Main Logo

Friday 30 March 2018

උගුරට හොරාවත් බේත් නොකෑම


උගුරට හොරාවත් බේත් නොකෑම



මුහුණු පොතේ පඬියන් ලියන කියන දේ දැක්ක ම අනුකම්පාවකුත් හිතෙනවා. ඔවුන් බොහෝ දෙනකු ක්‍රියාකාරී දේශපාලනයක නිරත වී නැහැ. සකර්බර්ග් දීලා තියෙන පහසුකම් නිසා හුදකලා පුද්ගලයන්ටත් පඬි කතා කියන්න පුළුවන්. ඒකාබද්ධ විපක්‍ෂෙ විශ්වාසභංග යෝජනාව ගෙනාවෙ මහින්ද යම් යම් ඇමතිකම් ඒකාබද්ධ විපක්‍ෂෙ අයට දෙන බවට පොරොන්දුවක් මෛත්‍රිපාලගෙන් අරගෙන නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂෙ නායකත්වය අලුත් ආණ්ඩුවක මැති ඇමතිකම් ගැනීමට කැමති නැහැ. මා නායකත්වය කියන්නෙ නිල නායකත්වයට නො වෙයි. මුහුණු පොතේ පඬියන් හිතන්නෙ මහින්ද පොරොන්දුවක් අරන් කියා!




විශ්වාසභංගය දේශපාලනය අවුල් කරලා. රනිල් ඉවත් කළ යුතුය කියන එක මගේ අදහසක් වුණත් විශ්වාසභංගය මගේ අදහසක් නො වෙයි. එහෙත් ඒ නිසා මා විශ්වාසභංගයට විරුද්ධ ව වැඩ කරලා නැහැ. මටත් අවශ්‍ය විශ්වාසභංගය සාර්ථක කර ගැනීමට. එහෙත් එහි සාර්ථකත්වය ගැන මට එතරම් විශ්වාසයක් නැහැ. ඒ නිසා ම එහි ඇති දුර්වල තැන් පෙන්වා ඒ නිවැරදි කරවීමට උත්සාහ ගන්නවා. රනිල් ඉවත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂෙ සියලු දෙනා ම එකඟ කියලා හිතන්නත් එපා.



රනිල් ඉවත් කළ යුතු ය කියා මා 2015 ජනවාරියේ දී ම කිව්වේ ඔහු නිත්‍යානුකූල ව පත් නොවූ බව ද සිතමින්. එහෙත් ඔහු දි මු ජයරත්න සිටිය දී ම පත් කිරීම නීතියට පටහැණි නොවන බව මට තේරුම් ගියා.  එබැවින් ඔහු පත් වූ ආකාරයෙන් ම ඉවත් කළ හැකි බව මා තේරුම් ගත්තා. එව බලව සංවිධානය කළ සම්මන්ත්‍රණයක මාතෘකාව වූයේ මහින්ද අගමැති කරමු යන්නයි. අගොස්තු මැතිවරණයට අප ආධාර කෙළෙත් මහින්ද අගමැති කිරීමට. අප කියා සිටියේ මහින්ද කණ්ඩායමට වෙන ම තරග කිරීමට. එසේ තරග කළා නම් අගමැති වන්නටත් තිබුණා. අඩුම තරමින් විපක්‍ෂ නායක වීමට තිබුණා. එසේ වෙන ම තරග නොකරීමේ විපාක අදටත් විඳින්න සිදු වෙලා. අගෝස්තු මැතිවරණයෙන් පසු සංධානයෙ පිරිසක් රඳවා ගැනීමට මහින්දට නොහැකි වුණා.   



