලවා ගෙන තියෙනවා (කාන්තා නියෝජනය වෙන ම කරුණක්). මන්ත්‍රීන් තෝරා ගන්නා ආකාරය සඳහන් වන්නේ ඉහත කී පනතේ නොව පළාත් පාලන මැතිවරණ ආඥා පනතේ. දැන් ඩලස් තම උපදේශක අනුව අධිකරණයට ගොස් පොහොට්ටුවේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කර ගන්නවා ද?

අද මහින්දවාදීන් ඉන්නේ මුහුණු පොතේ අයකු සඳහන් කර ඇති ආකාරයට චූන් දේශපාලනයේ. පෙබරවාරි මැතිවරණයෙන් පොහොට්ටුව විශිෂ්ට ජයක් ලබා ඇති බවට අනුගාමිකයන් චූන් වෙලා. පොහොට්ටුවේ විද්වතකු කියා තිබුණා ජනවාරි අටවැනි දා ආණ්ඩුව ලබාගත් ජනවරම පෙබරවාරි දහවැනි දා නැති වෙලා කියලා. මා ඊයේ ලිපිය ලිව්වේ එසේ කීමට නම් ආණ්ඩුව යන්න මෛත්‍රිපාල නැතිව අර්ථකථනය කළ යුතු බව කීමට. පොහොට්ටුවට පෙබරවාරියේ දී ලැබී ඇත්තේ 44.6% ක පමණ ඡන්දයක්. එය 50%කට පමණක් නොව මහින්ද 2015 ජනාධිපතිවරණයේ දී ලබාගත් 48%ටත් අඩුයි. අවුරුදු තුනක් ඇතුළත ආණ්ඩුවේ බැඳුම්කර මගඩි රණවිරු දඩයම් ජීවන වියදම ඉහළ යෑම එට්කා නව ව්‍යවස්ථාව ආදී දහසක් කරුණු මැද (පඬියකු අහන්න බැරි නැහැ කරුණු දාහ මොනවද කියා. පඬියන් ගෙනෙන තර්ක අනුව එවැන්නක් ඇහුවොත් මා පුදුම වන්නේ නැහැ.) පොහොට්ටුවේ (මහින්දගේ) ඡන්ද ප්‍රතිශතය තුනකින් පමණ අඩු වෙලා තියෙනවා. බැසිල්ගේ සංවිධාන ශක්තියට මොකද වුණේ කියා මා අහන්නේ නැහැ. බැසිලිකාව (බැසිල්වාදීන් එකතුව) අන්දමන්ද කරන්න මා කැමති නැහැ.

මහින්දවාදීන්ට කෙසේ වෙතත් මා වැනි මුග්ධ ජාතිකවාදීන්ට 48%න් 45%ට අඩු වීම ප්‍රශ්නයක් වන්නේ නැහැ. අප මෛත්‍රිපාලට ලැබුණු 13%න් 10%ක් ජතිකවාදයට එකතු කරනවා. දැන් මහා දාර්ශනිකයාට ප්‍රශ්නයක් වෙලා මෛත්‍රිපාලගේ 13%. ඔහුට අනුව ඒ කඳුකරයේ හා වෙනත් සිංහල නොවන ඡන්දත් එක්ක. මා දන්නා තරමින් තොණ්ඩමන් තරග කෙළේ වෙන ම කුකුළා ලකුණෙන්. උතුරෙන් හා නැගෙනහිරෙන් මෛත්‍රිපාලට එතරම් ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ නැහැ. මහා දාර්ශනිකයාට අවශ්‍ය මෛත්‍රිපාලට ලැබුණු ඡන්දවලින් ඉතා වැඩි ප්‍රමාණයක් ජාතිකවාදීන්ගෙන් නොලැබුණු බව කීමට. අපි තර්කය සඳහා (මහා දාර්ශනිකයාට තර්ක තේරෙන්නේ නැහැ. න්‍යාය තේරෙන්නේ නැහැ. ඔහු අවශ්‍ය තැනයි අනවශ්‍ය තැනයි වගවිභාගයක් නැතිව චතුස්කෝටිකය යොදා ගන්නවා.) ඔහු කියන දේ පිළිගනිමු. එවිට ඉන් කියැවෙන්නේ ජාතිකවාදීන්ගේ ඡන්ද ප්‍රමාණය මහින්ද ලබා ගත් 45%ට වඩා අඩු බව හා රනිල් මෛත්‍රිපාල ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය 46%ක් බව. ඉන් කියැවෙන්නේ ආණ්ඩුවේ ජනවාරි අටවැනි දා ජනවරම පෙබරවාරි දහවැනි දා අහිමි නොවූ බව. මෛත්‍රිපාල කෙරෙහි ඇති විරෝධය නිසා පුහු තර්ක ගෙන ඒමෙන් අවසානයේ දී කරන්නේ රනිල් මෛත්‍රිපාල ආණ්ඩුව තහවුරු කිරීමයි. අපට අවශ්‍ය රනිල් මෛත්‍රිපාල විරසකය යොදා ගෙන මෛත්‍රිපාල ලවා රනිල් ඉවත් කිරීමටයි.

