Main Logo

Monday 5 March 2018

මගේ කතාව එදත් ප්‍රතික්‍ෂෙප වුණා



මගේ කතාව එදත් ප්‍රතික්‍ෂෙප වුණා


විශ්වවිද්‍යාලයක දර්ශන අංශාධිපතියකු මා ගැන කණගාටුවන බව එක්තරා වෙබ් අඩවියක සඳහන් කර ඇති බව මගේ මිතුරකු කිව්වා. මා බැසිලිකාවේ වෙබ් අඩවි කියවන්නේ නැහැ. මෙරට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් අතිවිශාල බහුතරයකට නිරවුල් ව කල්පනා කිරීමට තර්ක කිරීමට නොහැකි බවට මට අවුරුදු පනහකට වැඩි අත්දකීමක් තියෙනවා. මේ කියන ආචාර්යවරයාත් එබන්දෙක්. බැසිලිකාවේ කොළඹ විශ්විද්‍යාලයේ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ගැන මා දන්නවා. ඔවුන් ශිෂ්‍ය අවධියේ සිට ම දන්නවා. ඔවුන් නිකම් වචන පමණක් කියවනවා. ලියනවා. තර්ක කරන්න බැරි අය තර්කානුකූල අන්තයන් ගැන කියනවා. ඔවුන් සිටි තැන් ගිය තැන් දැන්  ඉන්න තැන්, ඒ තැන් මාරු කළ හැටි මට කියන්න පුළුවන්. බැසිලිකාවේ අනෙක් එක් කථිකාර්යවරයකුට සිංහල තේරෙන්නේ නැති බවත් මා දන්නවා.

පහුගිය පෙබරවාරි මැතිවරණයෙන් පොහොට්ටුව අනෙක් පක්‍ෂ සමග සංසන්දනය කරන විට වැඩි ප්‍රතිශතයක් දිනාගෙන තියෙන බව ඇත්ත. එහෙත් පොහොට්ටුවට ලැබුණේ 45%කට අඩු ඡන්ද ප්‍රමාණයක්. එයට මහරගම වැනි ප්‍රදේශවල ස්වාධීන කණ්ඩායම්වලට ලැබුණු ඡන්ද එකතු කළත් 46% ඉක්මවන්නේ නැහැ. එය 2015 ජනාධිපතිවරණයේ මහින්ද ලැබූ ඡන්ද ප්‍රතිශතය වූ 48ට අඩුයි. පෙබරවාරි ඡන්දයේදීත් මිනිසුන් ඡන්දය දුන්නේ මහින්දට මිස අපේක්‍ෂකයන්ට නොවෙයි. පෙබරවාරිය ඊනියා ජනමත විචාරණයක් ලෙස සලකන ලෙස ජී එල් පීරිස් වැන්නන් කියා හිටියා. ඔහුත් හිටපු මහාචාර්යවරයෙක්! ජනමත විචාරණයක් දිනන්න නම් 50% ක් හා එක් ඡන්දයක් අවශ්‍යයයි. පෙබරවාරි මැතිවරණය ජනමත විචාරණයක් ලෙස ගත්තා නම් එය පරාජයක්.

අර අංශාධිපති කිව්වේ ජනවාරි අටවැනි දා ආණ්ඩුවට දුන් ජනවරම පෙබරවාරි දහවැනි දා අහෝසි වූ බවයි. ඒ තමයි ඔහුගෙ කතාව මට තේරෙණ විධියට. මා පැහැදිලිව සඳහන් කර ඇති ආණ්ඩුව යනු රනිල් හා මෛත්‍රිපාල නම් ඔවුන්ට 46%ක ඡන්දයක් ඇති බව. එය පොහොට්ටුව ලබාගත් ප්‍රතිශතයට වැඩියි. මෛත්‍රිපාලට ජනවාරි අටවැනි දා දෙමළ ජනතා සංධානයේ ජ වි පෙරමුණේ මුස්ලිම් කොංග්‍රසයේ ඡන්දත් ලැබුණා. ඒ පක්‍ෂවලට පෙබරවාරියේ ලැබුණු ඡන්දත් එකතු කළහොත් එවිට ලැබෙන ඊනියා කියවීම කුමක් ද? මා නම් මේ කියවීම කියන බොරු සංකල්පය යොදා ගන්නේ නැහැ. එහෙත් එකී අංශාධිපති හා තවත් අය ඒ වචනය යොදා ගන්නවා. පෙබරවාරියේ දී පොහොට්ටුව දිනා ඇත්තේ ඒ ආකාරයටයි!  එය ජයක් ලෙස සැලකීම ම අපරාධයක්.  අංශාධිපතිලා ජනතාව චූන් කරනවා.

