Main Logo

Tuesday 6 March 2018

තෙල්දෙණියෙන් පාර්ලිමේන්තුවට



තෙල්දෙණියෙන් පාර්ලිමේන්තුවට


තෙල්දෙණිය සිද්ධිය ගැන තොරතුරු වාර්තා වන්නේ අසම්පූර්ණ ව.  ලැබී ඇති තොරතුරුවලින් පෙනී යන්නේ මෙය රථයක් පසු කර යෑමට ඉඩ නො දීම හෝ ඉඩ ලබා ගැනීමට නොහැකි වීම නිසා හෝ එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට පහර දීමක් බවයි.  මෙහි දී මා වැරදි වන්න පුළුවන් බවත් අවධාරණය කළ යුතුයි. අවාසනාවකට පහර දුන් අය මුස්ලිම් වූ බවක් පෙනී  යනවා. මරණයට පත් වූ තැනැත්තා නම් සිංහල බව පැහැදිලියි. පහර දුන් අයත් සිංහල වී නම් හෝ දෙපැත්ත ම මුස්ලිම් වී නම් හෝ ප්‍රශ්නය මෙතරම් දුරදිග යන්නේ නැහැ.

මෙය සිංහලයන්ගේ ක්‍ෂණික ප්‍රතිචාරයක් වෙන්න පුළුවන්. මෙහි උසි ගැන්වීම් හෝ සැලසුම් හෝ තිබිණි යැයි විශ්වාස කරන්න අමාරුයි. දැන් මෙරට ජනයා කතන්දර හැදීමේ කප්පිත්තන් වෙලා තියෙනවා. මේ සිද්ධිය ගැනත් දැනට ම කතන්දර රාශියක් හදලා. ඒ කතන්දර විශ්වාස කරන්න බැහැ. එහෙත් මෙවැනි සිදුවීම් නිසා ආණ්ඩුවට හා ජෙනීවා හා වෙනත් තැන්වල ඊනියා මානව හිමිකම් අයිතිකරුවන්ට සේවයක් නම් වෙනවා. එය අඬන්න හිටපු එකාට ඇඟිල්ලෙන් ඇනීම වැනි වැඩක්. ආණ්ඩුවට මර්දනය සඳහාත් මානව හිමිකම් අයිතිකරුවන්ට සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමටත් මෙවැනි සිද්ධිවලින් අවස්ථාව ලැබෙනවා.

ඒ කෙසේ වෙතත් මේ සිද්ධියෙන් හා අම්පාරේ සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ සිංහල මුස්ලිම් විරසකය. සිංහලයන්ට නායකයන් නැති වුවත් මුස්ලිමුන්ට නායකයන් සිටිනවා. විරසකය සිංහලයන්ට අහිතකර ලෙස පළල් වෙනවා.  නැගෙනහිර පළාතෙන් පිට මුස්ලිමුන් පදිංචි වී ඉන්නේ සිංහලයන් අතර. උතුරු පළාතේ මුස්ලිමුනුත් නැහැ සිංහලයනුත් නැහැ. නැගෙනහිර පළාතෙන් 1818න් පසුව සිංහලයන් පන්නා දැමීමෙන් පසු ඉංගිරිසින් දෙමළ ජනයා ඉන්දියාවෙන් ගෙනැවිත් රුහුණු රටෙහි සිංහල රජු පදිංචි කරවා සිටි මුස්ලිමුන් අතර පදිංචි කෙරෙව්වා.

සිංහලයන් අතර පදිංචි කෙරුණේ දහහතරවැනි සියවසෙන් පසුව මෙහි පැමිණි මලයාලම් වචන සහිත දෙමළ කතාකළ මුස්ලිමුන්. අද ඇතැම් මුස්ලිමුන් සිංහල කතා කරනවා. එය හොඳ ලක්‍ෂණයක්. එහෙත් ඔවුන් අරාබියට වඩා මෙහි මුස්ලිම් සංස්කෘතිය තහවුරු කිරීමට සූදානම්. බංග්ලා දේශයේත් පකිස්ථානයේත් නැති මුස්ලම් කමක් මෙරට තියෙනවා. සිංහලයන් මේ සියල්ලට ප්‍රතිචාර දක්වන්නේ බටහිරයන්ට සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව ක්‍රියා කිරීමට උඩගෙඩි සපයමින්.

මුස්ලිමුන් සිංහලයන් අතර පදිංචි වී සිටින බැවිනුත් මුස්ලිම් ඡන්දය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ දී වැදගත් වෙනවා. ඒ නිසා සිංහල දේශපාලනඥයන්ට මුස්ලිම් ඡන්ද අවශ්‍යයයි. සිංහල දේශපාලනඥයන් සිංහලයන්ට වඩා මුස්ලිමුන් වෙනුවෙන් වැඩ කරනවා. අද මෙය විශාල ප්‍රශ්නයක් වෙලා. සිංහලයන්ට අද දේශපාලන ව්‍යාපාරයක් තබා ජාතික ව්‍යාපාරයක්වත් නැහැ. මියන්මාරයට අවුන් සාන් සු කී බෞද්ධ පැත්තට නම්මා ගැනීමට හැකි වුණා. අපට කැප්පෙටිපොළ සමයේදීත් ඒ ශක්තිය තිබුණා. එහෙත් අපට චන්ද්‍රිකා සිංහල බෞද්ධ පැත්තට නම්මා ගන්න බැහැ. කැප්පටිපොළ හා අද අතර හුඟක් දේ සිදු වී තියෙනවා.