මහා දාර්ශනිකයා කියන්නේ මෛත්‍රිපාලට රනිල් ඉවත් කිරීමට අවශ්‍ය නැති බවයි. එහෙත් මා දන්නා කරුණු අනුව මෛත්‍රිපාලට රනිල් ඉවත් කිරීමට අවශ්‍යයයි. ඔහුට බියක් තියෙනවා රනිල් නැතිව ආණ්ඩුවක් පිහිටෙව්වොත් බැසිල් රනිල් එකතුව ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ආණ්ඩුව පෙරළා දාවි කියා. ඒකාබද්ධ විපක්‍ෂයෙ කිහිප දෙනකුවත් ආණ්ඩුවේ ඇමතිකම් ගන්නා ලෙස ඔහු ඉල්ලනවා. එහෙත් බැසිල් විවිධ කතා කියමින් එයට විරුද්ධ වෙනවා. බැසිලිකාව මොනවා කිව්වත් අද රනිල් ආරක්‍ෂා කෙරෙනුයේ බැසිල් විසිනුයි. බැසිල් කියන්නේ ඉදිරි මැතිවරණවල දී පොහොට්ටුව ආණ්ඩුවේ මඩ තවරා නොගෙන තරග කළ යුතු බව. එහෙත් අවුරුදු තුනක දී මඩ නැතිවත් බැසිල්ගේ සංවිධාන ශක්තිය ඇතිවත් මහින්දගේ ඡන්ද ප්‍රතිශතය තුනකින් අඩු වී තිබෙනවා. මෛත්‍රිපාලගේ ඡන්ද නොසැලකුවහොත් ඉන් කියැවෙන්නේ ජාතිකවාදීන්ගේත් ඡන්ද ප්‍රතිශතය තුනකින් අඩු වී ඇති බවයි. මහා දාර්ශනිකයා මෙන් නොව මුග්ධ ජාතිකවාදීන් ඒ බව පිළිගන්නේ නැහැ. අපට ජාතිවදීන්ගේ ඡන්ද වැඩි වී තිබෙනවා.

බැසිලිකාවේ  සමහරුනට සිංහල තේරෙන්නේ නැහැ. ඔවුන්ගේ භාෂාව ලතින් වෙන්න ඇති. මා කිසි දිනෙක කියා නැහැ මෛත්‍රිපාල හා ඒකාබද්ධ විපක්‍ෂය පළාත් පාලන මැතිවරණය සඳහා එකතු විය යුතු ය කියා. මා පාසලේ දී අවුරුදු දෙකක් ලතින් භාෂාව හැදෑරූ නමුත් මට දැන් ඒ මතක නැහැ. නැත්නම් මේ කරුණ ලතින් භාෂාවෙන් කියන්න තිබුණා. රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට ශක්තිය දෙන්න කියන එක සහ මැතිවරණ ගිවිසුම් අත්සන් කරන්න කියන එක දෙකක්. බැසිලිකාවට එය තේරෙන්නේ නැහැ. අද රනිල් ඉවත් කිරීමට විරුද්ධව කටයුතු කරන්නේ බැසිල් මිස මෛත්‍රිපාල නොවෙයි. අප මෙහි දී අමතක නොකළ යුතු කරුණ නම් මෛත්‍රිපාල වැන්නන්ට මහින්ද අත්හැර යෑමට කටයුතු කෙළේත් බැසිලිකාව බව. මා මෛත්‍රිපාල නිදොස් කරනවා නො වෙයි. එහෙත් අපට ජාතික දේශපාලනයෙ දී කළු සුදු ලෙස වෙන් කෙරුණු වීරයන් හා දුෂ්ටයන් නැහැ.

