Main Logo

Thursday 8 March 2018

ඊනියා ඉස්ලාම් භීතිකාව


ඊනියා ඉස්ලාම් භීතිකාව



අද වන විට ලංකාවේ සිදුවන්නේ යැයි කියන මුස්ලිම්  විරෝධී ප්‍රචණ්ඩත්වයක් ගැන කියැවෙනවා. මෙරටින් පිටරට ගොස් සිටින තුට්ටු දෙකේ මාධ්‍යවේදියකුගේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයක් ගැන ය. මොහු එතෙර කුමක් කරනවා දැයි අප දන්නේ නැහැ. කලක් මෙරටින් එක්සත් රාජ්‍යයට ගිය ජනමාධ්‍යවේදියකු එහි ජීවත් වූයේ මෝටර්රථවලට තෙල් පුරවන තැනක රැකියාවක් කරමින්. ඒ මොහු නොවෙයි. එහෙත් මා ඒ බව සඳහන් කළ විට මොහු සිතුවේ ඒ තමා කියා!




ඉස්ලාම් කියන්නේ දහමක්. මුස්ලිම් කියන්නේ ආගමක් නො වෙයි. ඒ බව මෙරට බොහෝ දෙනා දන්නවා. අද මෙරට ඉස්ලාම් විරෝධයක් නැහැ. ඒත් ස්මාට් ජාතිකවාදියකු අද දි අයිලන්ඩ් පුවත්පතට ලිපියක් ලියමින් කියන්නේ මෙරට ඇතැයි කියන ඊනියා ඉස්ලාම් භීතියක් ගැන. මෙරට ඉස්ලාම් භීතියක් නැහැ. සිංහල බෞද්ධයනට වෙනත් කිසිම ආගමක් ගැන භීතියක් නැහැ. බුදුදහම වෙනත් හැම දහමකට ම වෙනස්. බුදුදහම අවසානයේ දී දැනුමෙන් නිදහස් වීමට කියන දහමක්. මා පිළිබඳ ඇති දැනුම, මමත්වය ඉන් ප්‍රධානයි. මේ දැනුම්වලින් නිදහස් වීමට නිවන් අවබෝධය කියා කියනවා. බෞද්ධයනට නැවත ඉපදීමට, ස්වර්ගයේවත්, අවශ්‍ය නැහැ. එවැනි දහමක් පිළිපදින අයට වෙනත් දහම් ගැන භීතියක් නැහැ.



ස්මාට්ජාතිකවාදියා අදහස් කරන්නේ සිංහල බෞද්ධයන් වෙනත් දහම් ගැන ආගම් (දහමක් මත පදනම් වූ සංස්කෘතියක්) ගැන භීතියක් තියෙන බව පෙන්වීමට. එයින් ඔහු අදහස් කරන්නේ කුමක් ද ඔහුගේ අරමුණ කුමක් ද යන්න පැහැදිලියි. එහෙත් මෙරට ජාතිකවාදී යැයි කියන ඇතැම් දේශපාලනඥයන් ඔහු විශ්වාස කරනවා. අද අප හසු වී ඇති 13+ ආදී උගුල්වලට ඔහුත් වග කිව යුතුයි.



මෙරට සිටින සිවල් සාමාජිකයන් ඊනියා මානව අයිතිවාසිකම් අයිතිකරුවන් ආදීන් ද ජෙනීවා මානව අයිතිවාසිකම් කරුවන් ද උත්සාහ කරන්නේ සිංහල බෞද්ධයන්ගේ වරද කියන්නයි. එකසත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කරුවකු ලංකාවට පැමිණීමට නියමිතයි. ඔහු එන්නේ හදිසි නීතිය ආදිය ගැන සොයා බැලීමට. මෙරට නිදහස් රටක් යැයි කිව්වේ කවුද? අප තරම් බටහිරයන්ට ගැති රටක් තවත් නැතිව ඇති. මෙරට උගතුන් තරම් නිවටයන් ලෝකයේ වෙනත් තැනක නැතිව ඇති. සුද්දන්ගේ අධ්‍යාපනයෙන් අප නිවටයන් වෙලා. 



තමා සිංහල බෞද්ධ යැයි කියන කිරිඇල්ල බෞද්ධයන් මුස්ලිමුන්ගෙන් සමාව ගත යුතු යැයි කියනවා. එවිට ඊනියා ජාත්‍යන්තරයට කියන්න පුළුවන් ආණ්ඩුවේ ඇමතිවරයකු පවා සිංහල බෞද්ධයන් වැරදිය කියා කියන බව. මේ ඇමතියා මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ඡන්ද ටිකක් ලබා ගැනීමට කරන නිවට උත්සාහයක්. අද රටේ ප්‍රශ්නයට තවත් හේතුවක් වී ඇත්තේ සුද්දන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය. එහි දී සිංහලයන් එකමුතු නැති නිසා සිංහල නොවන ඡන්දවලට අපමණ අගයක් ලැබෙනවා. කිරිඇල්ලලා රනිල්ලා පමණක් නොව රාජපක්‍ෂලා ද මේ ඡන්ද උගුලට හසු වෙලා. ජනාධිපතිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(3) යටතේ කිරිඇල්ල අස්කරන්න පුළුවන්. ඒ සඳහා අගමැති විමසිය යුතු නැහැ. ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමට ඒ අනුව්‍යවස්ථාව යටතේ බලය ලැබෙනවා. එහෙත් මෛත්‍රිපාලට ඒ සඳහාවත් ශක්තියක් තියෙනවා ද?



