Main Logo

Wednesday 7 March 2018

නැවතත් තෙල්දෙණියට



නැවතත් තෙල්දෙණියට


තෙල්දෙණිය ගැන කතන්දර රාශියක් කියලා තියෙනවා. ජනතාවගෙන් සන්සුන් වන්න කියලා බොහෝ දෙනා ඉල්ලීම් කරලත් තියෙනවා. ඒ ඉල්ලීම හොඳයි. ඒත් මිනිසුන් ඉල්ලීම් පිළිගන්නෙ නැහැ. මිනිසුන් වැඩ කරන්නෙ සිතැඟි උඩ. අද වෙන විට  හදිසි නීතිය පනවලා. ඒ නිසා මිනිසුන් ටිකක් කලබල නොකර සිටීවි. එයින් මා කියන්නේ හදිසි නීතිය හොඳයි කියන එක නො වෙයි. අද ඇමරිකන් එක්සත් ජනපද රාජ්‍යයත් කියනවා හදිසි නීතිය ඉවත් කරන්න කියලා. ආණ්ඩුව ඒකට නම් ඇහුන්කන් දේවි. බොහෝ විට සතියකින් හදිසි නීතිය ඉවත් කරන්න ඉඩ තියෙනවා.

ඒත් ඒ වන විට රනිල් ඉවත් කරන්න ඕන කියන ඉල්ලීම සැර බාල වෙලා තියේවි. අර ගේනවයි කිව්ව විශ්වාසභංග යෝජනාවත් දැම්ම ගෙනෙන්නෙ නැහැ. කොහොමටත් රංගෙ බණ්ඩාර දැන් කියන්නෙ විශ්වාසභංගයක් අවශ්‍ය නැහැ කියලා. සේනානායක පරම්පරාවෙ වසන්ත සේනානායකත් දැන් වෙනින් කතාවක් කියනවා. තෙල්දෙණියට පසු රනිල් තෙල්දෙණියට පෙර රනිල්ට වඩා බලවත්.

දැන් කවුරුන්වත් කතන්දරයක් හදන්න ඕන නැහැ තෙල්දෙණිය රනිල් බලවත් වීම සඳහා නිර්මාණය කරන ලද්දක් බවට. සිංහලයන් එවැනි සංයුක්ත කතන්දර හදන්න හරි හපන්නු. තෙල්දෙණිය කාගෙ නිර්මාණයක් වුණත් නැතත් අද සිංහල බෞද්ධයන් නැවත වරක් ඊනියා ජාත්‍යන්තරයෙ දෝෂයට ලක් වෙලා. ඒ අස්සෙ ලක්‍ෂමන් කිරිඇල්ල කියනවා බෞද්ධයන් මුස්ලිමුන්ගෙන් සමාව ගත යුතු ය කියලා. ඒ මක්කට ද කියලා අහන්න වෙනවා. ලක්‍ෂමන් කිරිඇල්ල තමයි අර ඕනෑම ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කිව්වෙ. ඒක කාට කිව්වද කියලා සරත් ෆොන්සේකගෙන් තමයි අහගන්න වෙන්නෙ.

අපට හදිසි නීතිය සාමාන්‍ය නීතිය වෙලා තිබුණු කාලයක් තිබුණා. ඒ කාලෙත් අප ලිව්වා. ඒ මුහුණු නැති මුහුණු පොතේ නො වෙයි. ඒ නිසා ඒ කාලෙ මට පිස්සා, මුග්ධයා, බකපණ්ඩිතයා, කොන්ත්‍රාත්කාරයා, ආදී නම්බු නාම දීමට කවුරුන්වත් හිටියෙ නැහැ. අද එදාට වැඩිය පඬියන් ඉන්නවා. රනිල් හා මෛත්‍රිපාල අතර තියෙන්නෙ ඇඳුමෙ වෙනසක් පමණයි කියලා කියන අයත් ඉන්නවා. තාම කවුරන්වත් කිව්වෙ නැහැ ඔවුන් දෙන්නම ගියෙ රාජකීය විද්‍යාලවලට කියලා. එක් අයකු කොළඹ අනෙක් අය පොළොන්නරුවෙ. ඒත් විද්‍යාල රාජකීය නොවැ. වෙනස මොකක් ද?

පොදුජන පෙරමුණ අද නුගේගොඩ පැවැත්වීමට නියමිත ව තිබූ රැස්වීමත් අවලංගු කරලා. ඒක හොඳයි. එය පොලීසියට අයුතු ජනරාශියක් වෙන්න තිබුණා. කොහොමටත් හැම දෙයක් ම සිද්ධ වෙන්නෙ රනිල්ගෙ හොඳට. රනිල්ට පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා. ඒත් ඒක තෙල්දෙණිය නිසා නො වෙයි. අපවත් වී වදාළ කුසලධම්ම හිමියන්ගෙ ආදාහනය නිසා රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය සිකුරාදා සෙනසුරාදා ඉරිදා පවත්වන්න වෙලා. මට මතක ඇති කාලෙක ඒ තරගය ඉරිදා දවසක පවත්වලා නැහැ. එදාට පල්ලි යන අයට එය ප්‍රශ්නයක් වේවි. මා කියන්නේ රනිල් පල්ලි යන බවක් නොවන බව අවධාරණය කරන්න ඕන. මෛත්‍රිපාලට පොළොන්නරුවෙ අනුරූප තරගයක් නැද්ද? අපි අර පඬියන්ගෙන් අහමු.