එය මගේ කතාව බව ඇත්ත. අංශාධිපතිටත්කතාවක් තියෙනවා. ඒ අර ජනවරම වෙනස් වීම පිළිබඳ චූන් කතාව. පෙබරවාරියෙදි ඔය කියන ජනවරමක් අහෝසි වුණෙ නැහැ. ආණ්ඩුව යනු රනිල් මෛත්‍රිපාල ලෙස ගතහොත් ආණ්ඩුව තහවුරු වෙලා.  මට මගේ කතාව අංශාධිපතිට ඒත්තු ගැන්වීමට වුවමනාවක් නැහැ. ඔහු එකල කේ එන් ජයතිලකගේ ඊනියා චතුස්කොටිකය වෙනුවෙන් පෙනී සිටියා. ජයතිලකලා නූතනත්වයට යට වූ අය. අංශාධිපති පශ්චාත්නූතනත්වයටත් යට වී හිටියා.  මා කතන්දර කියන්නේ අනෙක් අයට ඒ පිළිගැන්වීමට නො වෙයි. මට මගේ කතා කිසිවක් ජනතාවට පිළිගන්වන්නට බැහැ. පුද්ගලයන් කියවන්නේ මගේ කතාව නොවෙයි. ඔවුන්ට තේරෙන මගේ කතාවක්. එය ඔවුන්ගේ කතාවක් මිස මගේ කතාවක් නො වෙයි. ඔවුන් මගේ කතාව කියවන්නේවත් නැහැ. ඔවුන් කියවන්නේ ඔවුන්ගේ කතාවක්. ඒ ගැන මා කණගාටු වන්නේ නැහැ. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. අනෙක් අය ලියන්නේ සම්මන්ත්‍රණ පවත්වන්නේ මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කරන්නේ කුමක් සඳහා ද? හුදී ජන පහන් සංවේගය සඳහා ද? 

අද සමාජයේ පොහොට්ටු හිතවාදීන් පිළිගන්නේ අංශාධිපතිගේ කතාව හා සම්බන්ධ කතා. ඔවුන්ට මගේ කතාව විහිළුවක් වෙලා. මෛත්‍රිපාලට ශක්තීිය ලබා දීම එයටත් වඩා විහිළුවක් ලෙස මහින්දවාදීන් සිතනවා වෙන්න පුළුවන්. ජනවරම අවසන් කිරීම සම්බන්ධ කතාවලින් චූන් වන පොහොට්ටුවාදීන්ට එ සිහිනයේ ම ඉන්න පුළුවන්. ඔවුන් අවදි වන්නේ නැත්නම් මට කරන්න දෙයක් නැහැ.

මගේ කතාව අනුව රනිල් අද අද ම ඉවත් කරන්න ඕන. රනිල් ඉවත් කරන්න 2019 වන තුරු බලන් ඉන්න අය, ජනාධිපතිවරණය තරඟ කරන්න බලන් ඉන්න අය, 2019 ජනාධිපතිවරණයක් නොලැබුණෙත් කරන්නේ කුමක් ද? රනිල් නව ව්‍යවස්ථාවෙන් ජනාධිපති ධුරය අහෝසි කරාවි. එය කරන ක්‍රම රාශියක් තියෙනවා. මා ඒ එකින් එක කියන්නේ නැහැ. එයට පළමු මෛත්‍රිපාලට විරුද්ධ ව දෝෂාභියෝගයක් ගෙන ඒමේත් ඉඩකඩ තියෙනවා. මෛත්‍රිපාල ඒ සියල්ලට කලින් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතුයි.