ඒකාබද්ධ විපක්‍ෂය බොරු සදාචාරයක හිඳිමින් රනිල් ආරක්‍ෂා කරනවා. ඔවුන් රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙන ඒම කල්දාලා. ඒ රටේ පවතින තත්වය නිසා ද? එහෙත් ආණ්ඩුව අතුරුදහන්කරන්නන්ගේ ආරක්‍ෂාව සඳහා වූ පනත ඊයේ පාර්ලිමේන්තුවේ සංශෝධන රහිත ව සම්මත කර ගෙන. පුවත්පත් වාර්තා අනුව දැන් ශ්‍රී ලාංකිකයකුට වුවත් ඒ පනත වලංගුයි. මාරපනට වගන්ති අස්සේ සැඟ වී පනතින් කරන්න බලාපොරොත්තුවන්නේ රණවිරුවන් පමණක් නොව අවසානයේ දී ඇතැම් රාජපක්‍ෂලා ද ඊනියා ජාත්‍යන්තරයට පාවා දීම බව  හංගන්න බැහැ. රාජපක්‍ෂලා දහනවවැනි සංශෝධනයට ද සහාය දුන්නා. කවුරු කවුරුන් ආරක්‍ෂා කරනවා ද? අවසානයේ දී රනිල්ගේ බලය වැඩි වෙනවා.



මෙරට ඇත්තේ ඊනියා ඉස්ලාම් භීතිකාවක් නොව සංස්කෘතික ආධිපත්‍යය හා ආක්‍රමණ පිළිබඳ ප්‍රශ්නයක්. ස්මාට්ජාතිකවාදියා ද සිවල් සාමාජිකයන් ද අනෙක් බොහෝ දෙනා ද බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට යට වූ අය. ඔවුන් එහි නිවට දාසයන්. ඔවුන් බටහිර රටවල ඇති මුස්ලිම් විරෝධය ගැන කතා කරන්නේ නැතිව මෙරට නැති ඉස්ලාම් භීතිකාවක් ගැන කතා කරනවා. අද සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි සියළු දෙනා ම අත්වැල් බැඳගෙන සිංහල බෞද්ධයනට චෝදනා කරනවා. බටහිරයන් තම රටවල මුස්ලිම් සංස්කෘතියට එරෙහි වෙමින් ථෙරවාදී බෞද්ධයන්ට එරෙහිව මෙරට දී හා මියන්මාරයේ දී  මුස්ලිම් සංස්කෘතියට අත දෙනවා. රනිලුත් බටහිර සංස්කෘතියේ. මෙරට ප්‍රශ්නය සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනත් කිසිම සංස්කෘතියකට වඩා අන්‍ය සංස්කෘතීන්ට සැලකීමයි. මෙරට තැනක් නැත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියටයි. අද රටේ ඇත්තේ මේ සංස්කෘතික ප්‍රශ්නයයි. අරාබිකරයේ මුස්ලිම් සංස්කෘතියටත් බටහිර රටවල ක්‍රිස්තියානි සංස්කෘතියටත් හිමි තැන මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට තියෙනවා ද?            



ඒ ප්‍රශ්නයට සිංහල බෞද්ධයන් සැලසුම් සහගත ව මුහුණ දෙන්නේ නැහැ. අද සිංහල බෞද්ධයනට දේශපාලන නායකත්වයක් තබා ජාතික නායකත්වයක්වත් නැහැ. තෙල්දෙණියේ  දී රිය සිද්ධියෙන් පසු තරුණයාට පහර දුන් අයට ඇප ලැබුණේ කෙසේ ද යන ප්‍රශ්නය අද ඉතිරි වී තිබෙනවා. ඔවුන් පසුව නැවත අත් අඩංගුවට ගැණුනේ කෙසේ ද යන ප්‍රශ්නයත් අසන්න තියෙනවා. එසේ අත් අඩංගුවට ගැණෙන විට පමා වී වැඩියි, ප්‍රශ්නය විහිදී ගොස්. අද පොලීසියට බුද්ධි අංශයට චෝදනා කරනවා. මේ බුද්ධි අංශය තවත් දුර්වල කිරීමට ද කියා අපට ප්‍රශ්න කරන්න වෙනවා.



පෙලීසියට චෝදනා කිරීමට පෙර නීතිය හා සාමය භාර ඇමති ගැන කතා කරන්න ඕන. මෙවැනි කඩා වැටීමකට පසු රනිල්ට තවදුරටත් අදාළ ඇමති ධුරයේ හා අගමැති ධුරයේ රැඳී සිටීමට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔහු අස් වේවි යැයි බලාපොරොත්තු වන්න බැහැ. ඔහු ඉවත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය සහාය දෙන්නෙත් නැහැ. ඔවුන් බොරු සදාචාරයක ගිලිලා.