මෛත්‍රිපාල දුර්වලයෙක්. ඔහුට තනි තීරණයක් ගැනීමට බැහැ. ඔහු හා රනිල් අතර විරසකයක් ඇති වුණා. එය ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්ති නිසා ඇති වූවක්. එය පෙබරවාරි මැතිවරණයට බොහෝ කලින් ඇති වූවක්. බැඳුම්කරයත් එහි දී යම් බලපෑමක් කළා. රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට අවශ්‍ය වුණත් ඔහුට ඒ සඳහා ශක්තියක් තිබුණේ නැහැ. රනිල් ඉවත් කිරීමට මහින්ද මෛත්‍රිපාලට ශක්තිය දිය යුතු යැයි අප කිව්වේ ඒ නිසයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(3) අනු ව්‍යවස්ථාව යටතේ කළ යුතු යැයි අප කියා සිටියේ. එහෙත් මහින්ද ඒ ශක්තිය ලබා දුන්නේ නැහැ. මේ 2018 පෙබරවාරි මැතිවරණයට බොහෝ ම කලින්. ශක්තිය දීම යනු මැතිවරණයක දී ඡන්දය දීම නොවන බව ඇතැම් පඬියන් තේරුම් ගත්තේ නැහැ. මා පඬියන්ට පඬියන් කියන්නේ සිවල් සමාජ ඒ නමින් හඳුන්වන්නේ නිවටයන්ට නිවටයන් කියන්නේ අද ඊයේ නොවෙයි. එකල ඒ වචනවලට විරුද්ධ නොවූ අය අද විරුද්ධ වන්නේ තමන්ගේ පඬිකම තේරුම් ගනිමින්.



2017 අග වන විට එ ජා පක්‍ෂයේ රනිල් විරෝධී කතා නැවතත් ඇරඹුණා. ඒ පක්‍ෂ නායකත්වයෙන් ඔහු ඉවත් කිරීමට. එහෙත් එ ජා ප ව්‍යවස්ථාව අනුව එය පහසු නැහැ. රංගෙ බණ්ඩාර වැන්නන්ට රනිල් සැලකුවේ නැහැ. රනිල් සලකන්නේ  කල්ලි (උපකුලක) දෙකකට පමණයි. රංගෙ බණ්ඩාරලා මේ එක උපකුලකයකටවත් අයත් නැහැ. රනිල් පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කිරීම පහසු නැති නිසා ඔවුන් විශ්වාසභංගයක් ගැන කතා කරන්න පටන් ගත්තා. ඒකාබද්ධ විපක්‍ෂයෙ ඇතැමුන් හා මෛත්‍රිපාල කණ්ඩායමේ ඇතැම් අයත් විශ්වාසභංගයට ආකර්ෂණය වුණා. ඒකාබද්ධ විපක්‍ෂය 2018 ජනවාරි වන විට විශ්වාසභංගය අතට ගත්තා. එහෙත් ඔවුන්ට එහි සංකීර්ණභාවය ගැන තක්සේරුවක් තිබුණා යැයි සිතන්න බැහැ. ඔවුන් ඒ ගැන අධ්‍යයනයක් කර තිබුණෙත් නැහැ.



ඒකාබද්ධ විපක්‍ෂෙ ඇතැමුන් එදත් විශ්වාසභංගයට කැමති වුණෙ නැහැ. ඔවුන්ගෙ මූලික තර්කය 2019 ජයගැනීමට හැකිකම තිබිය දී දැන් රනිල් ඉවත් කිරීම අවශ්‍ය නැහැ කියන එක. 2019 දී රනිල් දුර්වල අපේක්‍ෂකයකු වේය යන අදහසත් ඔවුන්ට තිබුණා. කොහොමටත් ඒකාබද්ධ විපක්‍ෂෙ නායකත්වය නව ආණ්ඩුවක තනතුරු ගැනීමට කැමති වුණෙ නැහැ. ඔවුන් කීවේ ආණ්ඩුවේ මඩ ගා ගැනීමට ඔවුන්ට අවශ්‍ය නැහැ කියා. මෙය ඊනියා ප්‍රති තර්කයක් (කවුන්ටර් ආර්ග්‍යුමන්ට්) ලෙස ඉදිරිපත් වුණා. එක් මාධ්‍ය ආයතනයක ප්‍රධානියකු ඒ බව මට කිව්වා. ඔහුත් අනෙක් එවැන්නනුත් කල්පනා කෙළේ නැහැ නව ආණ්ඩුවක් යනු පැරණි ආණ්ඩුවේ සන්තතික පැවැත්මක් නොවන බව. මුහුණු පොතේ පඬියන් මේ කිසිවක් දන්නේ නැහැ. ඔවුන් හිතනවා මහින්ද ඒකාබද්ධ විපක්‍ෂෙට ඇමති කම් දීමට පොරොන්දුවක් අරගෙන කියා. රටේ දේශපාලනයේ ගණු දෙනු (ඩීල්) තීරණය වන්නේ මුහුණු පොතේ නො වෙයි. මුහුණු පොත වැදගත් වන්නේ මැතිවරණයක දී පමණයි. එයත් සීමිත ව.



