Main Logo

Friday 16 March 2018

නන්දිකඩාල් දිනුවේ කවුද?


නන්දිකඩාල් දිනුවේ කවුද?



ඊයේ ලිපියේ සඳහන් වූ නන්දිකඩාල් ජයග්‍රහණයක් නො වේ ය යන්න ඇතැමුනට ප්‍රශ්නයක් වෙලා. පෙබරවාරි 10 පොදු පෙරමුණට ජයග්‍රහණයක් නොවීය යන්නත් ඇතැමුනට ප්‍රශ්නයක් වුණා. මේ සියල්ල ජයග්‍රහණය යන්නට සාපේක්‍ෂයි. ජයග්‍රහණය යනු කුමක් ද යන්න මත මේ රඳා පවතිනවා. පෙබරවාරි 10 වැනි දා පොහොට්ටුවට අනෙක් පක්‍ෂ වෙන වෙන ම ගත්තට වඩා ඡන්ද ලැබිලා තියෙනවා. පොහොට්ටුව ජයග්‍රහණය කරලා තියෙන්න ඒ අර්ථයෙන් පමණයි. එහෙත් අද පළාත් සභා ආයතන රාශියක ම සභාපති පදවිය තීරණය වෙලා නැහැ. එයට ඡන්ද ක්‍රමයට බැණ වැදිලා වැඩක් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය මේ ක්‍රමයට පක්‍ෂපාත වුණේ නැද්ද? ඔවුන්ට කල් තබා ක්‍රමය තේරුම් ගැනීමට බැරි වුණා.

මෛත්‍රිපාලගේ කණ්ඩායම්වල ඡන්ද එ ජා පක්‍ෂයේ ඡන්දවලට එකතු කළොත් එය පොහොට්ටුවේ ඡන්දවලට වැඩියි. ආණ්ඩුව යනු රනිල් -මෛත්‍රිපාල කියා ගත්තොත් පෙබරවාරි 10 වැනි දා දිනා ඇත්තේ ආණ්ඩුවයි.   මෛත්‍රිපාල කණ්ඩායම ආයතනවල දී එ ජා පක්‍ෂයට සහාය දුන්නොත් සභාපති පදවි එ ජා පක්‍ෂයට හිමි වේවි. අපි මෙච්චර සභා ගණනක් දිනුවා කියා උදම් අනන පොහොට්ටු අනුගාමිකයන් එහෙම වුණොත් මෛත්‍රිපාලටත් මැතිවරණ කොමිසමටත් තවත් අයටත් බැණ වදීවි. මට පළාත් පාලන ආයතනවල බලය හිමි වන්නේ කාට ද යන්න ප්‍රධාන ප්‍රශ්නය නො වෙයි. එහෙත් මා දන්නා කරුණ මහින්දට තවමත් රටේ ඡන්දයෙන් 50%ක් නොමැති බවයි. මෛත්‍රිපාලගේ ඡන්දත් එකතු කළොත් පමණක් 50%ට වැඩි වෙනවා. මේ ජාතිකත්වයේ ඡන්ද. ඒ ඡන්ද විසිරී යෑම ගැන නම් මට කණාගාටුවක් තියෙනවා. 


රනිල් ඉවත් කිරීම අද ඒකාබද්ධ විපක්‍ෂයෙන් පිටතට ගිහින්. ඒ සඳහා රතන හිමි ආදීන් ද නැවතත් ක්‍රියාත්මක වෙනවා. අද රනිල් ඉවත් කිරීමට වැඩිපුර ක්‍රියාත්මක වන්නේ මෛත්‍රිපාලගේ කණ්ඩායමේ බහුතරයක්, එ ජා පක්‍ෂයේ රනිල් විරෝධීන් හා රතන හිමියන් වැනි අය. මට ඒ ගැන ප්‍රසාදයක් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ ඒ සම්බන්ධයෙන් මත කිහිපයක් තියෙනවා. අද ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ කුඩා කණ්ඩායම් කිහිපයක් රනිල් ඉවත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන බවක් පේනවා. එහෙත් ඒ අයත් ආණ්ඩුව ගැන දරන්නේ විවිධ මත.  