මෛත්‍රිපාලට ඒ සඳහා  ශක්තිය නැහැ. ඔහු තවමත් ක්‍රීියා කරන්නේ චන්ද්‍රිකා කියන විධියටයි. ඇයට ඇති ජනප්‍රියතාව අත්තනගල්ලේ දී මෛත්‍රිපාලටත් දැනගන්න ලැබෙන්න ඇති. මෛත්‍රිපාල දැනගත යුතු කරුණ නම් අද ඔහුට චන්ද්‍රිකාට වඩා රටේ ඡන්ද තියෙන බව. එහෙත් බය හා දුර්වලකම උත්පත්තියෙන් ම ගෙනැවිත් ඇති මෛත්‍රිපාලට තනිව ම චන්ද්‍රිකාගෙන් කැඩෙන්න බැහැ. චන්ද්‍රිකා පිටුපස විදේශීය බලවේග ඉන්නවා.

අද රටේ ජනප්‍රිය ම පුද්ගලයා මහින්ද. ඊළඟට ගෝඨාභය. ඊළඟට අනුරවත් සම්බන්ධන්වත් බැසිල්වත් නොව මෛත්‍රිපාල. මුහුණු පොතේ පඬියන්ට එය විහිළුවක් වන්න පුළුවන්. මහින්දටත් මෛත්‍රිපාලටත් එක් කළ විට 50%ට වැඩි ඡන්දයක් තියෙනවා. ඒ ජාතිකත්වයේ ඡන්ද. අප එය අමතක කරන්නේ ඇයි? මෛත්‍රිපාලට ශක්තිය ලබා දිය යුතුයි යන්න මුහුණු පොතට විහිළුවක්. ඔවුන්ගේ කසිකබල් හපුටු බසින් ජෝකයක්. ඒ චචනය ඉංගිරිසි වචන සිංහලට ගැනීමේ රීතියටත් පටහැණියි. ඔවුන්ගෙ සීයලා කෝච් කෝච්චි කළා. ගේට් ගේට්ටු කළා. 

අද මෛත්‍රිපාල චන්ද්‍රිකගේ ග්‍රහණයෙන් ගලවා ගන්න ඕන. චන්ද්‍රිකා පිටුපස බටහිර ඉන්දීය විදේශීය බලවේග ඉන්නවා. 1994 දී අප ඒ බව කී විටත් එය විහිළුවක් වුණා. ඇගේ වෛරය නිසා ගෙනෙන පැකේජය ගැන අප කලින් ම කිව්වා. මා ඇයට විරුද්ධව කළුතර ඡන්දයටත් ඉදිරිපත් වුණා. මා අද නොව එදත් ප්‍රතික්‍ෂෙප කෙරුණා. මට දිස්ත්‍රික්කයෙන් ම මනාප පන්දාහක් පමණ ලැබුණෙ. අර අංශාධිපති නම් ප්‍රතික්‍ෂෙප වුණෙ නැහැ. ඔවුන් හිිටියෙ චන්ද්‍රිකා එක්ක. මහින්දත් හිටියෙ අපට විරුද්ධ ව.  පසුව අපට පැකේජය ප්‍රතික්‍ෂෙප කරන්න ලොකු සටනක් කරන්න සිදු වුණා. මහින්දවත් අංශාධිපතිවත් අපට එක් වුණෙ නැහැ. 

අද මෛත්‍රිපාලට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නෙ කවු ද? ඒ ශක්තිය ලබා දිය හැක්කේ කාට ද? අද රටේ ප්‍රධාන බලවේගය බවට පත් වී ඇති ජාතිකත්වය එකතු කරන්නේ කෙසේ ද? අනිද්දා විශාල ජනගංගාවක් නුගේගොඩට ඇදේවි. ගංගා ඉන්දීය සංකල්පයක්. ඉන්දීය ආධිපත්‍යයෙන් මිදී එය ඔයක් බවට පත් කර ගන්නෙ කෙසේ ද? මුහුණු පොතට එයත් විහිළුවක් ද? ඔවුන් කියන්න බැරි නැහැ ඔය ගඟට වඩා පොඩියි කියලා.      


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-03-05