Main Logo

Friday 23 March 2018

සකර්බර්ග්ගේ සමාව


සකර්බර්ග්ගේ සමාව



සකර්බර්ග් මුහුණු පොත පරිශීලනය කරන්නන්ගෙන් සමාව ඉල්ලලා. ඔහුට මුහුණු පොතේ අයගේ පෞද්ගලික තොරතුරු ආරක්‍ෂා කර ගන්න බැරි වෙලා. කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම ඇතැම් තොරතුරු යොදාගෙන. ට්‍රම්ප් දිනවීමට පෞද්ගලික තොරතුරු කෙතරම් ප්‍රමාණයකට යොදා ගත්තේ ද? අපට කියන්න බැහැ. මහින්ද පැරදවීමට කෙතරම් දුරකට මුහුණු පොත යොදා ගත්තේ ද? කේම්බ්‍රිජ් ඇනලිටිකා ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් යුක්රේනියන් සුරූපියන් ගැන කතා කළත් මහින්දගේ පරාජයට මුහුණු පොතේ තොරතුරු උපයෝගී කර ගත්තේ ද යන්න සාකච්ඡා කරන්නේ නැහැ. 



අද දත්ත කියන එක පරිගණකවල තැන්පත් (ගබඩා) කර තිබෙන දේට පමණක් සීමා වෙලා. දත්ත කියන එක අප කුඩා කළ ඉගෙන ගත්තෙ ඩේටා කියන ඉංගිරිසි වචනය ඇසුරෙන්. ඒ ජ්‍යාමිතියෙහි. ඩේටා කියන්නෙ ලතින් වචනයක්. මා හිතන්නෙ ලතින් බසින් ඒ උච්චාරණය කරන්නෙ ඩාටා කියලයි. එය ඩාටුම් කියන ඒකවචනයෙ බහුවචන ස්වරූපය. මක්සිමම් නැත්නම් මැක්සිමම් යන්නෙහි බහු වචනය මක්සිමා නැත්නම් මැක්සිමා වෙනවා වගේ. දත්තය කියන වචනයෙහි තේරුම දී ඇති දේ යන්නයි. ජ්‍යාමිතියෙහි දී අප කුඩා කළ පළමුවෙන් ම දත්ත ලියන්න පුරුදු වෙනවා. ඒ දී ඇති දෙයින් අප අනුමාන නීති යොදා ගෙන යම් යම් ප්‍රතිඵල අපෝහනය (නිගමනය) කරනවා. 


ජ්‍යාමිතියෙහි පමණක් නොව ජීවිතයෙහි හැම තැන ම දත්ත තියෙනවා. අප අප ගැන මෙන් ම වෙනත් අය ගැන ද තොරතුරු දන්නවා. වෙනත් දේ ගැන ද තොරතුරු ද දන්නවා. මේ තොරතුරු දී ඇති දේ ලෙස සලකන්න පුළුවන්. මා නම් මේ ගැන දරන්නේ තරමක වෙනස් කතාවක්. එය මගේ ඥානවිභාගය සමග බැඳී තියෙනවා. මට යමකුගේ තොරතුරු කියා දෙයක් නැහැ. තොරතුරු ම තමයි යමකු කියන්නේ.  තොරතුරු  මට සාපේක්‍ෂයි. මගේ මහින්ද ඔබේ මහින්ද නො වෙයි. දැන් මේ ප්‍රකාශය අල්ලා ගෙන තොරතුරු මවන්න, නිර්මාණය කරන්න, සංස්කරණය කරන්න පුළුවන් (ලිපියේ සමස්තය අමතක කර මේ කොටස පමණක් ගෙන සිරිසේනවාදියා විඥානවාදියා ආදියා නම් පටබඳින්න. මුහුණු පොතේ වැඩියෙන් හරඹ කරන්නේ  අඥානයන්) . එය ඊනියා දෙවියන් වහන්සේ කෙනකුගේ කාර්යයක් නො වෙයි. අප සියළු දෙනා ම අපේ ලෝක නිර්මාණය කර ගන්නවා, සංස්කරණය කර ගන්නවා. ඒ අවිද්‍යාව ප්‍රත්‍යය කරමින්. අවිජ්ජා පච්චයා සංඛාරා.



දත්තවලට ජ්‍යාමිතියෙහි නම් ස්වසිද්ධි(ඇක්සියම්) ද ඇතුළත් කරන්න පුළුවන්. ඇක්සියම් හි බහුවචනය ඇක්සියමා නොවෙයි. ඇක්සියම යන්න ඇක්සියොමා යන ග්‍රීක වචනයකින් බිඳී එන්නක්. ග්‍රීකයන් තමයි මේවා ලෝකෙට පුරුදු කළෙ. ඒ කොහොම වුණත් අද දත්ත කියන්නෙ කියන්නෙ පරිගණක හා සම්බන්ධ තොරතුරුවලට. පරිගණකවල ගබඩා කර තියෙන පරිගණයකයකින් පරිගණකයකට යවන්න පුළුවන් තොරතුරු දත්ත ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙනවා.