මා විහිළු කරනවා නො වෙයි. මේ බෞද්ධ යැයි කියන රටේ සාමාන්‍යයෙන් පාසල් ක්‍රිකට් තරග ඉරිදා පැවැත්වෙන්නේ නැහැ. එය සාමාන්‍යය. කවුරුන්වත් ඉදිරිපත් වෙන්න ඕනෙ නැහැ අර පාසල් තරගය මේ පාසල් තරගය ඉරිදා පැවැත්වෙනවා කියලා කියන්න. ඒවා ව්‍යතිරේක පමණයි. කොහොමටත් අපට ක්‍රිකට් ලැබුණෙ ඉංගිරිසින්ගෙන්. රාජකීය ශාන්ත තෝමස් තරගය අඛණ්ඩ ව පවත්වාගෙන යන  ලෝකයෙන්ම දෙවැනියට පැරණි පාසල් ක්‍රිකට් තරගය. එය ලෝක යුද්ධ කාලවලත් නොකඩවා පවත්වා තියෙනවා. පැරණි ම තරගය ඕස්ත්‍රේලියාවෙ ඇඩිලේඩ් නුවර පාසල් දෙකක් අතර පැවතිලා තියෙන්නෙ. එයින් එක් පාසලකට එරට ක්‍රිකට් කණ්ඩායම මෙහෙය වූ චැපල් සහෝදරයන් ක්‍රීඩා කර තියෙනවා. ඒත් ලෝකයෙන් ම වැඩියෙන් ම ජනාධිපතිලා අගමැතිලා ක්‍රීඩා කර තියෙන්නෙ රාජකීය ශාන්ත තෝමස් තරගයට. රනිල් නම් තරග කර නැහැ. කිරිඇල්ලත් නැහැ. මට වැරදුණා. කිරිඇල්ල අගමැති කෙනකු නො වෙයි. කමක් නැහැ ඒ වාක්‍යය එහෙම තිබුණාවෙ.

තෙල්දෙණියෙ දෙදෙනකු මිය ගිහින්. එක් අයකු සිංහල අනෙක් අය මුස්ලිම්. තෙල්දෙණිය අපට සති දෙකක් යන විට අමතක වෙන්න පුළුවන්. එවිට රනිල් ඉවත් කිරීමත් යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත කාලයෙ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. 2019 ජනාධිපති වරණය නොඑන එකක් වෙන්නත් පුළුවන්. ඒත් සිංහල බෞද්ධයන් බැණුම් අහන එක නම් නතර වෙන එකක් නැහැ. එයට හේතුව සිංහල බෞද්ධයන්ට සැලසුම් කිරීමට නොහැකි වීමත් සිංහල බෞද්ධ නායකයන් යැයි කියා ගන්නා අතිමහත් බහුතරය නිවටයන් වීමත් ඒ නායකයන් යැයි කියා ගන්නා අයට උපදෙස් දෙන්නන් ඊටත් වඩා නිවටයන් වීමත්.

මා දැන් නම් දන්නවා සිදුහත් කුමරු ලංකාවෙ නූපන් බව. පසුව එය විස්තර කරන්නම්. බුදුදහම ආශ්‍රිත දැනුමට මෙරටින් වැදගත් එකතු කිරීමක් සිදු වී නැහැ. අප ථෙරවාද බුදුදහමේ ආරක්‍ෂකයන් ව සිටි බව නම් ඇත්ත. එහෙත් දැන් නම් ථෙරවාදය ආරක්‍ෂා කර ගැනීමටවත් අපට නොහැකි තත්වයක් උදා වෙලා. මා කතා කරන්නේ පොත්පත්වල ලියැවී ඇති දැනුම නො වෙයි. ථෙරවාද සංස්කෘතිය. අපට මියන්මාරයට තරම්වත් බෞද්ධකමක් නැහැ. අපට අද ඇත්තේ සංකේත බුද්ධාගමක්. අපේ බොහෝ නායකයන් නිවටයන්. මෙත්තානන්ද ඇන් ක්‍යු දියෙස් එකතුව මෙරට හමුදාවට බෞද්ධයන් ඇතුළත් කිරීමට කටයුතු කළා. එහෙත් ඇතුළු වී ඇත්තේ සිංහල බෞද්ධයන් නොව ඕල්කට් බෞද්ධයන්. මෙය පාසල් ගැන කරන විවේචනයක් නොවන බව අවධාරණය කළ යුතුයි. අද තෙල්දෙණිය ගැන පොලීසිය බැණුම් අහනවා. උතුරේ හමුදාව බැණුම් අහනවා. කිසිවකු ප්‍රශ්නයට මුහුණ දෙන්නේ නැහැ. ඒ සංකේත බුද්ධාගමේ ලක්‍ෂණයක්.


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-03-07