මට ප්‍රසිද්ධියේ කිව නොහැකි දේ තියෙනවා. මෛත්‍රිපාල ගැන බොහෝ මහින්දවාදීන්ට විශ්වාසයක් නැහැ. ඔහු ප්‍රසිද්ධියේ රනිල් ඉවත් කරන්න කියා කියන්නෙ නැහැ කියලා එක් අයකු කියා තිබුණා. හුදකලා චරිතයක් වූ ඔහු පළ කරන දේශපාලන අදහස් ගැන එතරම් සැලකිල්ලක් දැක්විය යුතු ය කියා හිතන්නේ නැහැ. එහෙත් මුහුණු පොතෙන් කෙරෙන එක් කාර්යයක් වනුයේ වාක්‍ය දෙකෙන් තුනෙන් අදහස් ප්‍රකාශ කරන හුදකලා චරිතවලට දේශපාලන වශයෙන් වැදගත් කමක් ලබා දීමයි. ජනවාරි අටවැනි දා මහින්දගේ පරාජයටත් එය බල පෑවා. මෙය දීර්ඝ ලිපියක් නොවූවත් මුහුණු පොත පරිශීලනය කරන්නන්ට මෙය පතරංග ජාතකය වැන්නක්. 

මෛත්‍රිපාල ප්‍රසිද්ධියේ රනිල් ඉවත් කරන්න කියා කිසි දිනෙක කියන එකක් නැහැ. එසේ කියනු ඇතැයි බලාපොරොත්තු විය හැක්කේ ප්‍රායෝගික දේශපාලනය ගැන නොදන්නා හුදකලා චරිතවලට පමණයි. එහෙත් අප්‍රසිද්ධියේ මෛත්‍රිපාල ඒකාබද්ධ විපක්‍ෂයේ අයට හා හිතවතුනට දී ඇති තනතුරු ඒ අය ප්‍රතික්‍ෂෙප කර තිබෙනවා. එයට විවිධ හේතු දක්වනවා. ඒ හේතු දැක්වීම් මොනවා වුවත් මට තේරෙන්නේ රනිල් තවදුරටත් තබා ගැනීම ඊළඟ ජනාධිපතිවරණයේ දී තමන්ට වාසියක් වන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් සිතීමයි. තවත් අය හිතන්නේ මේ අවස්ථාවේ ආණ්ඩුවට එකතු වී මඩ ගා නොගත යුතු බව. එහෙත් ආණ්ඩුව යනු කුමක් ද? රනිල් ඉවත් කළ වහාම මේ ආණ්ඩුව නැතිවෙනවා. ඉන්පසු තියෙන්නේ වෙන ම ආණ්ඩුවක්. රනිල් ඉවත් නොකළොත් ඊළඟ අවුරුදු එකහමාරෙදි කෙසේ ක්‍රියා කරනු ඇත් ද? මේ විකල්ප ගෝඨාභයට කඩුළු තුනක් ලිපියේ මා සාකච්ඡා කර තියෙනවා. 

රනිල් අතුරුදහන් වූවන්ගේ තොරතුරු සෙවීම පිළිබඳ පනත සම්මත කර ගත්තා. එයට ගෙන ආ සංශෝධනයත් ඒකාබද්ධ විපක්‍ෂයේ පණ්ඩිතකම නිසා ප්‍රතික්‍ෂෙප වුණා. සමහරු හිතන්නේ තෙල්දෙණිය සිද්ධි ඇති කෙළේ පනත සම්මත කර ගැනීමට කියා! අප දැන් තුට්ටු දෙකේ සංයුක්ත ප්‍රවාද තනන්නන් වෙලා. තෙල්දෙණීිය ඇතත් නැතත් පනත සම්මත වෙනවා. රනිල් පසුගිය මාසයෙහි ඉවත් කර තිබුණා නම් පනත සම්මත වන්නේ නැහැ. රනිල් හිිටියොත් ව්‍යවස්ථාවත් සම්මත කර ගන්නවා. බොහෝ විට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර අගමැතිට බලතල ලබා දෙන පනතක් සම්මත කරගන්න ඉඩ තියෙනවා.

නන්දිකඩාල් ගැන කලකට පෙර දි අයිලන්ඩ් පත්‍රයෙහි ඉන්දියාවේ හිටපු හමුදා නිලධාරියකු ලියූ ලිපියක සඳහන් වූයේ ලංකා හමුදාව ජයග්‍රහණය කෙළේ ඉන්දියාව මැදිහත් නොවූ නිසා බවයි. මා එයට විරුද්ධ ව කියා සිටියේ ඔහු අපේ හමුදාවේ ජයග්‍රහණය අවතක්සේරු  කරන බවයි. එහෙත් මට දැන් ඇත්තේ ජාතිකත්වය මත ම වෙනස් අදහසක්. අපේ හමුදාවලට කොටි පරාජය කිරීමේ ගෞරවය හිමිවිය යුතුයි. එහෙත්ව අප ජයග්‍රහණය කළා ද? එහි දී ජයග්‍රහණය යනු කුමක් ද යන ප්‍රශ්නය නැවත මතුවෙනවා. එය කොටි සංවිධානය පැරදවීම නම් අප ජයග්‍රහණය කළා. එහෙත් එය දෙමළ ජාතිවාදය ද පරාජය කිරීම නම් අප ජයග්‍රහණය කර නැහැ. අපට දහතුන ඉවත් කර ගන්න බැරි වුණා පමණක් නොවෙයි. මහින්ද 13+ දීමට ද පොරොන්දු වුණා. එය රනිල්ට එරෙහිව ගෙනෙන විශ්වාසභංගයට ආධාර කරනවා වැනි ප්‍රකාශයක් ද? අප විශ්වාස කළ යුත්තේ මහින්දගේ මොන ප්‍රකාශ ද? නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දයාන් වැන්නන් බලවත් වූයේ කෙසේ ද? ඔහු ජෙනීවාහි දුන් පොරොන්දු මොනවා ද? මහින්ද 13+ දෙන බවට ඉන්දියාවට පොරොන්දු වූයේ ඇයි. ඒ කුමක් සඳහා ද? එහි දී වූ ගණුදෙනුව කුමක් ද?