අද අප අතරමංවෙලා. අප පෙබරවාරි මැතිවරණයෙන් මුළා වෙලා. එහි ජනවරමක් ආණ්ඩුවට නැති වුණා යැයි කියන අය ආණ්ඩුව කියන්නේ කාට ද කියා පැහැදිලි කරන්නේ නැහැ. ඒ අතර ඒ මැතිවරණයට නොයෙක් අර්ථකථන දී තිබුණා. අද ඒ අර්ථකථන දිරවා ගැනීමට නොහැකි වී තියෙනවා.

පෙබරවාරි මැතිවරණය ජනමත විචාරණයක් ආණ්ඩු පෙරළියක් ලෙස ගැනීමට යෝජනා කෙළේ මහින්ද හා පොහොට්ටුවාදීන්. මා දිගට ම කියා සිටියේ එසේ නොකළ යුතු බව.

ඇතැමුන්   ආණ්ඩුවේ ජනවරම නැති වුණා කියලා කියන්නේ 2015 ජනාධිපතිවරණය හා 2018 පළාත්පාලන මැතිවරණය සංසන්දනය කරමින්. ඔවුන් අඩුම තරමින් ඡන්ද සංඛ්‍යා පෙන්නන්නේ නැහැ. සිරිසේන ජනාධිපතිවරණය දිනුවා. ආණ්ඩුව පළාත්පාලන මැතිවරණය පැරදුණා. ඔවුන්ගේ ජනවරම නැති වීම පිළිබඳ කතාව එයයි. එය ටෙස්ට් හා 20 - 20 සැසඳීමක් කියා පඬියන්  කියන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණය ටෙස්ට් තරගයක් කර ගත්තේ පොහොට්ටුවයි.

මා කියා නැහැ කිසිම තැනක පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව දිනුම් කියා. මා කියා ඇත්තේ ආණ්ඩුව යනු රනිල් හා මෛත්‍රිපාල ලෙස ගතහොත් ජනවරම නැති වී නැති බවයි. පඬියන්  ජනවරම නැති වී යැයි කියන්නේ ආණ්ඩුව පැරදී ඇත කියා. පඬියන්  ආණ්ඩුව යන්න කුමක් දැයි පැහැදිලි කරන්නේ නැහැ. පොහොට්ටුවට ඡන්ද ලැබුණු පමණින් පළාත් සභා ආයතනවල බලය ලැබී නැහැ. ඔවුන්ට ලැබී ඇත්තේ 45%ට අඩු ඡන්ද සංඛ්‍යාවක්. ජනමත විචාරණයක් ලෙස ගතහොත් එය පරාජයක්. මෙ ඡන්දයෙන් සිංහලයන් දිනුවත් එය ක්‍රියාවට නගන්න බැහැ. ඒ මහින්ද මෛත්‍රිපාල විරසකය නිසා.  

මහා දාර්ශනිකයා ඡන්ද එකතු කරන්න බැහැ කියනවා. ඒ නිකම් හිතට එන කතාවක් පමණයි. මා ඡන්ද දෙවිධියකට  එකතු කරනවා. ඒ රනිල් මෛත්‍රි  ලෙසත් රනිල් මහින්ද ලෙසත්. රනිල් මෛත්‍රි යනු ආණ්ඩුව. මහින්ද මෛත්‍රි යනු ජාතිකත්වය සහ තවත් කොටස්. ඉන් 50%ට වඩා  ජාතිකත්ව. එය ඉදිරි මැතිවරණයක දී කාහට යනවද කියන එක නොවෙයි ප්‍රශ්නය. අද ඒ ඡන්ද ජාතිකත්ව ඡන්ද කියන එක. ඒ අනුව රනිල් ඉවත් කිරීමට මහින්දට මෛත්‍රිපාල ඉවත් කිරීමට ශක්තිය දීම යුක්තියුක්ත කරන්නත් පුළුවන්.

මහා දාර්ශනිකයාට ඇත්තේත් මෛත්‍රිපාල කෙරෙහි වෛරයක් පමණයි. ඔහුගේ වෛරයෙන් අන්ධ වූ ඇස්වලට ජාතිකත්ව ඡන්ද පෙනෙන්නේ නැහැ. ජාතිකත්වය උඩින් නොව පහළින් එකතු වී තියෙනවා. එකතු වී නැත්තේ උඩින් පමණයි.

මේ එක් අයකුටවත් ජාතිකත්වයක් නැහැ. ඔවුන්ට ඇත්තේ සිරිසේන වෛරය. එක් අයකුට අනුව මා බකපණ්ඩිතයෙක්. තවත් අයකුට අනුව මා සිරිසේනගේ කොන්ත්‍රාත් කරුවෙක්.

මා සිරිසේන නොකරන දෙයක් මහින්දට කරන්න කියනවා නො වෙයි. මහින්දට කරන්න පුළුවන් දේ එනම් රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට ශක්තිය දීමට ඔහු ඉදිරිපත් වෙන්නේ නැහැ.  (අද ඩේලි මිරර පත්‍රයෙහි සාකච්ඡාව කියවන්න). අම්පාරේත් තෙල්දෙණියේත් පාර්ලිමේන්තුවේත් වෙන දෙයින් පෙන්නුම් කෙරෙන්නේ සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට දේශපාලනික හෝ ජාතික හෝ නායකයන් නැති බවයි.     


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-03-06