බැසිලිකාවට අනුව ඒකාබද්ධ විපක්‍ෂයෙ බුද්ධිමතුන් ඉතා තීක්‍ෂණව කල්පනා කරනවා. 2015 දී වෙන ම තරග නොකර සංධානයෙන් තරග කර මහින්දට අඩු තරමෙන් විපක්‍ෂ නායකකමවත් නැති කර ගත්තෙත් ඒ තීක්‍ෂණ බව නිසා වෙන්න ඇති. 2015 ජනවාරි අටවැනි දිනට පසුව මහින්ද ගත් තීරණ බොහොමයක් වැරදියි. අපි ඒ ගැන පසුව කතා කරමු. රනිල්ට ආණ්ඩුව භාරදීම, මෛත්‍රිපාලට ශ්‍රී ල නි ප සභාපතිතත්වය භාර දීම, දහනවයට පක්‍ෂ වීම, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ව්‍යවස්ථා මණ්ඩලයට සහභාගි වීම, 2015 වෙන ම තරග නොකිරීම, රනීිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට ශක්තිය ලබා නොදීම ඒ අතර වෙනවා. 2019ක් ගැන බලා ඉන්න අයට රනිල් 2019ක් නොදෙන්නත් ඉඩ තියෙනවා.  

රනිල් ඉවත් කිරීමට තමන් විරුද්ධ නැති බව මහින්දවාදීන් (බැසිල්වදීන්) කියනවා. විරුද්ධ නැති බව කීම එකක්. රනිල් ඉවත් කිරීමට වැඩ කිරීම තවත් එකක්. රනිල් ඉවත් කළොත් ඊනියා යහපාලන ආණ්ඩුව අවුරුද්දකින් නොව ඒ මොහොතේ ම කඩා වැටෙනවා. එහෙත් බැසිලිකාවට ඒ අවශ්‍ය නැහැ. ඔවුන් මඩ තවරා නොගෙන 2019ට යන්න හිතන් ඉන්නවා. අද එදා මෙන් නොව මඩ සෝදාගත් ගොවියා සුදුසු වන්නේ ත්‍රිරෝද පැදවීමට හා ආරක්‍ෂක සේවාවට (සෙක්‍යුරිටි) බැවින් ඔවුන් මඩ තවරා ගැනීම ගැන කිහිප වරක් හිතනවා වෙන්න පුළුවන්. කොහොමටත් කීකරු ජයසූරිය කීකරු වන්නේ රනිල්ට. මඩ තවරා නොගත්තත් මහින්ද අවුරුදු තුනක් ඇතුළත ඡන්ද ප්‍රතිශතය තුනකින් අඩු කරගෙන. මෙය මඩ පිළිබඳ ප්‍රශ්නයක් නොව ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. භාරකාර සම ආණ්ඩුවක් නව ව්‍යවස්ථාව සම්පාදනය කරන ව්‍යවස්ථා මණ්ඩලය අහෝසි කර, එට්කා අහෝසි කර, චීනයත් සමග හමබන්තොට ගැන නැවත රණවිරුවන් නිදහස් කර සිංහල  කෘෂිකර්මය හා වෙදකම දියුණු කර ජීවන වියදම යම් ප්‍රමාණයකින් අඩු කර මැතිවරණවල තනිව හෝ වෙන ම හෝ ඉදිරිපත් වුවහොත් මඩ ප්‍රශ්නයක් එන්නේ නැහැ.

අද මාර්තු දෙවැනි දා. බොහෝ ඉතිහාසඥයන් කියන විධියට 1815 මාර්තු දෙවැනි දා සිංහල ඉංගිරිසි ගිවිසුම අත්සන් කෙරුණා. 1815-18 කාලෙ සිදු වූ දේ ඊටත් වඩා භායානක ආකාරයකින් 2015-18 කාලෙ සිද්ධ වෙනවා. එදා සෙංකඩගල නිළමෙලා කරපු වැරදි අද දියවන්නාවෙ නිළමෙලා කරනවා. රනිල් ඩොයිලි අනුගමනය කරනවා.           


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-03-02