ඉන්දියාවට අවශ්‍ය ව තිබුයේ කුමක් ද? ඔවුන්ට කොටි පරාජය කිරීමේ වුවමනාව තිබුණා. බටහිර රටවලට ඒ වුවමනාව තිබුණේ නැහැ. බටහිර හා ඉන්දියාව අතර ප්‍රධාන වෙනස එයයි. එහෙත් ඔවුන් සියල්ලන් ම දෙමළ ජාතිවාදය පිටුපස ඉන්නවා. ඔවුන් සියල්ලන් ම ප්‍රසිද්ධියේ මොනවා කිව්වත් සිංහල ථෙරවාද බෞද්ධ සංස්කෘතියට විරුද්ධයි. ඒ අද ඊයේ විරුද්ධතාවක් නො වෙයි. ඉන්දියාවට අවශ්‍ය වූයේ කොටි පරදා ප්‍රභාකරන් ඝාතනය කර දෙමළ ජාතිවාදය සුරැකීමයි. අද සිදු වී ඇත්තේ එයයි. නන්දිකඩාල් අපේ නොව ඉන්දියාවේ ජයග්‍රහණයක්.

අපට අද ත්‍රස්තවාදී අනතුරු  නැති එක ඇත්ත. අද බෝම්බ බියක් නැහැ. ඒ සියල්ලට ම අප රණවිරුවන්ටත් මහින්දටත් කෘතඥ විය යුතුයි. එහෙත් අපට දෙමළ ජාතිවාදය පරාජය කරන්න බැරි වුණා. පඬියන් කියන යුද්ධය දිනුවා සාමය ඇති කරන්න බැරි වුණා යන්න අපට විෂය වන්නේ කොටි පරාජය කළා එහෙත් දෙමළ ජාතිවාදය පරාජය කරන්න බැරි වුණා යනුවෙන්. නන්දිකඩාල් ඉන්දියාවේ ජයග්‍රහණයක් වුවත් බටහිර පරාජයක්. ඒ කොටි පරාජය ඔවුන්ගේ ද පරාජයක් වන නිසා. අර ප්‍රංශ හා එංගලන්ත විදේශ ඇමතිවරු ඇඹිලිපිටි ගියා මතක ද? මහින්ද එහි දී එඩිතර ව ඔවුන්ට මුහුණ දුන්නා. අද බටහිරයන් උත්සාහ කරන්නේ තම පරාජයට වග කිව යුත්තන්ට දඬුවම් කිරීමටයි. ජෙනීවා යෝජනා, අතුරුදහන් වූවන්ගේ කාර්යාල, අදාළ තොරතුරු සෙවීම් පනත ආදිය රනිල්ට අවශ්‍ය බටහිරයන්ට ද ඒ අවශ්‍ය නිසා. රනිල් යනු බටහිර නියෝජිතයකු නොව බටහිරයෙක්. තම කාර්යය කරගත් ඉන්දියාව අද ප්‍රභාකරන් පරාජය කළ රණවිරුවන්ට දඬුවම් දීමේ දී නිහඬයි. 

මා ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරුන් සිටි වේදිකා  කිහිපයක ම කිව්වා නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු තව දුරටත් දෙමළ ජාතිවාදීන් සමග කිසිම සාකච්ඡාවක් අවශ්‍ය නැහැ කියා. මන්ත්‍රීවරුන් මා සමහ එකඟ වුවත් ඔවුන් වේදිකාවෙන් බැස ගිය පසු ඒ ගැන කිසිවක් කළේ නැහැ. ඒ ඇයි? මෝදි හමුවේ කොන්ද ඇත්තේ කාට ද නැත්තේ කාට ද?