විශ්වාසභංගයට විකල්ප රාශියක් තියෙනවා. ඒ අතර (අ) රනිල් ඉවත් කෙරී මෛත්‍රිපාල කණ්ඩායමේ අයකු අගමැති වීම (මහින්ද කණ්ඩායමේ අය ඒ තනතුර භාර ගන්නේ නැහැ) (ආ) රනිල් ඉවත් කෙරී එ ජා පක්‍ෂයේ රාජපක්‍ෂ විරෝධියකු නොවන අයකු අගමැති වීම, (ඇ) රනිල් ඉවත් කෙරී එ ජා පක්‍ෂයේ රාජපක්‍ෂ විරෝධියකු අගමැති වීම, (ඈ) රනිල් ඉවත් නො කෙරීම. (අ) සඳහා ඇති සම්භාවිතාව ඉතා අඩුයි. (ඇ) සිිදු වුවහෙත් රාජපක්‍ෂලාට අනාගතයක් ඇත්තේ හිරගෙදරයි. (ඈ) සිදු වුවහෙත් දැනට ගෝඨාභයට හැර අනෙක් රාජපක්‍ෂලාට අනතුරක් නැහැ. (අ) හැරෙන්නට වෙනත් දෙයක් සිදු වුවහොත් මෛත්‍රිපාලට දේශපාලන අනාගතයක් නැහැ. (අ) සිදු වීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. මෛත්‍රිපාලගේ දේශපාලන අනාගතය අපේ ප්‍රශ්නයක් නො වෙයි. අපේ ප්‍රශ්නය රටට වඩා යහපත් විකල්පය කුමක් ද යන්නයි. අප කිසි දිනෙක පෙබරවාරි මැතිවරණයේ බලය ලැබීම ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ. එහෙත් අද බොහෝ ආයතනවල මෛත්‍රිපාල කණ්ඩායම් හා පොහොට්ටු කණ්ඩායම් එකතුවෙලා බලය ගැනීමට. ඒ ගැන පඬියන් කතාවක් නැහැ.  



අද (අ) සිදු  වීමට ඇති ඉඩකඩ අඩුයි. ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කළ යුත්තේ (අ), (ආ) වෙනුවෙන්. මා මෙයින් කියන්නේ එ ජා පාක්‍ෂිකයකු අගමැති කිරීමට යැයි පඬියන් කියාවි. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය විශ්වාසභංගය ගෙන ඒමේ දී මේ කිසිවක් කල්පනා කර නැහැ.  (ඈ) සිදු වීමටත් රනිල් කඩුල්ල පැන ගැනීමටත් ඉඩ ඇති බවත් අමතක කරන්න එපා.



ඒකාබද්ධ විපක්‍ෂයෙ ඇතැමුන් කරන්නේ උගුරට හොරා බේත් කෑමක් නො වෙයි. උගුරට හොරා හරි බේත් කෑවොත් සනීප වෙන්න පුළුවන්. ඔවුන් බේත් කන්නේ ම නැහැ. උගුර ළඟට බේත ගෙනියලා අපට හොරෙන් විසි කරනවා.