මේ පරිගණකවලට පිට අයට පනින්න ඇතුල්වෙන්න පුළුවන්. හැමෝට ම නො වෙයි. ඒ ගැන පරිචයක් ඇති අයට. දැනට ඒක නවත්වන්න බැහැ. සමහරවිට ක්වොන්ටම් පරිගණක දියුණු වුණොත් එය වළක්වන්න හැකි වේය කියා හිතනවා. ඒ රහස්‍ය තොරතුරු යවන ක්‍රමයක් උපයෝගී කර ගනිමින්. දැනුත් එකලත් රහස්‍ය තොරතුරු යවා තිබෙනවා. එහෙත් ඒ රහස්‍ය ක්‍රමය දැනගන්න පුළුවන්. එයට හේතුව ඒ රහස්‍ය ක්‍රම සම්භාව්‍ය (ක්ලැසිකල්) ආකාරයකට සකස් වී තිබීම. සකර්බර්ග්ට තම භාරයේ තියෙන දත්ත දැනට වෙනත් අය අතට යෑම වළක්වන්න බැහැ.



අනෙක් අතට ඒ තොරතුරු සකර්බර්ග් හරි ඇමසෝන් හරි ගූග්ල් ළඟ පමණක් තියෙන්න ඕන කියලා කියන්නත් බැහැ. කෘත්‍රීම බුද්ධිය (ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් - ලංකාවෙ නම් ඉන්නෙ කෘත්‍රිම බුද්ධිමතුන්. හිතන්න බැරි වචනවලින් දමා ගහන්නන් ) සමපූර්ණයෙන් ම මෙන් දත්ත මත සකස්වන්නක්. එහි ප්‍රවාද නැහැ. ප්‍රවාද අවශ්‍ය වන්නෙ දත්ත හිඟකම නිසා. ආධ්‍යාත්මික බලයෙන් දත්ත ලබා ගන්න පුළුවන් නම් ප්‍රත්‍යක්‍ෂයෙන් ඒ ඒ දේ දැනගන්න පුළුවන්. යුරෝපයේ ඒ ආධ්‍යාත්මික ශක්තිය යුදෙව්වන්ට තිබුණා. ඒ ශක්තිය නැති අනෙක් අය පහළොස්වැනි සියවසෙන් පස්සෙ වියුක්ත ප්‍රවාද හදන්න පටන් ගත්තා.



ඒ අතර කතෝලිකයන් ළඟ තිබුණු සාමූහිකත්වය වෙනවට පෞද්ගලිකත්වය ඉදිරියට ගත්තා. පෞද්ගලිකත්වය, වියුක්ත ප්‍රවාද, ඇරිස්ටෝටලීය න්‍යාය, උද්ගමනය, අනපෝහනය (ඇබ්ඩක්ෂන්)  පහළොස්වැනි සියවසෙන් පසු බටහිර සංස්කෘතියේ මුල්ගල් බවට පත්වූවා. අද ඒ සියල්ල නැතිවේගන යනවා. එහෙත් අවාසනාව ඔවුන් (හා ඒ නිසා අප) පෞද්ගලිකත්වයෙන් සාමූහිකත්වයට නොව පෞද්ගලිකත්වය නැති කිරීමකට (නිර්පෞද්ගලිකත්වයකට) යෑම. අද අපේ තොරතුරු විවිධ ආයතන යොදා ගන්නවා. අපේ රුචි අරුචිකම් ඒ ආයතන දන්නවා. ඔවුන් අපට විවිධ දේ නිර්දේශ කරනවා. ඒ දත්ත හා අනපෝහනය මත පදනම් වීමෙන්. සකර්බර්ග් පමණක් නොව වෙනත් අය ද එයට දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ සහභාගි වෙනවා. සකර්බර්ග් සමාව ගැනීම තවත් ව්‍යාජයක් පමණයි.



අපට අද පෞද්ගලිකත්වයක් නැහැ. සාමූහිත්වයකුත් නැහැ. අප අහසේ පාවෙන පරඬැල් පමණයි. අපට අද පාර කියා දෙන්නේ ගූග්ල්. ඒ මග පමණක් නො වෙයි සියළු මග පෙන්වන්නේ නවීන දත්ත ගබඩාකරුවන්. එහි දී යොදා ගැනෙන්නේ පරිගණක හා අනපෝහනය. මෙයින් කැඩෙන එක ලෙහෙසි නැහැ. නවීන පරිගණක දත්ත අද පරිසාධක (ෆැක්ට්ස්) බවටත් පත්වෙලා. මේ සියල්ල බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵල. සකර්බර්ග් එහි ඉත්තකු පමණයි. අප ඉත්තන්ගේත් ඉත්තන්. එහෙත් අප හිතනවා අප නිවහල් චින්තනයක් ඇත්තවුන් කියා.